වත්මන් ශූරයින් අපරාජිත ගමනක!

Matercard A Division Inter Club Rugby 2024/25

85

නව වසර ආරම්භ වීමත් සමඟින් 2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

නාවික හමුදාව සහ පොලිසිය අතර 

මෙම සති අන්තය වෙනුවෙන් පැවැත්වුණු පළමු තරගය වූ මෙය පොලිස් ක්‍රීඩා සමාජයට ඉතා විශේෂ එකක් වූ අතර, මෙහි දී ඔවුන් විසින් මෙවර තරග වාරය වෙනුවෙන් සිය පළමු ජය වාර්තා කිරීමට සමත් වුනා. 

තරගය ආරම්භයේ පටන් ම කණ්ඩායම් ද්විත්වය ම සිය පළමු ජය සොයා සටන් වැදුණු අතර, තරගයේ පළමු අර්ධය නිමා වන විට පොලිසිය විසින් ලකුණු 10ක් ලබා සිටි අතර, නාවික හමුදාව විසින් ලකුණු 07ක් ලබමින් තියුණු තරගයක නිරත වී සිටියා. 

තරගයේ දෙවැනි අර්ධය පෙරටත් වඩා උණුසුම් මුහුණුවරක් ගත් අතර, මෙහි දී කණ්ඩායම් ද්විත්වය ම ලකුණු 13 බැගින් ලබා ගැනීමට සමත් වුනා. නමුත් පළමු අර්ධය තුළ නාවික හමුදාවට එරෙහිව ලකුණු 03ක් ඉදිරියෙන් සිටීමේ වාසිය සමඟ පොලිස් ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

  • පොලිස් ක්‍රීඩා සමාජය 23 (3T, 1C, 2P) – නාවික හමුදා ක්‍රීඩා සමාජය 20 (3T, 1C, 1P) 

තරගයේ වීරයා -යෙහාන් බුලත්සිංහල (පොලිස් ක්‍රීඩා සමාජය) 

Havelock සහ Sri Lions  

ලීගයේ සිව්වැනි සතියේ දී සිය මංගල ජයග්‍රහණය ලබා ගත් Sri Lions කණ්ඩායම තවත් ජයක් සොයමින් මෙම තරගයට අවතීර්ණ වූ නමුත්, Havelock ක්‍රීඩකයින් එම බලාපොරොත්තු බිඳ දැමීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධයේ පටන් ම Havelock කණ්ඩායම තරගයේ ආධිපත්‍යය තමන් යටතට ගැනීමට සමත් වූ අතර, ඔවුන් පළමු අර්ධය නිමා වන විට ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වී සිටියේ Sri Lions ක්‍රීඩකයින් ලකුණු 03ක් පමණක් ලබා ගන්නා අතරේදීයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළත් Havelock කණ්ඩායම තම ආධිපත්‍යය පතුරවාලීමට සමත් වෙමින් තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

  • Havelock 43 (7T, 4C) – Sri Lions 13 (2T, 1P) 

තරගයේ වීරයා අස්මීර් ෆෞදීන් (Havelock) 

CH & FC සහ යුධ හමුදාව 

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් තියුණු තරගයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට යුද හමුදාව ලකුණු 10ක් ලබමින් තරගයේ ග්‍රහණය සියතට ගැනීමට සමත් වී සිටි අතර, ඒ වන විට CH & FC ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 05ක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට CH & FC ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. 

දෙවැනි අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වූ නමුත් යුද හමුදාව පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 07ක් පමණයි. 

  • CH & FC 19 (3T, 2C) – යුද හමුදාව 17 (3T, 1C) 

තරගයේ වීරයා ජනිඳු ඩිල්ශාන් (CH & FC) 

CR & FC සහ ගුවන් හමුදාව 

ලීග් තරගාවලියේ වත්මන් ශූරයින් වන CR & FC කණ්ඩායම මෙවර තරගාවලියේ ද සිය අපරාජිත ගමන තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑමට සමත් වුනේ ගුවන් හමුදාවට එරෙහිව පහසු ජයක් වාර්තා කරමිනුයි 

තරගයේ පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, ගුවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු 06ක් ලබමින් ඔවුන් සමඟ සටනේ නිරත වෙමින් සිටියා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් තවත් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, මෙම කාලසීමාව තුළ ගුවන් හමුදා ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

  • CR & FC 27 (4T, 2C, 1P) – ගුවන් හමුදාව 16 (1T, 1C, 3P) 

තරගයේ වීරයා මනිල්ක රුබේරු (CR & FC) 

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<