අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලිය අලුත් මුහුණුවරකින්

අන්තර් සමාජ නැගී ක්‍රිකට් තරගාවලිය 2022

865

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 18 වැනිදා සිට කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

තෙදින ක්‍රිකට් තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය රතු පන්දුව සහ සුදු ඇඳුම් භාවිතයෙන් පැවැත්වෙන බව වාර්තා වනවා.

2016 වසරට පසුව මේ තරගාවලිය තෙදින තරගාවලියක් ලෙස පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර පසුගිය වසර කිහිපය පුරාවට මේ තරගාවලිය ක්‍රියාත්මක වුනේ සීමිත පන්දුවාර (පන්දුවාර 50) තරගාවලියක් ලෙසයි.

පසුගිය වසරේ දී මෙන් මෙවරත් තරගාවලියේ දී කණ්ඩායම් 26ක් තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතයි. ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් තරග වදින අතර B සහ C කාණ්ඩ දෙකේ කණ්ඩායම් 6 බැගින් තරග වදිනු ලබනවා.

ඒ අනුව A සහ D කාණ්ඩවලට මූලික වටයේ තරග 6කටත්, B සහ C කාණ්ඩවලට තරග 5කටත් බැගින් ක්‍රීඩා කළ යුතු වන අතර අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

මූලික වටය අවසානයේ දී  B කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම සහ C කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම එහි පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය අප්‍රේල් 1, 2 සහ 3 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

එසේම අප්‍රේල් 8, 9 සහ 10 යන දිනවල දී මෙහි දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මූලික වටය අවසානයේ දී A කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම සහ D කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නවා.

>>2022 අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ  සම්පූර්ණ තරග කාලසටහන<<

තරගාවලියේ අවසන් මහා තරගය අප්‍රේල් 22, 23 සහ 24 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබෙන නමුත්  තරග පවත්වන ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නැහැ.

ඉකුත් දා නිමාවට පත් වුණු 2022 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය නියෝජනය කිරීමට සූදානමින් පසුවනවා.

අවසන් වසරේ (2021) පැවති 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ලංකන් ක්‍රිකට් සමාජය විසින් දිනා ගත් අතර SSC එහි අනුශූරයින් බවට පත් වුනා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<