සිතාර සහ නුවනිඳුගේ ශතක දිනය වර්ණවත් කරයි

Dialog – SLC National Super League Limited Over Tournament 2022

919

කොළඹ කණ්ඩායමේ සිතාර ගිම්හාන් සහ නුවනිඳු ප්‍රනාන්දු දඹුලු කණ්ඩායමට එරෙහිව රැස් කළ ශතක ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog – SLC National Super League ක්‍රිකට් තරගාවලියේ 7 වැනි දිනයේ කැපී පෙනෙන ඉනිම් බවට පත් වුනා.

කොළඹ කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු 26 හැවිරිදි සිතාර ගිම්හාන් පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 110ක් රැස් කරගත් අතර එම කණ්ඩායමේ 22 හැවිරිදි දකුණත් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු පන්දු 82කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් වාර්තා කරගත්තා.

දිනයේ කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කළේ මහනුවර කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන 20 හැවිරිදි අශේන් ඩැනියෙල්. ඔහු පන්දුවාර 6.2ක් යවමින් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත්තා.

අද නිමා වූ තරගවල දී දඹුලු කණ්ඩායමට එරෙහිව කොළඹ ක්‍රීඩකයන් ලකුණු 107ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි තැනට පත් වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ දඹුලු ක්‍රීඩකයන් මේ වන විට තරගාවලියේ තරග 6ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූයේ නැහැ.

අද තම පස්වැනි තරගයට සහභාගී වූ මහනුවර ක්‍රීඩකයන් යාපනය කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු තැනට පත් වූ අතර තරග 6ක් නිමා කළ යාපනය ක්‍රීඩකයන් දෙවැනි තැනට පත් වුනා. අද තරගයක් සඳහා සහභාගී නොවූ ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායම ශතක දෙකක් සමඟින් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 317ක් වාර්තා කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් දඹුලු කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 210ක් පමණයි.

කොළඹ ඉනිම සිතාර ගිම්හාන් සහ නිපුන් ධනංජය විසින් ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 129ක්. නිපුන් ධනංජය රැස් කළ ලකුණු සංඛ්‍යාව පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක්.

අනතුරුව සිතාර සහ නුවනිඳු විසින් දෙවැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කළා. ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් නුවනිඳු දැවී යන විට අශේන් බණ්ඩාර හා එක්ව කොළඹ ඉනිමට ලකුණු 86ක සබඳතාවක් එක් කළා. ඉන් වැඩි ලකුණු ප්‍රමාණයක් නුවනිඳු වාර්තා කළ අතර අශේන් බණ්ඩාර නුවනිඳු දැවී ගිය පන්දුවට පසු පන්දුවේ දී දැවී යන විට රැස් කරගෙන සිටියේ පන්දු 21කට මුහුණ දෙමින් ලකුණු 24ක් පමණයි.

පන්දු යැවීමේ දී දුශාන් හේමන්ත ලකුණු 56කට කඩුලු 3ක් දවා ගත් අතර ලහිරු සමරකෝන් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාර 10 ඇතුළත ප්‍රමුඛ පෙළ පිතිකරුවන් 4 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොළඹ පන්දු යවන්නන් සමත් වුනා. ඒ අතුරින් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් අර්ධ ශතක ඉනිමක් වාර්තා කිරීමට ලසිත් අබේරත්න සමත් වුනා. ඔහුට අමතරව සමීර සඳමාල් ද අර්ධ ශතකයක් වාර්තා කළා. ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් එක් කළා.

ලසිත් අබේරත්න පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් රැස් කරගත් අතර සමීර සඳමාල් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 57ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී කළණ පෙරේරා සහ ලහිරු මධුශංක කඩුලු 3 බැගින් දවා ගත් අතර මොහොමඩ් ඩිල්ශාද් කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු පුවරුව:

කොළඹ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 317 (50): සිතාර ගිම්හාන් 110, නිපුන් ධනංජය 47, නුවනිඳු ප්‍රනාන්දු 100, අශේන් බණ්ඩාර 24, ලහිරු සමරකෝන් 2/41, දුශාන් හේමන්ත 3/56.

දඹුල්ල කණ්ඩායම – සියලු දෙනා දැවී 210 (48.3): ලසිත් අබේරත්න 57, සමීර සඳමාල් 57, ලහිරු සමරකෝන් 34, කළණ පෙරේරා 3/30, මොහොමඩ් ඩිල්ශාද් 2/45, ලහිරු මධුශංක 3/50.

මහනුවර සහ යාපනය කණ්ඩායම් අතර තරගය

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් අවාසනාවන්ත ලෙසින් ලකුණු 109කට තම ඉනිම නිමා කර ගත්තා. එම පහසු ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී පසු කිරීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායමේ ක්‍රීඩකන් අතරින් සාර්ථක පිතිකරුවෙකු ලෙස තම ඉනිම අවසන් කළේ ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පමණයි. ඔහු පන්දු 30කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් රැස් කරගත්තා.

අනෙක් පිතිකරුවන් අතරින් ඉහළම ලකුණු රැස් කරගත්තේ ඉෂාන් ජයරත්න. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 13ක්.

පළමු කඩුල්ල වෙනුවෙන් සදීර සහ ලහිරු තිරිමාන්න (08) එක් කළ සබඳතාව ලකුණු 42ක්. ඉන් අනතුරුව යාපනය ඉනිමේ ඉතිරි කඩුලු 9 ම ලකුණු 67ක් තුළ දවා ගැනීමට මහනුවර පන්දු යවන්නන් සමත් වුනා.

එහි දී ප්‍රමුඛ පෙළේ මෙහෙයක් කළේ අශේන් ඩැනියෙල්. ඔහු දවා ගත් කඩුලු 5ට අමතරව සහන් ආරච්චිගේ තමන් යැවු එකම පන්දුවාරයේ දී ලකුණු 3කට කඩුලු 2ක් දවා ගත්තා. ලසිත් ඇඹුල්දෙණිය සහ පුලින තරංග ද එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම තවත් පන්දුවාර 23ක් සහ කඩුලු 5ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වුනා. ඒ අතරින් වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 45ක් රැස් කරගත්තා. ඉනිම අවසන් වන විට සහන් ආරච්චිගේ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ප්‍රමුද් හෙට්ටිවත්ත පන්දු 22ක දී නොදැවී ලකුණු 9ක් ද වාර්තා කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත් අතර ප්‍රමුද් මධුශාන් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු පුවරුව:

යාපනය කණ්ඩායම – සියලු දෙනා දැවී 109 (30.2): සදීර සමරවික්‍රම 31, අශේන් ඩැනියෙල් 5/27, සහන් ආරච්චිගේ 03/2.

මහනුවර කණ්ඩායම – කඩුලු 5ක් දැවී 110 (27): නිරෝෂන් දික්වැල්ල 45, සහන් ආරච්චිගේ නොදැවී 20, නුවන් ප්‍රදීප් 2/19.

තරගාවලියේ මීළඟ තරග මේ මස 10 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ 15 වැනි තරගය මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද 16 වැනි තරගය ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<