සාන්තුවරයාගේ T20 කැරැල්ල

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

5622
Mahela
Bleacher Report

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩි ප්‍රසිද්ධියක් හිමි වෙන්නේ පිතිකරුවන්ට. ඔවුන් අතරිනුත් නාහෙට අහන්නේ නැති ප්‍රවේගවත් ව පිත්ත හසුරුවන පිතිකරුවන්ට. මේ තේරීම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ. ක්‍රිකට් විචාරකයොත් උඩ දාල දෙන්නේ ඒ අයමයි.

එහෙත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා ලෙසින් අංක එකට ලැයිස්තු ගතව සිටින්නේ එවන් ක්‍රීඩකයෙක් නම් නොවේ.

  • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුව
PLAYER TEAM SPAN MAT INN RUNS HS AVG 100 50
මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව 2007-14 31 31 1016 100 39.07 1 6
Chris Gayle බ.ඉ.කො. 2007-16 28 26 920 117 40.00 2 7
තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකාව 2007-16 35 34 897 96* 30.93 0 6
Virat Kohli ඉන්දියාව 2012-16 16 16 777 89* 86.33 0 9
AB de Villiers ද. අප්‍රිකාව 2007-16 30 29 717 79* 29.87 0 5

ලැයිස්තු ගත පළමුවැන්නා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී පුද්ගලයෙක් ලෙසින් ඇගයීමට පත් මහේල ජයවර්ධන. මහේල යනු තාක්ෂණයෙන් අගතැන්පත් හික්මුණ පිතිකරුවෙක් ලෙසයි අදටත් කතා බහ. කොටින් ම කිව්වොත් ක්‍රිකට් පිටියේ සාන්තුවරයෙක්.

එවන් පිතිකරුවෙක් විස්සයි විස්ස වැනි අතිසීඝ්‍රගාමී තරග රටාවක පිතිකරු ලැයිස්තුවක අංක එකේ සිටිනවා කියන්නේ තරමක විශ්මයක්. මහේල මේ කිරුළ 2014 වසරේ සිට මේ දක්වා ම රැකගෙන සිටිනවා. ඒ අංක එකේ කසකාරයන් ද අභිබවා යමින්. ඒ ගමන කැරැල්ලක් වගේ.

මහේලගේ විස්සයි විස්ස ක්‍රිකට් ගමන ආරම්භ වෙන්නේ එක් පන්දුවකින් ලබා ගත් ලකුණු බින්දුවකින්. ඒ එංගලන්තය සමඟ පැවති මෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ මංගල තරගය. ඊට පස්සේ නවසීලන්තයට එරෙහිව 2* සහ 9ක් ලෙසින් කියැවුනා.

පළමු කැරැල්ල

ඉන් අනතුරුව මහේල සහභාගී වෙන්නේ 2007 මංගල ලෝක කුසලාන තරගාවලියට. එතැන් සිට ආරම්භ වෙන මහේලගේ ක්‍රිකට් කැරැල්ල බංග්ලාදේශයේ පැවති 2014 ලෝක කුසලාන තරගාවලිය දක්වා ම පැවැතියා.

විස්සයි විස්ස තරග 3ක තනි ඉලක්කමේ ලකුණු ලබා සිටි මහේල තමන් සහභාගී වූ සිව්වැනි තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් මේ කැරැල්ල ආරම්භ කරනවා. එය පළමු ලෝක කුසලානයේ 8 වැනි තරගය වූ අතර මහේලගේ ලෝක කුසලාන පළමු තරගයයි.

එදා මහේල එම තරගයේ දී තම අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කරන්නේ පන්දු 21ක් පමණයි. එය අදටත් මෙරට විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත් ම අර්ධ ශතකය ලෙසින් පවතිනවා.

තරගාවලිය අවසන් වන විට මහේලගේ ලකුණු ලබා ගැනීමේ ලැයිස්තුව 65+35+28+30+1ක් ලෙසින් සැකසෙනවා. එහි එකතුව මෙරට පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු තැනේ තැබුණා.

Player Mat Inn NO Runs HS 100 50
මහේල ජයවර්ධන 5 5 1 159 65 0 1
සනත් ජයසූරිය 5 5 0 154 88 0 2
ජෙහාන් මුබාරක් 5 4 2 105 46* 0 0

නමුත් අනෙකුත් රටවල පිතිකරුවන් හා එක් වූ කළ ඔහුට හිමි වූයේ 10 වැනි ස්ථානය. එහි පිතිකරුවන් අතර පළමු ස්ථානයේ තරග 6ක දී ලකුණු 265ක් රැස් කළ ඕස්ට්‍රේලියාවේ Mathew Hayden රැඳී සිටියා.

මේ වෙද්දී එම ලැයිස්තුවේ දෙවැනියා වී සිටින සහ මෙවර තරගාවලියේ දී මහේල අභිබවා යතැයි සිතන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayle රැඳී සිටියේ 20 වැනි ස්ථානයේ. ඔහුගේ දක්ෂතාව සටහන් වූයේ තරග 2ක දී ලකුණු 117ක් ලෙසින්. ඊට ඔහු පළමු ලෝක කුසලානයේ මංගල තරගයේ දී ලබා ගත් ලකුණු 117 වාර්තා වීම කැපී පෙනුණා.

එමෙන් ම එහි තෙවැනි තැනට පත් තිලකරත්න ඩිල්ශාන් ලබා සිටියේ ලකුණු 65ක් පමණක් වන අතර සිව්වැනි ස්ථානයේ සිටින ඉන්දියාවේ Virat Kohli එතෙක් විස්සයි විස්ස තරග පිටියට පිවිස සිටියේ නැහැ. මේ ලැයිස්තුවේ 5 වැනි තැන සිටින දකුණු අප්‍රිකාවේ AB de Villiers රැස් කරගෙන සිටියේ තරග 5ක දී ලකුණු 50ක් පමණයි.

දෙවැනි කැරැල්ල

මහේල ලෝක කුසලාන තරගාවලියක රැස් කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වන්නේ මේ තරගාවලියේ දී. එය අනෙකුත් රටවල පිතිකරුවන් හා සමඟ ලැයිස්තු ගත වීමේ දි හිමි වෙන්නේ 12 වැනි තැන. මෙරට පිතිකරු ලැයිස්තුවේ සිව්වැනි තැන.

එසේ වූවත් මේ තරගාවලියේ දී මහේල ලෝක කුසලාන තරගාවලියක තරගයේ වීරයා සම්මානයෙන් පළමු වරට පිදුම් ලබනවා. ඒ අයර්ලන්තය සමඟ පැවති තරගයේ දී රැස් කරන ලද ලකුණු 78ට කෙරුණ ඇගයීම. මහේලගේ ලෝක කුසලාන චාරිකාව අවසන් වන විට තරගයේ වීරයා සම්මාන 5ක් දිනා සිටි අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් පළමුවැනි තැනේ ලා සැලකුණා.

දෙවැනි තරගාවලියේ දී මහේලගේ පිතිකරණ දක්ෂතා 9+4+19+78+41*+2+1ක් ලෙසින් ලැයිස්තු ගත වුනා.

Player Mat Inn NO Runs HS 100 50
තිලකරත්න ඩිල්ශාන් 7 7 1 317 96* 0 3
සනත් ජයසූරිය 7 7 0 177 81 0 1
කුමාර් සංගක්කාර 7 7 2 177 64* 0 2
මහේල ජයවර්ධන 7 7 1 154 78 0 1

මෙම තරගාවලියේ දී පිතිකරුවෙක් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකාරීත්වයට ඩිල්ශාන් පත් වුනා.  එමෙන් ම ඔහු තරගාවලි දෙකේ දී රැස් කරන ලද ලකුණු එකතුව 382 හේතුවෙන් එතෙක් වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා බවට ද පත් වූවා.

එහි දෙවැනි ස්ථානය ඉන්දියාවේ Gutham Gambhirට (375) ද, තෙවැනි ස්ථානය පාකිස්තානයේ Shoib Malikට (339) ද, සිව්වැනි ස්ථානය එංගලන්තයේ Kevin Pitersenට (332) සහ පස්වැනි ස්ථානය ලකුණු 313ක් ලැබූ මහේලට ද හිමි වුනා.

මහේල සමඟ මේ තරගයේ සිටින Chris Gayle ලකුණු 310ක් ද AB de Villiars ලකුණු 236ක් ද ලබා පසු පෙළට වැටී තිබුණා.

Indian TV News

තෙවැනි කැරැල්ල

මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ පළමුවැනි ක්‍රීඩකයා මෙන් ම එක ම ක්‍රීඩකයා ද ලෙසින් මහේල ඉතිහාසයට එක් වුනා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි වූ එම ශතකය 63 වැනි පන්දුවේ දී වාර්තා කරනවා.

තරගාවලිය නිමා වන විට මහේල මෙරට මෙන් ම තරගාවලියේ පිතිකරු දක්ෂතා ලැයිස්තුවේ පළමුවැනියා බවට පත් වුනා. එය ලැයිස්තු ගත වූයේ මේ ආකාරයෙන්. 81+100+98*+4+9+10.

Player Mat Inn NO Runs HS 100 50
මහේල ජයවර්ධන 6 6 1 302 100 1 2
කුමාර් සංගක්කාර 6 6 0 139 68 0 1
ඇන්ජලෝ මැතිව්ස් 6 5 0 119 58 0 1

දෙවැනි තරගාවලිය අවසන් වන විට සිව්වැනි ස්ථානයේ රැඳී සිටි Kevin Pietersen තෙවැනි තරගාවලිය අවසන් වන විට ලකුණු 680ක් ලබා පළමු ස්ථානයට පත් ව සිටියා. ඒ වෙද්දී මහේල රැස් කරගෙන සිටියේ ලකුණු 615ක් පමණයි.

තරගාවලිය නිමාවේ දී, එම ලැයිස්තුව අරක්ගෙන සිටින ඩිල්ශාන් ලකුණු 455ක් ද, Chris Gayle ලකුණු 442ක් ද සහ AB de Villiars ලකුණු 389ක් ද ලෙසින් ලබා ගන්නවා.

සිව්වැනි කැරැල්ල

පළමු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ මහේල නැවැත වරක් මේ තරගාවලියේ දි නායකත්වයට පත් වෙන අතර තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්.

මේ තරගාවලියේ දී මහේල 13+4+44+65*+42+42+33ක් ලෙසින් ලබා ගත් ලකුණු එකතුව තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී දෙවැනි ස්ථානයට පත් වුනා.

Player Mat Inn NO Runs HS 100 50
මහේල ජයවර්ධන 7 7 1 243 65* 0 1
තිලකරත්න ඩිල්ශාන් 7 7 0 179 76 0 1
කුමාර සංගක්කාර 7 7 1 170 44 0 0

එම තරගාවලිය අවසන් වන විට නැවත වතාවක් ශ්‍රී ලංකාව අනුශූරයන්ගේ කුසලානය දිනා ගත්තා. ඒ වෙද්දී එවන් දක්ෂතාවක් කළ එක ම රට බවට ශ්‍රී ලංකාව පත් වුනා.

තරගාවලිය නිමා වන විට මහේල වාර්තාගත පිතිකරු ලැයිස්තුවට එක් වෙන්නේ පළමුවැනියා ලෙසින්. ඒ ලකුණු 858ක් ලබා ගනිමින්. Chris Gayle ලකුණු 664ක් ද, ඩිල්ශාන් ලකුණු 632ක් සහ AB de Villiars ලකුණු 478ක් ද ලබා සිටිමින් පිළිවෙළින් තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථානවලට පත් ව සිටියා. පෙර දක්ෂතා මත Kevin Pietersen දෙවැනි ස්ථානයේ රැඳී සිටියා.

පළමු වරට විස්සයි විස්ස ලෝක කුසලාන පිටියට පිවිසෙන ඉන්දියාවේ Virat Kohli එම තරගාවලියේ තරග 5ක දී ලකුණු 185ක් වාර්තා කරනවා.

Figure 1Sports cafe

පස්වැනි කැරැල්ල

මහේල සහභාගී වූ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙයයි. මෙම තරගාවලිය ඉතිහාස ගත වන්නේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරමින්.

මෙම තරගාවලියේ ද මහේල පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී ශ්‍රී ලාංකිකයන් අතර පළමු තැන ලැබුව ද සම්පූර්ණ ලැයිස්තුවේ හිමි වෙන්නේ 11 වැනි තැන. මහේලගේ ලකුණු වාර්තා කිරීම 9+11*+89+25+0+24ක් ලෙසින් එකතු වුනා.

Player Mat Inn NO Runs HS 100 50
මහේල ජයවර්ධන 6 6 1 158 89 0 1
තිලකරත්න ඩිල්ශාන් 6 6 1 132 55 0 1
කුසල් ජනිත් පෙරේරා 6 6 0 125 61 0 1

තරගාවලිය නිමා වන මහේල වාර්තාගත පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් ව සිටි අතර එම පිතිකරු ලැයිස්තුව ආක්‍රමණය කර සිටින Chris Gayle ලකුණු 807ක් ද, ඩිල්ශාන් ලකුණු 764ක් ද, AB de Villiars ලකුණු 607ක් ද සහ Virat Kohli ලකුණු 504ක් ද ලබා සිටියා.

මහේලගේ කැරලි බිම, රටින් රටට සැකසුණ අයුරු

Runs As a Captain
Team 1 2 3 4 5 6 Total Mat Won Lost Tie
කෙන්යාව 65 65 1 1 0 0
නවසීලන්තය 35* 41* 44 81 25 226 2 1 0 1
පාකිස්තානය 28 19 1 42 90 2 1 1 0
බංග්ලාදේශය 30 30 1 1 0 0
ඔස්ට්‍රේලියාව 1 9 9 19 1 0 1 0
සිම්බාබ්වේ 13 100 113 1 1 0 0
දකුණු අප්‍රිකාව 4 9 13 1 0 1 0
බටහිර ඉන්දීය කොදෙව් 4 2 65* 33 98* 0 202 2 1 1 0
එංගලන්තය 42 10 89 141 1 1 0 0
ඉන්දියාව 4 24 28 0 0 0 0
අයර්ලන්තය 78 78 0 0 0 0
නෙදර්ලන්තය 11* 11 0 0 0 0

කැරැල්ලෙන් විශ්‍රාම ගත් පසු

2014 ලෝක කුසලානය අවසන් වූ පසුව මහේල ලෝක කුසලාන බිම හැර ගිය අතර ඊට පසුව පැවැති 2016 ලෝක කුසලානයෙන් අනතුරුව ඩිල්ශාන් සහ AB de Villiars ද විස්සයි විස්ස තරග බිම හැර ගියා. ඒ වෙද්දී ඔවුන්ගේ දක්ෂතා අනුව ඩිල්ශාන් තෙවැනි තැනටත්, AB de Villiars පස් වැනි තැනේත් ලැගුම් ගෙන සිටියා.

ඔවුන්ගේ විශ්‍රාම යෑමෙන් පසුව මේ වෙද්දී එම පිතිකරු ලැයිස්තුවේ තරගය නිර්මාණය වී තිබෙන්නේ Chris Gayle සහ Virat Kohli අතරයි. තවත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ද වරින් වර කැරලි බිමට පිවිසියත් ඔවුන්ට එම සීමාවට පිවිසීමේ අවකාශ ලැබුණේ නැහැ.

මෙවර ලෝක කුසලානයේ දී මෙතෙක් මහේල විසින් ගොඩ නැගූ කැරැලි බිමේ ආරක්ෂක කපොළු බිඳ හෙළන්නේ නම්  Chris Gayle ලකුණු 97ක් ද, Virat Kohli ලකුණු 240ක් ලබා ගත යුතුයි. පෙර දක්ෂතා අනුව එය එතරම් අපහසු ඉලක්කයන් නොවේ. එහෙත් එවැන්නක් පැවැසීමට අප ඉක්මන් නොවෙමු.

ඒ මහේලගේ කැරැල්ලෙන් ගොඩ නැගුණ පිතිකරු රණ බිමේ, රණ ශූරයා මහේල ම වනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් වන අපගේ කැමැත්ත නිසා.

2021 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු සමඟ රැදී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<