T20 අභියෝගයට සැරසෙන හිරු නොබසින අධිරාජ්‍යය

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1073
gettyimages

නොබෝ දිනකින් ආරම්භ වන හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලානයට මේ වන විට සියලු කටයුතු සූදානම්. මෙවර ශූරතාවය සඳහා ඉදිරියෙන් ම සිටින කණ්ඩායමක් වශයෙන් එංගලන්ත කණ්ඩායමට ඉන් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

වත්මන් ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 කණ්ඩායම ලෙස පෙරමුණේ පසුවන එංගලන්තය මෙවර තරගාවලියට අවතීර්ණ වන්නේ ප්‍රබලතම ක්‍රීඩකයන් රැසකම එකතුවකිනි. සුපුරුදු පරිදි මෙවර තරගාවලියට ඔවුන් පිවිසෙන්නේ Eoin Morganගේ නායකත්වය යටතේ යි.

cricketaddictor

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් මේ දක්වා එක් ශූරතාවයකට (2010) හා එක් අනුශූරතාවයකට (2016) උරුමකම් කීමට සමත් වී ඇත. අවසන් වරට පැවති එම 2016 කුසලානය ද ඔවුන්ට අවසාන මොහොතේ මඟහැරී ගියේ සියල්ලටම වඩා අවාසනාව හරස් වෙමිනි.

මෙවර තරගාවලියේ දී ඔවුන් Group 1 ඔස්සේ තරග වැදීමට නියමිතව ඇති අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා සුදුසුකම් ලැබීමේ වට දෙකෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ ආක්‍රමණශීලී පිතිකරණ යුගලයක් වන Jason Roy හා Jos Buttler දෙදෙනායි. ඔවුන් දෙදෙනාගේ ප්‍රවේගකාරී ආරම්භය එංගලන්ත මැදපෙළ හා පසුපළ පිතිකරුවන්ට විශාල අස්වැසිල්ලක් වනු ඇත. මේ අතරින් Buttler කණ්ඩායමේ කඩුලු රකින්නාගේ භූමිකාව ද ඉටු කරනු ලබයි.

theguardian

අංක 3 ස්ථානය හිමිවන්නේ වර්තමාන ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ස්ථානයේ පසුවන පිතිකරුවා වන Dawid Malanටයි. මෙවර තරගාවලියේ දී Malan ඔවුන්ගේ විශාලතම බලාපොරොත්තුවක් වන්නේ ද ඒ හේතුවෙනි.  වමත් පිතිකරුවකු වන ඔහු මේ වන විට T20I ලකුණු 1123ක් රැස්කර ඇත්තේ 43.2ක පිතිකරණ සාමාන්‍යයක් හා 139.3ක ප්‍රහාරාත්මක වේගයක් ද සමඟින්.

එක්දින තරග රටාවේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන Jonny Bairstowට විස්සයි විස්ස සංයුතියේ හිමිව ඇත්තේ අංක 4 ස්ථානයයි. ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ඔහු ද Buttlerට අමතරව ඔවුන්ට සිටින තවත් කඩුලු රකින්නෙකි.

indiatoday

අංක 5 ස්ථානය හිමිව ඇත්තේ නවක ක්‍රීඩක Liam Livingstone හටයි. වර්තමානයේ දස්කම් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙකු වන Livingstone තම හැකියාව මනාව ඔප්පු කර පෙන්වූයේ අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගාවලියේ දී පාකිස්තානය එරෙහිව රැස්කළ සටන්කාමී ශතකයත් සමඟිනි. ඊට අමතරව ඔහුට දඟපන්දු යවන්නෙකු ලෙස ද කටයුතු කිරීමේ හැකියාව ඇත.

අනතුරුව පිටියට පිවිසෙන්නේ නායක Eoin Morganය. වර්තමානයේ යම් පසුබෑමකට ලක්ව සිටිය ද, ඔහු එදාමෙදාතුර විස්ස විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණුලාහී එංගලන්ත පිතිකරුවා ද වන්නේ ලකුණු 2360ක් සමඟිනි.

මෙම එංගලන්ත සංයුතියේ සිටින ප්‍රධානතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන Moeen Aliට හිමිව ඇත්තේ අංක 7 පිතිකරණ ස්ථානයයි. දකුණත් පිට දඟපන්දු යවන්නෙකු වශයෙන් ක්‍රීඩා කරන Ali තම පිතිකරණයෙන් ද අමතර ශක්තියක් ලබා දෙන්නේ කණ්ඩායමේ සමබරතාවය සුරැකීමට මනා රුකුලක් ලබා දෙමින්.

මෙම කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟපන්දු යවන්නා වන්නේ Adil Rashidය. වර්තමාන ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ස්ථානයක් දිනා සිටින එංගලන්ත පන්දු යවන්නා වන Rashid එම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි. වමත් පා දඟපන්දු යවන්නෙකු වන ඔහු මෙවර තරගාවලියේ දී ඔවුන් සතු ප්‍රබලතම තුරුම්පුවකි.

jantakareporter

පසුගිය වසර කිහිපය පුරාවටම සාර්ථක දඟපන්දු යුගලයක් වශයෙන් සබඳතාවක් ගොඩනඟාගත් Ali සහ Rashid දෙදෙනාගේ සේවය මෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දඟපන්දු යවන්නන්ට හිතකර තණතිලිවල දී එංගලන්තයට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

කණ්ඩායමේ ඉතිරි ස්ථාන තුන වේගපන්දු යවන්නන්ට හිමිව ඇති අතර එම ස්ථානයන්හි Chris Woakes, Mark Wood හා Chris Jordan තිදෙනා ක්‍රීඩා කිරීමට බොහෝ දුරට අවකාශ පවතී.

මේ අතරින් විස්සයි විස්ස තරග රටාවේ විශේෂඥයෙකු ලෙස හැඳින්වෙන Jordan ඉනිමේ අග භාගයේ පන්දු යැවීමෙන් (death bowling) සාර්ථකත්වයක් පෙන්වා ඇති වේගපන්දු යවන්නෙකි. එමෙන්ම අගපෙළ පිතිකරුවෙකු ලෙස ඔහු පිතිකරණයෙන් ද කණ්ඩායමට දායකත්වයක් ලබා දෙයි.

Woakes හා Wood දෙදෙනා ද යම් විශ්වසනීයත්වයක් ගොඩනඟා ගත් අත්දැකීම් බහුල වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන අතර මින් Woakes තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකි.

independent

සංචිතයේ සිටින අනෙක් ක්‍රීඩකයන් වන්නේ David Willey, Tom Curran, Tymal Mills හා Sam Billings සිව් දෙනායි. මේ අතරින් Willy වේගපන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

කෙසේ නමුත් මුලින්ම නම් කළ එංගලන්ත සංචිතයට Sam Curran ඇතුළත්ව සිටි අතර ආබාධයක් හේතුවෙන් පසුව ඔහු වෙනුවට Tom Curranව ආදේශ කිරීමට එංගලන්තයට සිදු වුනා.

Tymal Mills යනු අමතර වේගයක් සහිත වමත් වේගපන්දු යවන්නෙකු වන අතර අවසන් වරට ඔහු එංගලන්තය නියෝජනය කළේ 2018 වසරේ දීයි.

අනෙක් ක්‍රීඩකයා වන Sam Billings මැදපෙළ පිතිකරුවෙකි. ඊට අමතරව ඔහුත් මෙම සංචිතයේ සිටින තවත් එක් කඩුලු රකින්නෙකි.

මෙම 15 දෙනාගේ සංචිතයට අමතරව සිටින අතිරේක ක්‍රීඩකයන් වන්නේ Reece Topley, Liam Dawson හා James Vince තිදෙනා යි.

gettyImages

කෙසේ වෙතත් මෙම එංගලන්ත කණ්ඩායමට සිදු වූ යම් අවාසිසහගත කරුණක් ලෙස සඳහන් කළ හැක්කේ මෙවන් ප්‍රමුඛ පෙළේ තරගාවලියක දී ඔවුන් සතු ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන Ben Stokes හා Jofra Archer දෙදෙනාගේ සේවය අහිමි වී යාමයි.

එමෙන්ම අනෙක් කාරණය වන්නේ නායක Eoin Morgan ඇතුළුව පිතිකරණ ලැයිස්තුවේ බොහෝ දෙනෙක්ම වර්තමානයේ දස්කම් අතර නොසිටීමයි.

ඒ සියල්ලටම වඩා අවාසිසහගතම කරුණ වශයෙන් සඳහන් කළ හැක්කේ එංගලන්තයට සුපුරුදු වේග තණතිලිවල මෙම තරගාවලිය ක්‍රීඩා නොකිරීමයි.

කෙසේ නමුත් සමස්තයක් වශයෙන් මේ වන විට ලොව සිටින අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වශයෙන් එම අභියෝගයන් සියල්ල ජය ගැනීමට අවශ්‍ය වන දක්ෂතා සමූහයක එකතුවක් ඔවුන් සතු ය. ඒ ඔස්සේ ඔවුන් මෙම විස්සයි විස්ස කිරුළට පෙරගමන් යන අයුරු දෙස අප විමසිල්ලෙන් බලා සිටිමු.

එංගලන්ත සංචිතය: Eoin Morgan(c), Moeen Ali, Jonny Bairstow, Sam Billings, Jos Buttler, Tom Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Tymal Mills, Adil Rashid, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood

අතිරේක ක්‍රීඩකයන්: Reece Topley, Liam Dawson, James Vince

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<