විස්සයි විස්ස කිරුළේ සිංහයෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

2327

තවත් සති කිහිපයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආ‍රම්භ වන ICC විස්සයි විස්ස ලෝක කුසලානයට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මීට සහභාගී වන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ පළමු වටයේ තරග වැදීමට නියමිත කණ්ඩායමක් වශයෙනුයි. එම වටයේ දී Group A ඔස්සේ ශ්‍රී ලංකාව තරග වදින්නේ අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාව යන කණ්ඩායමේ 3 සමඟයි.

ඒ මෙවර තරගාවලියේ දී කෙළින්ම මුල් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත් වීම හේතුවෙන් දෙවැනි වටයට (Super 12) සුදුසුකම් ලැබීම සඳහා යි.

Group A හා Group B ඔස්සේ කණ්ඩායම් 4 බැගින් තරග වදින අතර ඉන් කණ්ඩායම් දෙක බැගින් Super League වටයට සුදුසුකම් ලබනු ඇත.

වර්තමානයේ දී කෙතරම් පසුබැසීමට ලක්ව සිටිය ද ස්වර්ණමය ක්‍රිකට් යුගයකට හිමිකම් කී ශ්‍රී ලංකාව, විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා එක් ශූරතාවයකට (2014) හා අනුශූරතා දෙකකටම (2009, 2012) උරුමකම් කීමට සමත් වීම මෙහි දී අමතක නොකළ යුතු කාරණයක්.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දසුන් ශානකටයි. ආරම්භක පිතිකරුවන් ලෙස ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමඟ දිනේෂ් චන්දිමාල් හා අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාගෙන් එක් අයෙක් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියේ සිටින හොඳම පිතිකරුවා ලෙස හැඳින්විය හැකි කුසල් පෙරේරා මේ වන විට කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන්ගෙන් ද එක් අයෙක්. කෙසේ වෙතත් T20I තරග රටාවේ දී අවිශ්ක ප්‍රනාන්දු මේ දක්වා සාර්ථකත්වයක් පෙන්වා නොතිබීමත්, චන්දිමාල්ගේ ප්‍රහාරාත්මක වේගයේ ගැටලුවක් තිබීමත් හේතුවෙන් අනෙක් ආරම්භක අන්තයේ සිටින කුසල් හට මෙහි දී වැඩි වගකීමක් පැටවෙනු ඇත.

මෙම කණ්ඩායමේ කඩුලු රැකීමේ භූමිකාව කුසල් හා චන්දිමාල් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට පැවරීමට ඉඩකඩ ඇත. ඊට අමතරව මිනෝද් භානුකත් කඩුලු රකින්නෙකු වශයෙන් මෙම සංචිතයට ඇතුළත්ව සිටී.

අංක 3 ස්ථානය හිමිව ඇත්තේ භානුක රාජපක්ෂටයි. ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකු වන භානුක මෙම තරග රටාවේ විශේෂඥයෙකු ලෙස හැඳින්විය හැක. කෙසේ නමුත් මෑතකාලීනව දිගින් දිගටම ඔහු අසාර්ථකත්වට ලක්වීම ශ්‍රී ලංකා පිතිකරණ අංශයට සිදු වූ යම් අවාසිසහගත තත්වයකි.

උපනායක ධනංජය ද සිල්වා මෙම පිතිකරණ ලැයිස්තුවේ අංක 4 පිතිකරුවා මෙන්ම 6 වැනි පන්දු යවන්නා වශයෙන් කටයුතු කරනු ලබයි. ඔහුත් පිතිකරුවෙකු වශයෙන් පසුගිය සමයේ කැපීපෙනෙන සාර්ථකත්වයක් පෙන්වීමට අපොහොසත් වූ අයෙක්.

අංක 5 ස්ථානය සඳහා චරිත් අසලංක හා කමිඳු මෙන්ඩිස් දෙදෙනා අතර මේ වන විට තරගයක් නිර්මාණය වී ඇත්තේ අසලංක එක්දින තරග වල මෙන් විස්සයි විස්ස තරග රටාවේදී ස්ථාවරත්වයක් පෙන්වීමට තවමත් අසමත් වූ බැවින්. අනෙක් අතට කමිඳු නිමා වූ දේශීය විස්සයි විස්ස තරගාවලියේ දී කැපීපෙනෙන ලෙස දස්කම් දැක්වීමට සමත් වූ නිසා ඔහුට මෙම ස්ථානය සඳහා යම් වැඩි අවස්ථාවක් ඇත.

අංක 6 පිතිකරු වන දසුන් ශානකට මෙම පිතිකරණ බලඇණියේ වැඩි වගකීමක් පැවරෙන්නේ නායකත්වයේ වගකීමත් සමඟිනි. ඔහු පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් අවශ්‍ය විටක දී මද වේගපන්දු යැවීමෙන් ද පන්දු යැවීමේ අංශයට යම් දායකත්වයක් ලබා දෙයි.

කෙසේ වෙතත් විස්සයි විස්ස විශේෂඥයෙකු වශයෙන් දේශීය පිටියේ දී දසුන් දක්වා ඇති දක්ෂතා තවමත් ජාත්‍යන්තර තලයට රැගෙන ඒමට අපොහොසත් වීමේ අඩුපාඩුව මඟහරවා ගැනීම හැකි ඉක්මනින් ම සිදු විය යුතු අනිවාර්යය කාරණයකි.

මොවුන් හැරුණුකොට සංචිතයේ සිටින අනෙක් විශේෂඥ පිතිකරුවන් වන්නේ පැතුම් නිස්සංක හා අශේන් බණ්ඩාර දෙදෙනායි.

කණ්ඩායමේ දඟපන්දු යැවීමේ අංශය පෙළගැස්වී ඇත්තේ ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මේ වන විට අංක 02 ස්ථානයේ පසුවන දකුණත් පා දඟපන්දු යවන වනිඳු හසරංගගේ ප්‍රමුඛත්වයෙනි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම බලාපොරොත්තුව වන්නේ ද ඔහුයි. කෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ භූමිකාව ඉටු කරන වනිඳු පසුගිය සමයේ දී පිතිකරුවෙකු වශයෙන් යම් පසුබෑමකට ලක්වීම සහ පන්දු යවන්නෙකු ලෙස මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ ක්‍රීඩා කළ තරග දෙක අසාර්ථක වීම ඔහු සම්බන්ධ යම් සෘනාත්මක කරුණු වශයෙන් සඳහන් කළ හැක.

වනිඳුට අමතරව මෙම සංචිතයේ සිටින අනෙක් විශේෂඥ දඟපන්දු යවන්නන් වන්නේ වමත් පා දඟපන්දු යවන්නෙකු වන ප්‍රවීන් ජයවික්‍රම, දකුණත් off-break පන්දු යවන්නන් වන මහීෂ් තීක්ෂණ හා රමේෂ් මෙන්ඩිස් සමඟ වමත් චයිනමන් පන්දු යවන්නෙකු වන ලක්ෂාන් සඳකැන් යන සිව් දෙනායි.

මේ අතරින් අත්දැකීම් බහුලතම දඟපන්දු යවන්නා වන සඳකැන් මේ වන විට ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි මුල් දස දෙනා අතරට පවා පැමිණි පන්දු යවන්නෙක්. කෙසේ නමුත් මේ වන විට ඔහු එම ලැයිස්තුවේ 24 වැනි ස්ථානයට පත්ව ඇත.

අනෙක් තිදෙනා අතරින් රමේෂ් මෙන්ඩිස් ද  වනිඳු හසරංග මෙන් දඟ පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ඔවුන් පස් දෙනාට අමතරව පිතිකරණය මූලික කර ගත් දඟපන්දු යවන්නන් ලෙස (part time spinners) ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් හා චරිත් අසලංක වැන්නන් ද සිටීම ශ්‍රී ලංකා පන්දුකරණයට අමතර ශක්තියකි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරු දඟපන්දු වන්නන්ට හිතකර වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අවිය බවට පත්වන්නේ ද වනිඳු ප්‍රමුඛ දඟ පන්දු යැවීමේ බලඇණියයි.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සමන්විත වී ඇත්තේ ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් පමණක් වීම මෙම සංචිතයේ එක් සුවිශේෂී කාරණයකි. ඒ වර්තමානයේ තම හොඳම පන්දු යැවීමේ රිද්මයේ සිටින දුෂ්මන්ත චමීර, අත්දැකීම් බහුල නුවන් ප්‍රදීප් හා වේග පන්දුව මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න තිදෙනාගේ එකතුවෙන්.

ඊට අමතරව ඉහත සඳහන් කළ පරිදි දසුන් ශානකට ද වේග පන්දු අංශයට යම් දායකත්වයක් ලබා දීමේ හැකියාවක් ඇත. මොවුන් සියලු දෙනාම දකුණත් වේගපන්දු යවන්නන් ය.

මේ අතරින් අංක 8 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරන චාමික කරුණාරත්නගේ ප්‍රහාරාත්මක පිතිකරණය ද ශ්‍රී ලංකා පිතිකරණ අංශයට මහත් අස්වැසිල්ලකි.

මෙම සංචිතයට අමතරව සිටින අතිරේක ක්‍රීඩකයන් වන්නේ අකිල ධනංජය, පුලින තරංග, බිනුර ප්‍රනාන්දු හා ලහිරු කුමාර සිව් දෙනායි.

ශ්‍රී ලංකා සංචිතය මුල් වරට පසුගිය මාසයේ දී නම් කරනු ලැබුව ද අනතුරුව එහි වෙනස්කම් කිහිපයක්ම සිදු කරනු ලැබුවේ ක්‍රීඩකයන් 19 දෙනෙක්ම ඒ සඳහා ඇතුළත් කරමින්. මීට පෙර සංචිතයේ සිටි තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මධුසංඛ පසුව ආබාධයකට ලක් වීම නිසා සංචිතයෙන් ඉවත් කෙරුණු අතර නව සංචිතය සඳහා පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, මිනෝද් බානුක හා රමේෂ් මෙන්ඩිස් යන පස් දෙනා ඇතුළත් කර ඇත.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ඉතිහාසයේ පැවති අනෙක් තරගාවලිවල දී මෙන් නොව අසීරු අඩියක පසුවෙමින් බව අප සියලු දෙනාම දන්නා කරුණක්. ලොව අනෙක් මුල් පෙළේ කණ්ඩායම්වලට සාපේක්ෂව වර්තමානයේ දී ශ්‍රී ලංකාව සිටින්නේ සැලකිය මට්ටමකින් පහළින් බව මෙහි දී අපට පිළිගැනීමට සිදු වන සත්‍යයකි.

නමුත් එම තත්ත්වයට ඇද වැටීමට බලපෑ හේතු කාරණාවලින් පාඩම් ඉගෙන ගනිමින් හා අපට ඇති අවම සම්පත්වලින් හැකි උපරිමය ලබාගැනීමේ යන අරමුණු සාක්ෂාත් කරගනිමින් නොසැලී ඉදිරියටම ගමන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෙරදැඩි කරගැනීම මෙහි දී අනිවාර්ය කාරණයක් බවට පත්වේ.

ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සියලු ධෛර්ය හා ශක්තිය ලැබී යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට හැකියාව ලැබේවායි ThePapare.com අප එකසිතින් ප්‍රාර්ථනා කරමු.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, මිනෝද් බානුක, රමේෂ් මෙන්ඩිස්

අතිරේක ක්‍රීඩකයින්: ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, පුලින තරංග, අකිල ධනංජය

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<