2016 වසරේ සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාවෙන් සෑහීමට සිදු වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තම යුවරජ කිරුළේ ගිලිහුණු මාණික්‍ය සොයා මෙවර සටනට පිවිස සිටියි.

පාසල් රග්බි කැලැන්ඩරයේ කිසිදු වෙනසක් නොමැත

පාසල් රග්බි ලීගය කල් දැමීමට කටයුතු යොදා තිබුණ ද, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නිළදාරීන් විසින් එය සැලසුම් කර තිබූ පරදී එම කාලසටහනටම අනුව පෙබරවාරි 21 වන දා ආරම්භ කරන බව..

රග්බි ඉතිහාස පොතේ විමසුමක්

1980 සහ 90 දශක වල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට මෙරට පාසල් රග්බි කරළියේ වඩාත්ම ප්‍රබල කණ්ඩායම් අතර ඉහලින්ම වැජඹුණු පාසලකි. කෙසේ වෙතත් තුන්වන සහශ්‍රයේ ආරම්භයත් සමඟ තොමසුවන්ගේ රග්බි ආධිපත්‍ය දරුණු කඩාවැටීමකට ලක් විය. අමතක කර දැමිය යුතු වසර ගණනාවකින් පසු 2009 වසරේ දී අනුරුද්ධ විල්වර, සුදර්ශන මුතුතන්ත්‍රී සහ ශවීන් කපුවත්ත වැනි ක්‍රීඩකයන්ගෙන් ලද සවිය උපයෝගී කර ගනිමින් නැවත නැගී සිටි ගල්කිස්සේ රග්බි ප්‍රබලයන් එම වසරේ පාසල් ලීග් අනුශූරතාව මෙන්ම මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව ද දිනා ගන්නට සමත් විය.

අනතුරුව ගෙවී ගිය තවත් අඳුරු වසර කිහිපයකින් පසු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නැවතත් පාසල් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩය වෙත ගෙන එන්නට සමත් වුනේ 2013 වසරේ දෙවින් ජයසිංහගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කල කණ්ඩායමයි. ඊට පෙර වසර 3ක් දෙවන කාණ්ඩයේ තරග වදින්නටද ඔවුන්ට සිදු වී තිබුණි. කෙසේ වෙතත් දෙවින් ජයසිංහගේ කණ්ඩායම දෙවන කාණ්ඩය තුල අපරාජිත වෙමින් කැනන් ආර්. එස්. ද සේරම් පලිහ, ජයතිලක ආර්යා පලිහ සහ මයිකල් ගුණරත්න කුසලාන යන ශූරතා ත්‍රිත්වයම ජය ගන්නට සමත් විය.

පසුගිය තරග වාරය

පණ්ඩුල ද සිල්වා ගේ නායකත්වයෙන් තරග වැදුණු පසුගිය වසරේ සාන්ත තෝමස් කණ්ඩායම සියලු අංශයන්ගෙන් පරිපූර්ණ කණ්ඩායමක් ලෙස තම ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සමත් විය. කෙසේ වෙතත් විශිෂ්ට තරග වාරයකින් පසු ඔවුන්ට සිදුවුනේ ලීග් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයෙන් නවතින්නටයි.

එසේ වුවත් වසර 22කට පසු සමස්ත ලංකා අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව සාන්ත තෝමස් විද්‍යාලයට හිමි කර දෙන්නට නවීන් හේනකංකානම්ගේ ප්‍රමුඛ කණ්ඩායමට හැකියාව ලැබුණි.

මේ අතර මෙවර තරග වාරය වන විට පසුගිය වසරේ ක්‍රීඩා කල ක්‍රීඩකයන් එකොලොස් දෙනෙකුම (11) කණ්ඩායමෙන් ඉවත්ව සිටින නමුත් අවශ්‍ය තරම් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් තවමත් ඔවුන් සතුව සිටියි.

එමෙන්ම නවීන් හේනකංකානම්ගේ, පණ්ඩුල ද සිල්වා, අශ්වන්ත හේරත්, ධනුජ විජේරත්න සහ ක්‍රිස්ටියන් ඩි ලීල් යන ක්‍රීඩකයන් 5 දෙනාම ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලැබූ තොමසුවන් ලෙස හැඳින්විය හැක.

අවධානය යොමු වන ක්‍රීඩකයන්

Naveen Henakankanamge

ජ්‍යේෂ්ඨයන්ගේ නික්ම යාමෙන් මදක් කඩතොළු සහිත වූ මෙවර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ පසුගිය තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ නවීන් හේනකංකානම්ගේ හටයි. ඔහු පසුගිය වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහල සත් සාමාජික රග්බි කණ්ඩායම මෙහෙයවමින් හොංකොං සහ චීන තායිපේ තරග සංචාර ජයග්‍රාහීව අවසන් කරන්නට සමත් වූ නායකයෙකි. මෙවර බොහෝ දෙනා බලා සිටින කාරණය වන්නේ නවීන් මෙවර තරග වාරයේ වඩාත් ආරම්භයන් ලබා ගන්නේ විංග් ක්‍රීඩකයෙක් ලෙස ද නැතහොත් සෙන්ටර් ක්‍රීඩකයෙක් වශයෙන් ද යන්නයි.

ෆ්ලෑන්කර් ක්‍රීඩක ක්‍රිස්ටියන් ඩි ලීල් පසුගිය තරග වාරයේ දී තම ආධිපත්‍ය මනාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙකි. ඔහු විශිෂ්ට ලෙස ප්‍රතිවාදීන්ගෙන් පන්දුව සොරා ගන්නා ආකාරය මෙන්ම ප්‍රතිවාදීන් ඉදිරියට පැමිණීම වැළැක්වීමේ හැකියාව ද කැපී පෙනුණු දක්ෂතා ලෙස හැඳින්විය හැක. මෙම තරග වාරයේ දීද සාන්ත තෝමස් ඉදිරි පෙළ ක්‍රීඩකයන් අතර ඔහු ප්‍රබල වගකීමක් දරනු ඇත.

මයෝන් ජයවර්ධන පසුගිය වසරේ දී ෆුල් බැක් ස්ථානයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. දනහිස් ආබාධයකින් පසුගිය තරගවාරයේදී පීඩා විදි ඔහු ස්ටුවර්ට් හොග් ආකාරයේ අවසන් කරන්නෙකි. ඔහුගේ සහ ඔහුගේ නායකයාගේ සංකලනය 2017 වර්ෂයට හොඳින් ගැලපෙනු නොඅනුමානයි.

Dion Dias

ශරීරයෙන් කුඩා වුවත් හාෆ් බැක් ස්ථානයේ ක්‍රීඩා කරන ඩියෝන් ඩයස් තරග දිනවන්නෙක් විය. පසුගිය වසරේ බොහෝ විට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසිය ද පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඩියෝන් හට මෙවර පා පහර එල්ල කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙනු ඇත. එමෙන්ම ක්ෂණික තීරණ ගැනීමේ දී වඩාත්ම වැදගත් වගකීමක් ද ඔහුට පැවරී තිබේ.

පුහුණු කාර්ය මණ්ඩලය

‘ලගා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ටුලගීස් ටවීටා මෙරට රග්බිලෝලීන් අතර තවදුරටත් අමුත්තෙක් නොවේ. පසුගිය වසරේ දී ද ප්‍රධාන පුහුණුකරු ලෙස අගනා කර්තව්‍යයක් ඉටු කළ ඔහු එවර තබන්නට නොහැකි වූ අවසන් පියවර මේ වසරේ දී සාර්ථක කර ගැනීමට තම සියලු උපක්‍රම භාවිත කරනු ඇත. ලගා හට විශාල අත්දැකීම් සම්භාරයක් සහිත විරාජ් ප්‍රසන්නගේ සහය ද හිමිව තිබෙන අතර කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නිසි අයුරින් පවත්වා ගෙන යාම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ රහුමි ආබ්දීන් විසිනුයි.

2017 තරග වාරයේ බලාපොරොත්තු

”පසුගිය තරග වාරයේ ක්‍රීඩා කල ක්‍රීඩකයන් 11 දෙනෙක් කණ්ඩායමෙන් ඉවත්ව ගොස් සිටියත් අපේ කණ්ඩායමේ මේ වන විටත් වර්ණලාභීන් 7ක් දෙනෙක් සිටිනවා. ඉතින් මම හිතන්නේ නැහැ එය එතරම් පාඩුවක් වෙයි කියලා.” කණ්ඩායම් නායක නවීන් හේනකංකානම්ගේ පවසයි.

”සාන්ත තෝමස් විද්‍යාලයට හැකි වුනා රහුමි ආබ්දීන්ගේ සේවය ලබා ගන්න. ඔහු ඉතාලියේ දීත් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ අත්දැකීම් ලබලා තිබෙනවා. පසුගිය වසරේ දී අපිට සිදු වුනා ශූරතාවට එක් පියවරක් පසුපසින් නවතින්න. එමනිසා මේ වසරේ දී එම පියවර සාර්ථක කරගන්න ගත යුතු සියලුම පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා” පුහුණුකරු ‘ලගා’ පවසනේ එලෙසින්.

සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු වටයේ කාල සටහන.

පෙබරවාරි 25 – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමඟ – CR & FC ක්‍රීඩාංගණයේ දී
මාර්තු 05 – කොළඹ සහිරා විද්‍යාලය සමඟ – සහිරා ක්‍රීඩාංගණයේ දී
මාර්තු 12 – කොළඹ වෙස්ලි විද්‍යාලය සමඟ – CR & FC ක්‍රීඩාංගණයේ දී
මාර්තු 20 – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ – CR & FC ක්‍රීඩාංගණයේ දී
මාර්තු 27 – ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමඟ – CR & FC ක්‍රීඩාංගණයේ දී

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න – විශේෂාංග පිටුවට 

[a-team-showcase-vc ats_team_id=”2160209″]