මෙවර ලෝක කුසලානයට සමාරම්භක උලෙළක් නැහැ!

ICC Cricket World Cup 2023

3397

මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා නිල සමාරම්භක උලෙළක් නොපැවෙත්වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර ලෝක කුසලානය හෙට (05) පැවැත්වීමට නියමිත එංගලන්ත – නවසීලන්ත තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර මීට දින කිහිපයකට පෙර ඉන්දියාවෙන් වාර්තා වුනේ ලෝක කුසලානය වෙනුවෙන් Ranveer Singh, Arijit Singh, Tamannaah Bhatia, Shreya Ghoshal සහ Asha Bhosle වැනි සුපිරි ඉන්දීය තරු රැසක් සහභාගී වන සමාරම්භක උලෙළක් පැවැත්වීමට නියමිත බවයි.

නමුත් පසුව පිළිගත හැකි ඉන්දීය මාධ්‍ය වන Times of India, Zee News වැනි වෙබ් අඩවි මගින් මෙම සමාරම්භක උළෙල ගැන ලැබෙන තොරතුරු සාවද්‍ය බවත්, එවැනි උත්සවයක් ලෝක කුසලානය වෙනුවෙන් නොපැවැත්වෙනු ඇති බවත් හෙළිදරව් කළා.

මෙහි දී Zee News නම් සඳහන් කරන්නේ මෙම සමාරම්භක උළෙල මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් පසුව එය අවලංගු කර ඇති බවයි. කෙසේ හෝ සමාරම්භක උලෙළක් පැවැත්වේ නම් එය අද (04) දිනයේ පැවැත්විය යුතුයි.

එවැනි උත්සවයක් වෙනුවෙන් සූදානමක් නැති වුවත් තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ අද දිනයේ දී ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහයේ ම නායකයින් සම්බන්ධ වන මාධ්‍ය සාකච්ඡාවක් සහ ඡායාරූපය සැසියක් (Captain’s Day) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

“ලෝක කුසලානයට කිසිම විටෙක සමාරම්භක උලෙළක් සැලසුම් කළේ නැහැ. මට එය තහවුරු කරන්න පුළුවන්,” පිළිගත හැකි ආරංචි මාර්ගයක් විසින් මෙසේ පැවසූ බවයි Times of India සඳහන් කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වුණු IPL තරගාවලිය සඳහා අලංකාර සමාරම්භක උලෙළක් සංවිධානය කර තිබූ අතර එය තරගාවලියේ ආරම්භක තරගය ආරම්භ වීමට පෙර සවස් කාලයේ පැවැත්වුණා. නමුත් හෙට ආරම්භ වීමට නියමිත තරගයට පෙර දිවා කාලයේ එවැනි සමාරම්භක උළෙලක් පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි එම ආරංචි මාර්ගය විසින් පවසා තිබුණේ.

“IPL වල දී ඔබට පුළුවන් කෙටි සමාරම්භක උලෙළක් සංවිධානය කරන්න. තරග පටන් ගන්නේ සවස් කාලයේ නිසා. නමුත් මෙහි තරග පටන් ගන්නේ දහවල් කාලයේ.”

එමෙන්ම හෙට තරගයට සත්කාරක ඉන්දීය කණ්ඩායම සහභාගී නොවීම ද මෙවැනි සමාරම්භක උලෙළක් සංවිධානය නොකිරීමට හේතුවක් බව අනුමාන කළ හැකි. එම නිසා මෙවර තරගාවලියේ වැඩිම අවධානයක් යොමු වන තරගය බවට අනුමාන කෙරෙන ඉන්දු – පාකිස්තාන තරගයට පෙර (ඔක්තෝබර් 14 එම තරගය පැවැත්වීමට නියමිතයි) තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් හිදි යම් උත්සවයක් පැවැත්වෙනු ඇති බවට Zee News විසින් සඳහන් කරනවා. නමුත් මේ බව තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ.

කෙසේ වෙතත් වසර හතරකට වරක් පැවැත්වෙන ක්‍රිකට් ලොව උත්කර්ෂවත් ම තරගාවලිය වෙනුවෙන් සමාරම්භක උලෙළක් සංවිධානය නොකිරීම පිළිබඳව බොහෝ ක්‍රිකට් රසිකයින් නම් එතරම් සතුටට පත් නොවන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් විසින් දක්වන අදහස් සමඟ පෙනී යන්නේ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India සහ Zee News ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<