සදීරගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

5200
Emerging XI Asia Cup 2017

ආසියානු මහාද්වීපයේ නැගී එන කණ්ඩායම් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් සටන් වදින උණුසුම් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ තරඟ පැවැත්වුනු අවසන් දිනය අදයි. එහිදී මැලේසියානු කණ්ඩායම හමුවේ ලකුණු 205ක සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ භාග්‍ය උදා විය.

ශ්‍රී ලංකා බලාපොරොත්තු වර්ෂාවට සේදී යයි

පසුගිය සෙනසුරාදා බංගලාදේශයට එරෙහිව පැවැත්වූ තරගයේ දී මව්බිමේදීම ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දීමට සිදු වූ ශ්‍රී ලංකා පිළ, අද (28) ‍රංගිරි දඹුලු ක්‍රීඩාංගණයට පිවිසියේ කෙසේ හෝ කලින් තරගයේ දී…

බංගලාදේශයේ චිතගොං තණතිල්ල මතදී කාසියේ වාසිය තමන් සතුකර ගත් ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ පෙරේරා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔහුගේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු කුසලතා පූර්ණ පිතිකරුවන්ට නවක මැලේසියානු පන්දු යවන්නන් හමුවේ ඉහළ ලකුණු ප්‍රමාණයක් කරා යන්නට මග පාදා දුනි. එම කර්තව්‍යය අකුරටම ඉටුකර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9කට ලකුණු 311ක් රැස් කරමිනි.

තවමත් 21වැනි වියේ පසුවන යොවුන් ක්‍රිකට් තරුවක් වන සදීර සමරවික්‍රම අද දිනයේදී කැපී පෙනෙන පිතිකරණයක නියැලෙමින් පන්දු 123කදී ලකුණු 121ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට පිටිය සිසාරා එල්ල වුනු හතරේ පහර 12ක්ම අන්තර්ගත විය. ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඔහු මැලේසියානු කණ්ඩායම අසරණ කරමින් ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම අනාගතයේ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට තිලිණ වන සුපිරි තරුවක් පිලිබඳව ඉඟියක් සැපයීය.

මීට පෙර ඇෆ්ගනිස්තානය සමග පැවති තරගයේදී ශතකයක් වාර්තා කල චරිත් අසලංක අද දිනයේදීත් තම පිතිකරණ වගකීම ඉටු කරමින් ලකුණු 78ක් රැස් කළේය. නායක ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 31යි. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවකදී කඩුලු 2ක් දැවී ලකුණු 239ක් ලබාසිටි අතර පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා ලකුණු 350ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට නොහැකි විය. පන්දු යැවීමේදී ඩෙරෙක් ඩුරයිසින්හම් සහ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විරන්දීප් සින්ග් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 312ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදුවූ මැලේසියානු පිතිකරුවන්ට එම ඉලක්කය අසලකටවත් ලඟා වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. පසුගිය දිනවලදී බොහෝ තරඟ පැවැත්වීම නිසා කඩතොළු වී ඇති චිතගොං තණතීරුවෙන් උපරිම සහය ලබාගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මැලේසියානු පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 106ක් තුලදී දවාලීමට සමත් වූහ. වමතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අෆොන්සු එහි මූලිකත්වය ගනිමින් කඩුලු 5ක් බිඳ හෙලන අතරේ යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග මැලේසියානු පිතිකරුවන් තිදෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යවා තිබුණි.

මෙම තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගනිද්දී අද දිනයේදී මෙම තරගාවලිය යටතේම පැවති තවත් තරගයකදී අපූරු සිදුවීමක් වාර්තා විය. ඒ ප්‍රබල ඉන්දියානු නැගී එන කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 2කින් පරාජයට පත්වීමයි. ඒ අනුව දළ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කරගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කිසිවෙකු නොසිතූ අයුරින් අවසන් පූර්ව වටයේ දොරගුළු විවර කර ගත්හ. ඇෆ්ගනිස්තානය අයත් වන A කාණ්ඩයේ පළමු ස්ථානයේ වැජඹෙන්නේ තරග 2ක් ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද පැවති පාකිස්තාන නැගී එන කණ්ඩායම සහ සත්කාරක බංගලාදේශ කණ්ඩායම අතර පැවති තරගය ද අතිශය උණුසුම් සටනකින් අනතුරුව ලකුණු සම වීමෙන් නිමාව දුටුවේය. කණ්ඩායම් දෙකම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 233ක් රැස් කිරීමට සමත් වූ අතර දෙපිළේම කඩුලු 8 බැගින් බිඳ වැටුනි. කෙසේවෙතත් මෙම කණ්ඩායම් දෙකම B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. මේ දක්වාම අතිශය උණුසුම් අන්දමින් ගලා ගිය නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වය අප්‍රේල් මස පළමුවැනිදා සමස්ථ චිතගොං නගරයේ ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 9ක් දැවී ලකුණු 311 (පන්දුවාර 50) සදීර සමරවික්‍රම 121, චරිත් අසලංක 78, ඇන්ජෙලෝ පෙරේරා 31, රොන් චන්ද්‍රගුප්ත 22, ඩෙරෙක් ඩුරයිසින්හම් 3/52, විරන්දීප් සින්ග් 3/56, අබ්දුල් රශීඩ් 2/67.

මැලේසියා නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 106 (පන්දුවාර 27.3) අමිනුද්දින් රම්ලි 29*, අහමඩ් ෆයිස් 22, සයිඩ් අසීස් 18, අමිල අෆොන්සු 5/31, වනිඳු හසරංග 3/26.

Points Table

GROUP A

TEAMS MAT WON LOST TIED N/R PTS NET RR
Sri Lanka 3 2 1 0 0 4 +1.367
Afghanistan 3 2 1 0 0 4 +0.956
India 3 2 1 0 0 4 +0.836
Malaysia 3 0 3 0 0 0 -3.201

GROUP B

TEAMS MAT WON LOST TIED N/R PTS NET RR
Pakistan 3 2 0 1 0 5 +1.838
Bangladesh 3 2 0 1 0 5 +1.756
Nepal 3 1 2 0 0 2 -0.528
Hong Kong 3 0 3 0 0 0 -3.304

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට