වනිඳුගේ සුපිරි පන්දු යැවීම අපතේ හරිමින් කල්කටාව ජය සොරා ගනී

408

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය ඊයේ (26) ක්‍රියාත්මක වුනේ Royal Challengers Bangalore සහ Kolkata Knight Riders කණ්ඩායම් අතරයි.

ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා වූ මෙම තරගය අවසානයේ Royal Challengers  පරදවා ලකුණු 21ක ජයක් තහවුරු කර ගැනීමට Knight Riders සමත් වුනා. බැංගලෝර් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජය ගන්නට සත්කාරක Royal Challengers සමත් වූ අතර ඔවුන් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි.

ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලබා දුන් Knight Riders ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලටම ලකුණු 83ක් එකතු කළා. තරමක් මන්දගාමීව වුවත් ඉහළ ලකුණු සංඛ්‍යාවකට පදනම සකසා දුන් Jagadeesan පන්දු 29කින් ලකුණු 27ක් රැස් කරද්දී, එංගලන්ත ප්‍රහාරක පිතිකරු Jason Roy ඊයේ පන්දු 22කින් සුපිරි අර්ධ ශතකයක් ලබා ගත්තේ තම සගයාගේ අඩුව පවා පිරිමසමින්.

අවසානයේ 10 වැනි පන්දුවාරයේ දී Vijaykumar Vyshak මෙම ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ හිසරදය නිමා කරන්නේ ඔවුන් දෙදෙනාවම ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්. Jagadeesan එල්ල කළ පුල් පහර David Willey රැක ගනිද්දී, හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් එල්ල කර සිටි Roy පිට ඉන්න දෙසට ඇවිද යමින් එල්ල කිරීමට ගිය පහර මගහැරී ඔහුගේ පා ඉන්නේ ගැටුණා. ඉන්පසු නැවතත් ලකුණු 80ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ Kolkata නායක Nitish Rana සහ Venkatesh Iyer අතරයි.

එහි දී Rana පන්දු 21ක් පමණක් වැය කරමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිද්දී, Venkatesh Iyer ලකුණු 31ක් රැස් කළා. අවසානයේ ඔවුන් දෙදෙනාවම එකම පන්දුවාරයක දී දවා ගැනීමට සමත් වන්නේ ශ්‍රී ලාංකික සුපිරි දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගයි.

අනෙක් පන්දු යවන්නන් සියලු දෙනාටම අනුකම්පා විරහිතව පහර දෙමින් Kolkata පිතිකරුවන් ලකුණු 200ක් වාර්තා කරද්දී, වනිඳු පමණක් තම පන්දුවාර 4 ලකුණු 24කට සීමා කළේ තමන් ලොව හොඳම පන්දු යවන්නන් පස් දෙනා අතර සිටින හේතුව පැහැදිලි කරමින්.

ලකුණු 201ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට අවශ්‍ය කරන ජව සම්පන්න ආරම්භය Bangalore නායක Virat Kohliගෙන් හිමි වූ අතර Impact Player ලෙස කණ්ඩායම සමඟ එක්වූ Faf Du Plessis පන්දු 7කින් ලකුණු 17ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එක් පන්දුවාරයකට ලකුණු 25ක් ලබා දුන් Shahbaz Ahmed පිත්තෙන් ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි. මෙම කඩුලු 2ම දවා ගැනීමට මේ වන විට IPL පිටියේ කතාබහට ලක්ව ඇති 19 හැවිරිදි ඉන්දීය පා දඟපන්දු යවන්නා වන Suyash Sharma සමත් වුනා.

Kohli ඔහුටම ආවේණික දශමයට කල් මනින ලද හතරේ පහර 6ක් සමඟින් පන්දු 37කින් ලකුණු 54ක් රැස් කළත්, අවසානයේ Venkatesh Iyerගේ සුපිරි උඩපන්දු රැකීමක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවී යන්නට සිදු වුනා. ඒ තවත් හතරේ පහරක් අපේක්ෂාවෙන් හීයක වේගයෙන් එල්ල කළ පහර හතරේ සීමාව අසල දී ඔහු පන්දුව බිම පතිත වීමට මොහොතකට පෙර ගුවනට පැන රැකගත් නිසයි.

මීට අමතරව Mahipal Lomror පන්දු 18කින් ලකුණු 34ක් ලබා ගත් අතර ඔහු එල්ල කිරීමට ගිය සිව්වැනි හයේ පහර හතරේ සීමාව අසල කුළුණක් ලෙස රැඳී හුන් Andre Russell ඩැහැ ගත්තා.

Dinesh Karthik අනවශ්‍ය ලෙස කඩුලු අතර දුව යාමට උත්සාහ කරමින් පන්දු 18ක දී ලකුණු 22ක් ලබා ගත්තත්, 2018 නිදහස් කුසලානයේ පෙන්වූ ජවය නම් ඊයේ ඔහු කෙරෙන් පළවුනේ නැහැ.

වනිඳු හසරංග ඊයේත් පන්දු 4කින් ලකුණු 5ක් ලබා සිටිය දී පිට ඉන්න දෙසින් අපරීක්ෂාකාරී පහරක් එල්ල කර දැවී ගියේ ඔහු තුල සිටි ප්‍රවේගකාරී පිතිකරුවා නිද්‍රාගතව ඇති බව යළිත් වරක් තහවුරු කරමින්. මේ අනුව කල්කටාව ලබා දුන් දැවැන්ත අභියෝගය හඹා යන්නට නොහැකි වූ Bangalore ඉනිම ලකුණු 179 දී නතර වුනා.

පන්දු යැවීමේ දී Varun Chakaravarthy ලකුණු 27කට Maxwell, Lomror සහ Karthik යන පිතිකරුවන් තිදෙනාම දවා ගැනීමට සමත් වීම විශේෂ දක්ෂතාවයක් ලෙස සැලකිය හැකි. මේ නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි වුනා.

මීට අමතරව යොවුන් ක්‍රීඩක Suyash Sharma සහ Andre Russell කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. පිත්තෙන් මීට පෙර දැක්වූ ගිනිකෙළි දැක්වීමට අපොහොසත් වුවද, Russell තරගාවලිය පුරා පන්දුවෙන් තම යුතුකම් කොටස ඉටු කරමින් සිටිනවා.

Kolkata Knight Riders – කඩුලු 5ක් දැවී ලකුණු 200 (පන්දුවාර 20): Jason Roy 56, Nitish Rana 48, Venkatesh Iyer 31, N Jagadeesan 27, Rinku Singh 18*, David Wiese 12*, Wanindu Hasaranga 2/24, Vijaykumar Vyshak 2/41.

Royal Challengers Bangalore – කඩුලු 8ක් දැවී ලකුණු 179 (පන්දුවාර 20): Virat Kohli 54, Mahipal Lomror 34, Dinesh Karthik 22, Du Plessis 17, Varun Chakaravarthy 3/27, Andre Russell 2/29, Suyash Sharma 2/30.

මෙම පරාජය නිසා Royal Challengers Bangalore කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉහළ නැගීමට තිබූ සුපිරි අවස්ථාවක් ගිලිහී ගියා. Knight Riders මේ අතරේ Mumbai Indians පසුකර යමින් ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rajastan Royals සහ Chennai Super Kings කණ්ඩායම් දෙක අතර තරගය අද (27) රාත්‍රී 7.30ට ආරම්භ වනවා. ඒ Rajastan බලකොටුව වන Jaipurහිදීයි.

මෙම තරගයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් සහභාගි වනු ඇති. එම තරගයේ සජීවී උණුසුම විඳගන්න පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<