දිල්ලියට අලුත් ගැටලුවක්; මෙවර හේතුව කාන්තාවක්

IPL 2023

3993

Delhi Capitals කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් කණ්ඩායම් සාදයක් අතරතුර කාන්තාවක් සමඟ නොහොබිනා ලෙස හැසිරීමේ සිදුවීමක් වාර්තා වී ඇති අතර, මෙම සිදුවීමෙන් පසුව ක්‍රීඩකයින් වෙත ඇති නීති තවත් දැඩි කිරීමට IPL තරගාවලි සංවිධායකයින් විසින් පියවර ගෙන තිබෙනවා.

මේ වන විට 2023 IPL තරගාවලි ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින Delhi Capitals කණ්ඩායමට ගෙවී ගිය කාලය එතරම් ම සුබදායී නොවූ අතර මීට කිහිප දිනකට පෙර කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ඇඳුම් කට්ටල (විශේෂයෙන්ම ක්‍රිකට් පිති) ප්‍රමාණයක් අතුරුදහන් වීමේ සිදුවීමක් ද වාර්තා වුනා. නමුත් පසුව එම භාණ්ඩ තොගය නැවතත් සොයා ගැනීමට සමත් වී තිබුණා.

මේ අතර පසුගිය සඳුදා (24) Sunrisers Hyderabad සමඟ ක්‍රීඩා කළ තරගයෙන් පසුව Delhi Capitals කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා දැඩි ආචාරධර්ම මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙන අතර, එයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කණ්ඩායම් සාදයක් අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් කාන්තාවක් සමඟ සිදු කර ඇති නොහොබිනා හැසිරීමයි. නමුත්, ඒ සඳහා සම්බන්ධ වූ ක්‍රීඩකයා කවුරුන් ද යන වග හෙළිදරව් කර නැහැ.

මෙම නව නීති අනුව ක්‍රීඩකයින්ට රාත්‍රි 10න් පසුව කිසිදු අමුත්තෙකු සිය හෝටල් කාමරය තුල රැගෙන යාමට අවසර නොමැති අතර, අවශ්‍ය නම් හෝටලයේ පොදු ප්‍රදේශයේ සිට ඔවුන්ට සංග්‍රහ කිරීමේ හැකියාව තිබෙනවා.

එමෙන් ම මෙම ආචාරධර්ම කඩ කිරීම දඩ ලැබීමේ සිට ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අවලංගු වීම තෙක් බරපතළ විය හැකි බවත් එම මාර්ගෝපදේශයේ සඳහන් වනවා. එමෙන් ම ක්‍රීඩකයාට සිය පවුලේ සාමාජිකයින් කාමරයට රැගෙන ඒමට හැකියාව ඇති නමුත් ඒ සඳහා ද නිසි අවසරයක් ලබා ගත යුතු බවයි එහි සඳහන් වී ඇත්තේ.

දිල්ලිය විසින් මෙවර තරගාවලියේ මුල් තරග 5ම එක දිගට පරාජය වීමෙන් අනතුරුව ක්‍රීඩා කළ අවසන් තරග ද්විත්වය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔවුන්ගේ මීළඟ තරගය Sunrisers Hyderabad සමඟ හෙට (29) දිනයේ පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<