Wasim Akram සහ ජයසූරිය LPL තරගාවලියට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට 2022

6297

දේශීය තරග පිටියේ ප්‍රධානතම විස්සයි විස්ස තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2022 තරග වාරය සඳහා සන්නාම තානාපතිවරුන් ලෙස සනත් ජයසූරිය සහ Wasim Akram නම් කර තිබෙනවා.

සීමිත පන්දුවාර පිටියේ බිහි වූ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන සනත් ජයසූරිය සියලු ක්‍රිකට් ආකෘතීන් හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ලකුණු 20,000ට වඩා සහ කඩුලු 440ක් දවා ගැනීමට සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බිහි වූ සාර්ථක නායකයෙක් ද වන ඔහු 1996 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම තරගාවලියේ වීරයා වීම ද විශේෂත්වයක්.

“මම ගොඩක් සතුටු වෙනවා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපති වෙන්න ලැබුණ එක ගැන. ඒ වගේම ප්‍රකාශ කරන්න කැමති මේ තරගාවලිය දේශීය ක්‍රිකට් කැලැන්ඩරයට විශේෂ එක් කිරීමක් කියලා. ඒක අපගේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගන්න හොඳ ආයෝජනයක්,” යැයි සනත් ජයසූරිය ප්‍රකාශ කළා.

තරගාවලියේ අනෙක් සන්නාම තානාපති වන Wasim Akram ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම වමත් පන්දු යවන්නෙකු ලෙස හැඳින්විය හැකි අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලබා ගත් කඩුලු සංඛ්‍යාව 916ක්. පිතිකරුවෙකු ලෙස ද දස්කම් දැක්වූ ඔහු ජාත්‍යන්තර ලකුණු 6500ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම ඔහු 1992 ලෝක කුසලානය දිනා ගත් පාකිස්තාන සංචිතයේ සාමාජිකයෙක් ද වෙනවා.

“මම ඉතාමත් ගොඩක් සතුටු වෙනවා වගේම මට ලංකා ප්‍රිමියර් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙක් වෙන්න ලැබීම ඉතාම සතුටක්. මම සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට්වල රසිකයෙක්. ඒ වගේම මම ශ්‍රී ලංකාවට ආදරෙයි, එය දෙවැනි වන්නේ මගේ රටට විතරයි. අවසන් ජාත්‍යන්තර තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළා. මම හිතනවා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක් වෙයි කියලා,” Wasim Akram ප්‍රකාශ කළා.

මෙම නව සන්නාම තානාපතිවරුන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී විශේෂ වැඩ කොටසක් කිරීමට නියමිත අතර ඔවුන් පිළිබඳව අදහස් දැක්වූ IPG ආයතනයේ ප්‍රධානී Anil Mohan ප්‍රකාශ කළේ,

“සනත් ජයසූරිය සහ Wasim Akram ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපතිවරුන් ලෙස ප්‍රකාශයට පත් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔවුන් දෙදෙනා මෙම තරගාවලිය ලෝකයට ගෙන යමින් තවත් ප්‍රේක්ෂකයින් පිරිසක් තරගාවලියට එක් කරයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මීට පෙර පැවති අතර අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය රටෙහි ඇති වූ අර්බුදකාරී වාතාවරණය නිසා එය දෙසැම්බර් දක්වා කල් දැමීමට සිදු වුනා.

එම ක්‍රීඩක වෙන්දේසියට අනුව මෙවර තරගාවලිය සඳහා ලෝක ක්‍රිකට් පිටියෙහි කැපී පෙනෙන ක්‍රීඩකයින් වන Evin Lewis, Carlos Brathwaite, Janneman Malan, Dwaine Pretorius, D’Arcy Short, Shoaib Malik සහභාගී වීමට නියමිතයි.”

එමෙන්ම මෙම සුපිරි ක්‍රීඩකයින් දෙදෙනා තරගාවලිය සමඟ එක් වීම පිළිබඳව අදහස් දක්වමින් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල ප්‍රකාශ කළේ,

“මෙම ශ්‍රේෂ්ඨයන් දෙදෙනා අප සමඟ එක් වීම ගැන අපි ගොඩක් උද්දාමයට පත් වෙනවා. සනත් සහ Wasim කියන්නේ අපි ආදරය කරන මේ ක්‍රීඩාවේ සන්නාමයන් දෙකක්. ඉතින් ඔවුන්ට පුළුවන් මේ තරගාවලිය ප්‍රචාරණයට අවශ්‍ය තල්ලුව ලබා දෙන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<