අසලංක, වනිඳු සහ චමීරගේ දස්කම් අපතේ යයි; ඉන්දියාව පෙරමුණට

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

933
SLvIND_t20I

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 38ක ජයක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට අද (25) සමත් වුනා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකාව තෙවැනි එක්දින තරගයේ සිට පළමු විස්සයි විස්ස තරගයට පිවිසියේ වෙනස්කම් තුනක් සිදු කරමිනි. 

ඒ අනුව ඉසුරු උදාන, අශේන් බණ්ඩාර සහ වනිඳු හසරංග කණ්ඩායමට පැමිණෙන විට, ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ (ආබාධයක්) කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

එසේම මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක සහ චාමික කරුණාරත්න ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගන්නා විට, ඉන්දියාව වෙනුවෙන් Prithvi Shaw සහ Varun Chakravarthy ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත්තා.

Sri Lanka (Playing XI): Avishka Fernando, Minod Bhanuka(w), Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Ashen Bandara, Wanindu Hasaranga, Chamika Karunaratne, Isuru Udana, Akila Dananjaya, Dushmantha Chameera

India (Playing XI): Shikhar Dhawan(c), Prithvi Shaw, Ishan Kishan(w), Suryakumar Yadav, Sanju Samson, Hardik Pandya, Krunal Pandya, Deepak Chahar, Bhuvneshwar Kumar, Yuzvendra Chahal, Varun Chakravarthy

ඉන්දීය පළමු කඩුල්ල පළමු පන්දුවෙන්ම දවා ගත් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස තරග ඉතිහාසය තුල පළමු පන්දුවේම කඩුල්ලක් දැවී ගිය පළමු අවස්ථාව ද මෙය වුනා. 

එහි දී චමීරගේ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ සිය මංගල තරගය සඳහා ක්‍රීඩා කළ  Shaw ලකුණු නොලාබාම දැවී ගියා.

නමුත් ඉන්පසුව පිටියට පැමිණි Sanju Samson, Suryakumar Yadav වැනි පිතිකරුවන් නායක Shikhar Dhawan සමඟින් එක්ව ඉන්දීය ඉනිම සවිමත් කළ අතර Yadav 4 පහර 5ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 34ක් තුල ලකුණු 50ක් ලබාගෙන ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුනා. එය ඔහු ලබා ගත් දෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය වුනා. 

Yadavට අමතරව නායක Dhawan ලකුණු 46කට දැවී ගියේ සිය අර්ධ ශතකය ආසන්නව සිටිය දීයි. එම කඩුලු දෙක පිළිවෙළින් වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න විසින් දවා ගත් අතර චාමික සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී දවා ගත් මංගල කඩුල්ල වුනේ Dhawanගේ කඩුල්ලයි.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් බොහෝමයක් පන්දු, වේගය අඩාල කරමින් ඉන්දීය පිතිකරුවන් වෙත යොමු කළ අතර එය ප්‍රබල ඉන්දීය පිතිකරණ බලඇණිය 164/5ක් වැනි මට්ටමකට සීමා කිරීම සඳහා ශ්‍රී ලංකාවට විශාල සවියක් වුනා. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 24කට කඩුලු 2ක්  දවා ගන්න විට, හසරංග ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 165ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වුනු, මිනෝද් භානුක සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා පන්දු 15ක් තුල ලකුණු 23ක සබඳතාවයක් ගොඩනැංවූවා. 

ලකුණු 10ක් ලබාගෙන සිටි මිනෝද්ගේ දැවී යාමට පසුව පිටියට පැමිණි ධනංජය ද සිල්වා හට ද සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් අවිශ්ක ප්‍රනාන්දු සිය අන්තයෙන් හොඳ ප්‍රහාරයක් දියත් කළ නිසා පළමු පන්දුවාර 6 powerplay අවස්ථාව අවසන් වන විට, කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටියා.

එතැන් සිට ශ්‍රී ලංකාව පවත්වා ගෙන ආ දල ලකුණු ලබා ගැනීමේ වේගය යම් කඩා වැටීමකට ලක්වුණු අතර, අවිශ්කගේ දැවී යාම ද එම කඩා වැටීම දෙගුණ තෙගුණ වීමට විශාල හේතුවක් වුනා. අවිශ්ක 4 පහර 3ක් එල්ල කරමින් පන්දු 23ක දී ලකුණු 26ක් ලබාගෙන සිටිය දී Bhuvneshwar Kumarගේ පන්දුවක් හමුවේ Samson වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

අශේන් බණ්ඩාර පන්දු 19ක් තුල ලකුණු 9ක් පමණක් ලබාගනිමින් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දැඩි අසීරුවෙන් ක්‍රීඩා කළ නිසා, ශ්‍රී ලංකා කණ්ඩායමට මැද පන්දුවාර කිහිපය තුල ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් ඉහළ මට්ටමකට ගැනීමට අපහසු වුනා. 

කෙසේ නමුත් ඒ අවස්ථාවේ තිබූ පීඩනය හැකි උපරිමයෙන් කළමනාකරණය කර ගත් අසලංක සිය අන්තයෙන් වේගවත් ප්‍රහාරයක් දියත් කළා. අසලංක සිය පා ඉන්න ප්‍රදේශයෙන් ඉතාමත් හොඳින් ලකුණු ලබා ගත්තා. ඔහු සිය මංගල තරගයේ දීම ඉතාමත් හොඳ සටන්කාමී පිතිකරණයක නිරත වෙමින්, පන්දු 26ක දී ලකුණු 44ක් ලබා ගත්තේ 4 පහර 3ක් සහ 6 පහර 3ක් එල්ල කරමිනි. 

අසලංකගේ දැවී යාමට පසුව පන්දු 9ක් තුල ශ්‍රී ලංකා කඩුලු 2ක් (වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න) බිඳ වැටුණා.

අවසානයේ දී  Bhuvneshwar Kumar  ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 126කට සීමා කළ අතර ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු 7 ලකුණු 36ක් තුල බිඳ වැටීම තරගයේ පරාජය සඳහා විශාල ලෙස බලපෑවා. දක්ෂ පන්දු යැවීමක නිරත වුනු Bhuvneshwar Kumar ලකුණු 22කට කඩුලු 4ක් දවාගෙන තරගයේ වීරයා වුනා.

ඉන්දියාව – 164/5 (20): Suryakumar Yadav 50, Shikhar Dhawan 46, Sanju Samson 27, දුෂ්මන්ත චමීර 2/24, වනිඳු හසරංග 2/28

ශ්‍රී ලංකාව – 126 (18.3): චරිත් අසලංක 44, අවිශ්ක ප්‍රනාන්දු 26, දසුන් ශානක 16, Bhuvneshwar Kumar 4/22.

ඉන්දියාවට ලකුණු 33ක ජයක්

  • තරගයේ වීරයා – Bhuvneshwar Kumar  (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (27) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට නම් එම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<