මුරුසි T10 ලීගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයකුත්

Marutius Cric10 League 2020

2264

නැගෙනහිර අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන මුරුසිය (Mauritius) මඟින් පළමු වරට සංවිධානය කරනු ලබන “Marutius Cric10 League” සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිලකරත්න ඩිල්ශාන්, අජන්ත මෙන්ඩිස්, මාලිංග බණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

නොවැම්බර් 21 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මුරුසි දූපතේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් තරගාවලියක් වේ.

ඒ සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 බැගින් සංචිත ගත වන අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් 78ක් සහ එරට සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇත. තරගාවලියේ තරග සියල්ලම මුරුසි දූපතේ Mapou හි Anjalay ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම Marutius Cric10 League තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 6න් දෙකක නායකත්වය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් දැරීම සුවිශේෂී වේ. ඒ අනුව Goodlands Riders නායකත්වය දරනු ලබන්නේ චාමර කපුගෙදර විසින් වන අතර Rose Hill Warriors කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ අජන්ත මෙන්ඩිස් විසිනි.

තරගාවලිය සඳහා T10 තරග (පන්දුවාර 10 තරග) 19ක් ඇතුළත් අතර මූලික වටයේ තරග 15ක්, අවසන් පූර්ව තරග දෙකක්, තෙවැනි ස්ථානය සඳහා තරගයක් සහ අවසන් මහා තරගය මේ තරග 19 සඳහා ඇතුලත්ය. හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන Herschelle Gibbs, Lance Klusener, එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Owais Shah, ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක Munaf Patel යන ක්‍රීඩකයින් ද සහභාගී වේ.

ඒ ඒ කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙසේයි,

  • Rose Hill Warriors – අජන්ත මෙන්ඩිස් (නායක), සචිත්‍ර සේනානායක, සාලිය සමන්
  • Goodlands Riders – චාමර කපුගෙදර (නායක), මලින්ද පුෂ්පකුමාර, රජීව වීරසිංහ
  • Saint Pierre Quakers – තිලකරත්න ඩිල්ෂාන්, දිල්හාර ප්‍රනාන්දු
  • Mahebourg Storms – චාමර සිල්වා
  • Bambous Raptors – මාලිංග බණ්ඩාර
  • Curepipe Crushers – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නොමැත

ලොව පුරා ව්‍යාප්ත වෙමින් යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම තරගාවලිය ද අදාළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන සියලුම විදෙස් ක්‍රීඩකයින් හට දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය වේ. ඉන්පසුව ඒ ක්‍රීඩකයින් සියලුම දෙනා Bio-Bubble තුල රඳවමින් තරගාවලිය සඳහා සහභාගී කරවන අතර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නොවැම්බර් මස 7 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<