Kandy Royals ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය වාර්තා කරයි

LPL 2026

1
Cricket

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරග ඊයේ (21) ආරම්භ වූ අතර එහි දී Kandy Royals ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා.

>>Galle Gallants දෙවැනි ජයත් ලබයි<<

6 වැනි තරගය, Dambulla Sixers සහ Kandy Royals, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Dambulla Sixers

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Royals කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Jaffna Kings කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 151ක් පමණයි. ඒ අනුව Kandy Royals කණ්ඩායමට ලකුණු 43ක ජයග්‍රහණයක් හිමි වෙනවා.

Dambulla Sixers

 

දිනේෂ් චන්දිමාල් (නායක), Sahibzada Farhan, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), Reeza Hendricks, ධනංජය ලක්ශාන්, පවන් රත්නායක, Gulbadin Naib, Mohammad Wasim, දුශ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, විශ්ව ලහිරු, Fazalhaq Farooqi

 

Kandy Royals

 

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත්, විශේන් හැළඹගේ, ලහිරු උදාර (කඩුලු රකින්නා), Moeen Ali, වනිඳු හසරංග, Dale Phillips, Vijay Shankar, Shaheen Shah Afridi, දුශාන් හේමන්ත, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Royals කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලහිරු උදාර. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඔහු 2 වැනි කඩුල්ල වෙනුවෙන් කුසල් පෙරේරා හා එක් වෙමින් පන්දු 34ක දී ලකුණු 55ක සබඳතාවයක් ද සහ Moeen Ali හා එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 18ක දී ලකුණු 38ක සබඳතාවයක් ද එක් කරනවා.

එහි දී කුසල් ජනිත් පන්දු 20ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද සහ Moeen Ali පන්දු 13ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව ඉනිමේ කැපි පෙණෙන ඉනිම් ක්‍රීඩා කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 16ක දී ලකුණු 32ක සබඳතාවක් එක් කරනවා. එහි දී වනිඳු හසරංග පන්දු 15ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

Kandy Royals ඉනිම අවසන් වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 19ක දී හතරේ පහර 4ක් සමඟින් නොදැවි ලකුණු 29ක් ලබා සිටියා. ඔහු Vijay Shankar හා එක් වෙමින් 7 වැනි කඩුල්ලට පන්දු 16ක දී නොදැවුණ ලකුණු 31ක සබඳතාවක් එක් කරනවා. Vijay Shankar පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Fazalhaq Farooqi ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව දුශ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, විශ්ව ලහිරු සහ Mohammad Wasim කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla Sixers ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඔවුන්ගේ ඉනිමේ බලපෑම් කළ හැකි ක්‍රීඩකයා ලෙසින් එක් වු Sahibzada Farhan, දිනේෂ් චන්දිමාල් හා එක් ව පළමු කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කරනවා.

එහි දී දිනේෂ් චන්දිමාල් පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 12ක දැවී ගිය අතර Sahibzada Farhan, 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා.

ඔහු නිරෝෂන් දික්වැල්ල හා එක් ව එම කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 51ක සබඳතාවක් ද එක් කරනවා. නිරෝෂන් දික්වැල්ල ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.

ලකුණු 117 දී දැවී ගිය එම කඩුල්ලෙන් පසුව Dambulla Sixers කණ්ඩායමේ ගමන් මඟ වෙනස් කිරිමට Kandy Royals පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී පිටියේ රැඳී සිටි Reeza Hendricks පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත් අතර අනෙක් සෑම පිතිකරුවෙක් ම තනි ඉලක්කමකට සීමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා.

එහි දී බලපෑම් කළ හැකි ක්‍රීඩකයා ලෙසින් කණ්ඩායමට එක් වූ නුවන් තුෂාර 17 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී දවා ගත් කඩුලු ද්විත්වයක් සමඟින් තරගය අවසන් වන විට ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව දුශාන් හේමන්ත ලකුණු 23කට කඩුලු 2ක් ද සහ වනිඳු හසරංග සහ Shaheen Shah Afridi කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy Royals – කඩුලු 6ක් දැවී 194 (19.3) කුසල් පෙරේරා 25, ලහිරු උදාර 51, Moeen Ali 24, වනිඳු හසරංග 29, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 29, Fazalhaq Farooq 2/20
  • Dambulla Sixers – කඩුලු 8ක් දැවී 151 (20.0) Sahibzada Farhan 74, නිරෝෂන් දික්වැල්ල 26, Reeza Hendricks 27, නුවන් තුෂාර 4/29, දුශාන් හේමන්ත 2/23

Kandy Royals කණ්ඩායමට ලකුණු 43ක ජයක්.

තරගයේ වීරයා – වනිඳු හසරංග (Kandy Royals)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (22) Jaffna Kings සහ Colombo Kaps අතර තරගය දිවා කාලයේ දී ද Dambulla Sixers සහ Galle Gallants අතර තරගය රාත්‍රී කාලයේ දී ද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<