අර්ජුනගේ මුරණ්ඩුව > චන්දිමාල්ගේ මුරණ්ඩුව

4932

දෙදෙනාම ආනන්දීයන් ය. දෙදෙනාම මඳක් දැඩි ය. දෙදෙනාම පිටිය මැද උප්පරවැට්ටි දැමීම අතින් ඉදිරියෙන් ය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග සහ වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් යන දෙදෙනාගේම සමානකම් ඇත.

2018 ශ්‍රී ලංකා – බ. ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ දී දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කිරීම හේතුවෙන් ICC ය ඉදිරියේ වැරදිකරුවෙකු වී ඇත. පිටිය මැද දී වරද පිළිනොගත් චන්දිමාල්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා එක්ව පිටියෙන් ඉවත්ව උද්ඝෝෂණයක් කළේ තරගය ක්‍රීඩා කළ නොහැකි බව කියමිනි. අර්ජුන රණතුංගට ද එවන් අත්දැකීමක් ඇත. එහෙත් “පිටියේ උද්ඝෝෂණ” අතින් චන්දිමාල් සහ අර්ජුන සමාන කළ හැකි ද?

අර්ජුනගේ උද්ඝෝෂණය

@imgci.com – අර්ජුන රණතුංග

1999 වසරේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී විනිසුරු රෝස් එමර්සන් විසින් මුත්තයියා මුරලිදරන් නම් “තරුණ” දඟපන්දු යවන්නාව පන්දුව දමාගසන්නෙකු බවට තීරණය කෙරිණි. එකල පන්දුව දමාගැසීම (chucking) හඳුනා ගැනීම ගැන අද මෙන් නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැත. වත්මන් ක්‍රමය නම් විනිසුරු විසින් අදාළ පන්දු යවන්නාගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව තරග තීරකවරයාට දැනුම් දීමයි. ඉන් පසුව පරීක්ෂණ පැවැත්වේ. එහෙත් මේ 1999 වසර යි.

හදිසියේ ලද තීරණය නිසා නායක අර්ජුන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම පුදුමයට පත්නොවුණි. ඊට වසර තුනකට පෙර ද ඕස්ට්‍රේලියානු විනිසුරුවන් තිදෙනෙකු විසින් වරින් වර මුරලිදරන්ගේ පන්දු යැවීම සැක සහිත බව ප්‍රකාශයට පත්කොට තිබිණි. ඒ තිදෙනා අතර ද රෝස් එමර්සන් සිටිය ද, ශ්‍රී ලාංකිකයන්ට “නයාට අඳුකොළ” මෙන් වූයේ ඉන් ප්‍රධානියා විනිසුරු ඩැරල් හෙයාර් බව එකල ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මතක ඇති. ඔහුට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු බැනුම්! හොඳ වෙලාවට එකල ෆේස්බුක් හෝ ට්විටර් නොතිබුණේය.

1995/96 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ, ශ්‍රී ලංකා – බ. ඉන්දීය කොදෙව් තරගයේ දී මුරලිගේ පිට දඟපන්දු කිහිපයක් නිපන්දු ලෙස සටහන් කළ රෝස් එමර්සන්, මුරලිට අවවාද කළේය. මුරලි මීළඟ පන්දුව යැවීමේ දී එය ද නිපන්දුවක් ලෙස සටහන් කිරීමට රෝස් එමර්සන් තීරණය කළේය. අර්ජුන, මුරලිට යමක් පවසන්නේ ඒ මොහොතේදීයි. “අනික් පැත්තට එකක් දාන්න”. ඔහු කියන්නට ඇත. එකල මුරලිට දුස්රාවක් නොතිබිණි. එසේ නම් මේ “අනික් පැත්තට එකක්” යැයි කියූවේ “පා දඟ පන්දුවකි”.

මුරලිට සිදු වූ අසාධාරණය

මුරලි දිව ආවේය. මීළඟ පන්දුව යැව්වේය. රෝස් එමර්සන්ගේ දකුණු අත නැවත පිටතට දික්විය. එමර්සන්ට ඇත්තේ පෞද්ගලික තරහක් බව ඔප්පු විය. මුරලි සිය දකුණත අංශක 360ක්ම කරකවා යැවූ පා දඟපන්දුව නිපන්දුවක් වූයේ අන් හේතුවක් නිසා විය නොහැකිය.

එහෙත් 1999 තීරණය වෙනස්ම එකකි. 1996 වසරේ දී හොංකොං විද්‍යා හා තාක්ෂණ සරසවියේ ආචාර්ය රවීන්ද්‍ර ගුණතිලක විසින් සාර්ථක නිගමනයක් ලබා දී තිබූ නිසා 1999දීත් මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටියේය. ඒ නිගමනය නම්, “මුරලි පන්දුව දමාගසන බව දෘෂ්ටි මායාවකි. එය මැණික් කටුවේ සුවිශේෂී චලන වේගය නිසා ඇතිවන්නකි” යන්නයි. එමෙන්ම උපතින්ම මුරලිගේ දකුණතේ යම් ඇදයක් පවතින බව ද සොයාගෙන තිබිණි.

1999 ඇඩිලේඩ් හිදී රෝස් එමර්සන් විනිසුරුවෙකු වශයෙන් සහභාගී වීම ශ්‍රී ලංකාවට ගැටලුවක් නොවීය. එහෙත් කණ්ඩායම මෙන්ම තම හිස ද මෙහෙයවන නායකයෙකු වූ අර්ජුන, මුරලිදරන්ව පන්දු යැවීමට කැඳවූයේ රෝස් එමර්සන් පළමු විනිසුරු හැටියට නොව, දෙවැනි විනිසුරු හැටියට මුරලිට ලැබෙන ආකාරයට ය. ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගයේ 18 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී රෝස් එමර්සන් ස්ක්වෙයාර් ලෙග් (square-leg)හි සිට තම දකුණත දික්කළේය. මුරලි කිසිවක් සිතාගත නොහැකිව සිනාසුණ ද අර්ජුනගේ සීමාව පැන්නේය.

හොඳ ලුණු-ඇඹුල් ඇතුව රෝස් එමර්සන්ව ඇමතූ අර්ජුන, දඩ කෑවා හෝ නැතා තමන් ඒ තරුණ දඟපන්දු යවන්නා වෙනුවෙන් පෙනී සිටින බව පැවසීය. සියලු ශ්‍රී ලාංකිකයන් අර්ජුන රණතුංගට පින් පැමිණ විය යුත්තේ එබැවිනි. අර්ජුන විසින් ලොවක් ඉදිරියේ ඇනුම් පද අසා, කටගසා, උද්ඝෝෂණය කොට රැක ගත් මුත්තයියා මුරලිදරන්, පසුව ලොව වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්විය.

චන්දිමාල්ගේ උද්ඝෝෂණය

@indianexpress.com – දිනේෂ් චන්දිමාල්

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට පිවිස ශ්‍රී ලාංකිකයන්ට යමක් කීවේය. “මගේ බලාපොරොත්තුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක එකට ශ්‍රී ලංකාව ගේන්නයි. බනිනවා නම් මට බනින්න. ක්‍රීඩකයන්ට බනින්න එපා”. නායකයෙකු හැටියට ඔහුගේ ඒ වචන අගය කළ යුතු අතර මේ ඔහුට බනින්නට වෙලාවයි! නැත, මම විහිළු කරමි.

2017 මැදපෙරදිග ටෙස්ට් සංචාරයේ දී පාක්සිතානය පරාජය කරමින් එවැන්නක් කළ පළමු විදෙස් කණ්ඩායම බවට චන්දිමාල්ගේ කණ්ඩායම පත්විය. ඔහුගේ නායකත්වයේ විශේෂතා තිබිණි. පන්දු රකින්නන් ස්ථානගත කිරීම, කණ්ඩායම මෙහෙයවීම සහ දැඩි බව ඉතා හොඳ ය. ඔහුගෙන් ඉදිරියේ  දී අර්ජුන කෙනෙකු බලාපොරොත්තු විය හැකි බව ද කතාබහ විය.

එහෙත් ඉන්දියානු සංචාරය පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට දිගට හරහට ඉන්දියානු ගුටිබැට එල්ල වෙද්දී ඔවුන් විෂ වායු රංගනයක් ඉදිරිපත් කොට තරගයෙන් සැලකිය යුතු වෙලාවක් දියකර හැරියේය. තිබූ තත්වය අනුව එය හැර කළ හැකි කිසිවක් ශ්‍රී ලංකාවට නොතිබිණි.

ඇයි අවුල් ද?

ඔබ මේ පින්තූරයේ දකින්නේ විද්‍යාඥයින් හෝ ශල්‍යවෛද්‍යවරුන් නොවේ…

එහෙත් එවැනි සැලසුම් චන්දිමාල් වෙත ඉදිරිපත් කරන්නේ කවුරුන්දැයි අප සොයා බැලිය යුතුය. චන්දිමාල් වැනි නැගී වන නායකයෙකුගෙන් අප බලාපොරොත්තු වන්නේ උද්ඝෝෂණය පමණක් ද?

කොදෙව්වන්ට එරෙහි 2018 දෙවැනි ටෙස්ට් තරගයේ දී චන්දිමාල් විසින් පන්දුව මත යම් රසකැවිල්ලක යුෂ තවරනු වීඩියෝ කැමරා මත සටහන්ව තිබිණි. එම දර්ශන තරග තීරකවරයා වෙත ද ඉදිරිපත් කොට තිබූ පසුබිමක දී විනිසුරුවන් චන්දිමාල්ව ප්‍රශ්න කළේය. එහෙත් චන්දිමාල් ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන්ගේ කණ්ඩායම තරගය ඉදිරියට කරගෙන යෑමට අකමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් සංචාරයේ යන නිලධාරීන්ට නිසි පරිදි ගැටලුවක් කළමනාකරණය කර ගැනීමට ඇති අපහසුතාව යළිත් කැපී පෙනිණි. අද ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන්නේ තාක්ෂණය ඉතා ඉහළින් ඊට යොදා ගනිමිනි. කිසිවෙකුගේ දෑස් වැසිය නොහැකිය. එසේ තිබියදීත් චන්දිමාල් හට ක්‍රීඩා කරන්නටැයි කියා ගැටලු විසඳීම තමන් වෙත පවරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම කණගාටුදායක ය.

@dailymirror.lk – බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම විසින් කුඩුපට්ටම් කළ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගාරය

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට පැමිණ එහි තරගයකට සහභාගී වී ජය ගත් උද්දාමයෙන් ක්‍රීඩාගාරයේ දොර ජනෙල් පවා කුඩුපට්ටම් කළ බංගලාදේශ ක්‍රීඩකයන් කිසිදු හාහූවක් නැතිව අවසන් මහා තරගයට ද ක්‍රීඩා කොට අදටත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියි. එය අපරාධ නඩුවක් දැමිය හැකි මට්ටමේ වරදකි. එහෙත් එරට නිලධාරීන්ගේ ශූරත්වය නම් එයයි. ක්‍රීඩකයන් ගැටලු වලට මැදිවීමෙන් වළකා ගැනීම සහ ගැටලු වලට ලක්වූ විට ඉන් බේරා ගැනීම නිලධාරීන් තම කරමතට ගත යුතුය.

කෙසේ නමුත් වීඩියෝ දර්ශනවලම සියල්ල සටහන්ව තිබිය දී චන්දිමාල් පිටිය මැද කළ උද්ඝෝෂණය දියාරු වී ගියේය. ICCය ඉදිරියේ වැරදිකරුවෙකු වූ චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් වූ අතර ඔහුට එල්ල වන අනෙක් චෝදනාව (කණ්ඩායම පිටියෙන් පිට වීම) ගැන තවමත් පරීක්ෂණ පැවැත්වේ. චන්දිමාල් පවසා ඇත්තේ තමන් එවැනි රසකැවිල්ලක් භාවිතා කළ බව මතක ඇතත් ඒ කුමක්දැයි තමන්ට හරිහැටි මතක නැති බවයි. ශ්‍රී ලංකාවේ අපට එහෙමය. චන්දිමාල් එසේ සිදු කළා දැයි මටත් මතක නැත.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම පන්දුවක් පළුදු කරන්නට ගොස් තම ජාතියම පළුදු කොටගෙන ගත වූයේ මාස කිහිපයක් පමණි. එවන් තත්වයක් යටතේ චන්දිමාල් මෙවැන්නක් කිරීමට ඉක්මන් වීම පුදුමාකාර ය. මේ ගෙවී යන්නේ නැගී එන නායකයෙකුට දියුණු වන්නට තිබූ කාලයයි.

අද ක්‍රිකට් නායකයෙකුට ක්‍රිකට් පමණක් හැදෑරූවෙකු වන්නට නොහැකිය. ඒ වටා ඇති නීතිමය තත්වය, තාක්ෂණය සහ එහි සම්පූර්ණ වටපිටාව ගැන පූර්ණ අධ්‍යයනයක් කළ අයෙකු වීම නායකත්වයට අමතර සුදුසුකමක් නොව “අත්‍යාවශ්‍ය සුදුසුකමකි”. වත්මන් සොරෙකු වුව සොරකමේ යෙදෙන්නේ CCTV කැමරා පද්ධති සවිකොට ඇති ආකාරය, ආරක්‍ෂිත දොරවල් සහ අනෙක් දෑ ගැන පූර්ණ අවබෝධයකින් යුතුව ය.

චන්දිමාල්ට අර්ජුනට සමවිය නොහැක්කේ එබැවිනි. අර්ජුනගේ උද්ඝෝෂණය නිසා ඔහුටත් රටටත් ලැබුණේ ගෞරවයකි. එහෙත් නොදැන කරන උද්ඝෝෂණ අප රටේ 99%ක් උද්ඝෝෂණ  මෙන් දියාරු ය. නරකම ප්‍රතිඵලය නම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා කඩුලු 5ක් පමණක් අවශ්‍යව තිබිය දී වර්ෂාව නිසා තරගය නැවතීමය. පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් ගත කළ කාලය රැක ගත්තා නම් සමහර විට දැන් ශ්‍රී ලංකා – බ. ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය 1-1ක් සේ සමවන්නට ඉඩ තිබිණි. අර්ජුන දැඩි ය, නුවණක්කාර ය. චන්දිමාල් ඒ ගමන ප්‍රවේශමෙන් යා යුතුය.

“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ කුමකටද? මෑත දී වැඩිපුර කතාබහට…

අවසාන වශයෙන් espncricinfo වෙබ් අඩවිය උපුටා දක්වමි.

“සත්කාරක රටකට ලැබෙන වාසි තවදුරටත් තණතිල්ල සහ දේශගුණය මත පදනම් නොවේ. අවශ්‍ය නම් තරග විකාශන හිමිකරුවන්ට කණ්ඩායමේ දොළොස්වැන්නා බවට පත්විය හැක. ICCයට ඒ ගැන කළ හැක්කක් නැත.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<