Sooryavanshi අවසන් මහා තරගය සංදර්ශනයක් කරයි

Sri Lanka A, India A & Afghanistan A Tri Nation Tournament 2026

8
Sri Lanka Cricket

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (21) සමත් වෙනවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකන්ට එරෙහි ව ලකුණු 66ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව මෙම තරගයේ දී පෙර තරගය හා එක් වූ අහන් වික්‍රමසිංහ වෙනුවට මොහොමඩ් ශිරාස් එක් කර තිබූ අතර ඉන්දීය කණ්ඩායම මෙම තරගය හා එක්වෙන්නේ Anshul Kamboj වෙනුවට Yash Thakur එක් ගනිමිනුයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

 

සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, රවිඳු ප්‍රනාන්දු, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, මෙහොමඩ් ශිරාස්, දුලාජ් සමුදිත සහ කුගදාස් මාතුලන්.

 

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම

 

Tilak Varma (නායක), Priyansh Arya, Vaibhav Sooryavanshi, Ruturaj Gaikwad, Kumar Kushagra (කඩුලු රකින්නා), Suryansh Shedge, Nishant Sindhu, Vipraj Nigam, Anukul Roy, Yash Thakur සහ Yash Thakur.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 377ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 311ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහි ව හිත්-පිත් නොමැති ඉනිමක් ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රමුඛයා වෙන්නේ Vaibhav Sooryavanshi. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තා.

ඔහුගේ මෙම ඉනිම තුළ ලොව පළමු පෙළ එක්දින තරගවල (List A) වේගවත් ම අර්ධ ශතකය ද වාර්තා වෙනවා. පන්දු 11කින් තැබුණ එම වාර්තාවට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ඇතුලත් වූවා.

මෙම වාර්තාව මෙතෙක් හිමි ව තිබුණේ ශ්‍රී ලංකාවේ කෞශල්‍ය වීරරත්න වෙතයි. රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළ ඔහු මීට වසර 20කට ඉහත දී කුරුණෑගල යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව පන්දු 12කින් අර්ධ ශතකයක් රැස් කරමින් මෙම වාර්තාවේ මෙතෙක් රැඳී සිටියා.

Vaibhav Sooryavanshi ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී Priyansh Arya සමඟ පළමු කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 132ක සබඳතාවක් ද එක් කර තිබුණා. Priyansh Arya ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියේ එකතු වූ Ruturaj Gaikwad සහ නායක Tilak Varma නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අමාරුවේ දමමින් 3 වැනි කඩුල්ලට පන්දු 106ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කරනවා.

එහි දී ඉනිම හැර යන්නේ Ruturaj Gaikwad. ඔහු දැවී යන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ Kumar Kushagra සහ නායක Tilak Varma සිව් වැනි කඩුල්ලට ද පන්දු 70ක දී ලකුණු 63ක් ලබා ගන්නවා. එහි දී Kumar Kushagra පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් Tilak Varma දැවී යද්දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියා.

පසු පෙළින් පිටියට පිවිසි Vipraj Nigam සහ Nishant Sindhu (16) 7 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 41ක් ද සහ Anukul Roy සහ Yash Thakur (2*) 9 වැනි කඩුල්ලට පන්දු 16ක දී නොදැවී ලකුණු 43ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී Anukul Roy පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ද සහ Vipraj Nigam පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන්, රවිඳු ප්‍රනාන්දු සහ කුගදාස් මාතුලන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර සහන් ආරච්චිගේ, දුලාජ් සමුදිත සහ මොහොමඩ් ශිරාස් ද කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව ආරම්භ කළ ද ඔවුන්ට පෙර තරගවල පෑ දක්ෂතා මෙම තරගයේ දී පෑමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ට පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 28ක් පමණයි.

පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු මෙම ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී ලබා සිටියේ ලකුණු 3ක් පමණයි. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දු 7ක දී නිරෝෂන් දික්වැල්ල ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 17ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.

අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් නුවනිඳු ප්‍රනාන්දු ඉනිම හැර යද්දී පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

එම කඩුල්ල දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 75ක් ලෙසින් දැක් වුණ අතර අනතුරු ව කඩුල්ලේ දී පන්දු 51ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට සදීර සමරවික්‍රම සහ නායක සහන් ආරච්චිගේ සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ සදීර සමරවික්‍රම ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.

අනතුරු ව සහන් ආරච්චිගේ, රවිඳු ප්‍රනාන්දු හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 14ක දී ලකුණු 21ක සබඳතාවක් ද සහ වනුජ සහන් හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 28ක සබඳතාවක් ද ගොඩ නගනවා.

සහන් ආරච්චිගේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.

ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 177 නතර වී තිබූ අතර එතැන් සිට පිටියේ සජීවී වනුජ සහන් සහ විජයකාන්ත් වියස්කාන්ත් එක් ව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නගනවා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 77ක සබඳතාවක් ගොඩ නගනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විජයකාන්ත් වියස්කාන්ත් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව එතෙක් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වී සිටි වනුජ සහන් ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියා.

 ඒ වෙද්දී ඔහු මොහොමඩ් ශිරාස් හා එක් ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29ක දී ලකුණු 30ක සබඳතාවක් ද ගොඩ නගා සිටියා.

මොහොමඩ් ශිරාස් ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටි අතර දුලාජ් සමුදිත 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 11ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Yash Thakur සහ Vipraj Nigam කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Anukul Roy කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 377 (50.0) Priyansh Arya 39, Vaibhav Sooryavanshi 94, Ruturaj Gaikwad 40, Tilak Varma 67, Kumar Kushagra 36, Vipraj Nigam 27, Anukul Roy 39, කූගදාස් මාතුලන් 2/82, රවිඳු ප්‍රනාන්දු 2/72, වනුජ සහන් 2/39
  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 311 (47.1) නිරෝෂන් දික්වැල්ල 25, නුවනිඳු ප්‍රනාන්දු 21, සදීර සමරවික්‍රම 52, සහන් ආරච්චිගේ 38, වනුජ සහන් 62, විජයකාන්ත් වියස්කාන්ත් 39, මොහොමඩ් ශිරාස් 21, Yash Thakur 3/45, Vipraj Nigam 3/60, Anukul Roy 2/42

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 66ක ජය.

තරගයේ වීරයා – Vaibhav Sooryavanshi (ඉන්දියාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<