ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන දක්ෂතා

Asia Cup 2023

1842

වසර 40කට ආසන්න අතීතයක් ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩි ගෞරවය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ බෙදී ගොස් තිබෙනවා.

වරින් වර විවිධ ගැටලු පැනනගිමින් වුව ද මේ වන විට 15 වතාවක් පවත්වා ඇති ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරයින් වීමට සමත් වී (7 වරක්) ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි.

මෙතෙක් පවත්වා ඇති තරගාවලි 15ටම සහභාගී වූ එකම කණ්ඩායම වන ශ්‍රී ලංකාව විසින් හය වරක් මෙහි ශූරතාව දිනා ගනිද්දී, පාකිස්තාන කණ්ඩායම විසින් දෙවරක් ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 

මේ අතර 1984 වසරේ සිට 2010 තෙක් පැවැත්වුණු තරගාවලි 10යේ ම අවසන් මහා තරග පාර්ශවයක් බවට පත් වීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. එමෙන්ම පසුගිය වසරේ විස්සයි විස්ස තරග රටාවෙන් පැවැත්වුණු ආසියානු කුසලානය ජයග්‍රහණය කරමින් වත්මන් ආසියානු ශූරයින් ලෙස වැජඹෙන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. (නමුත් අවසන් වරට පන්දුවාර 50 රටාවෙන් පැවැත්වුණු තරගාවලියේ ශූරයින් වූයේ ඉන්දියාවයි.) 

2014 වසර තෙක් පන්දුවාර 50 තරග රටාවෙන් පැවැත්වුණු මෙම තරගාවලිය පසුව විස්සයි විස්ස සහ පන්දුවාර 50 යන තරග රටා දෙකෙන් ම පැවැත්වීමට පියවර ගත්තා. 

ඒ අනුව 16 වැනි වරට පැවැත්වීමට නියමිත මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරග රටාවෙන් පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ ශූරතා ප්‍රමාණයෙන් ඉන්දියාව ඉදිරියෙන් සිටියත් අනෙක් සියලු ම වාර්තාවන් හි ඉදිරියෙන් ම සටහන් වී ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගේ නම් වීම විශේෂත්වයක්. 

ඉනිම් 24ක් තුළ ලකුණු 1220ක් සමඟින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වීමට සනත් ජයසූරිය සමත් වන විට එහි දෙවැනි ස්ථානය කුමාර් සංගක්කාර (ලකුණු 1075) හට හිමි වී තිබෙනවා. 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට මුත්තයියා මුරලිදරන් සමත් වී ඇත්තේ ඉනිම් 24කින් කඩුලු 30ක් දවා ගනිමිනුයි. මෙහි දෙවැනි ස්ථානයේ ලසිත් මාලිංග (කඩුලු 29) රැඳී සිටින අතර අජන්ත මෙන්ඩිස් කඩුලු 26ක් සමඟින් එහි තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වී සිටිනවා. 

එක් තරගාවලියක් තුළ පිතිකරුවෙකු විසින් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය සනත් ජයසූරිය (ලකුණු 348) 2008 වසරේ දී වාර්තා කර ගැනීමට සමත් වුනා. එමෙන්ම වැඩිම ශතක (6) වාර්තාව ද සනත් සතු වනවා. වැඩිම අර්ධ ශතක ලාභියා (12) වන්නේ කුමාර් සංගක්කාරයි. 

තරගාවලි ඉතිහාසයේ ඉහළ ම පිතිකරණ සාමාන්‍ය (82.75) සටහන් කරගැනීමට ඇන්ජලෝ මැතිව්ස් විසින් සමත් වී තිබෙනවා. 

මේ අතර ඉනිමක හොඳම පන්දු යැවීම (6/13) සහ තරගාවලියක වැඩිම කඩුලු (16) යන වාර්තා ද්විත්වය ම අජන්ත මෙන්ඩිස් සතු කර ගෙන තිබෙනවා. වැඩිම කඩුලු 5 අවස්ථා සඳහා වාර්තාව ලසිත් මාලිංග (3) සතු වනවා. 

එමෙන්ම වැඩිම උඩපන්දු සඳහා හිමි වාර්තාව මහේල ජයවර්ධන (15) සතු වන විට කඩුල්ල පිටුපස සිටිමින් වැඩිම දවා ගැනීම් ප්‍රමාණයක් සඳහා දායක වීමේ සම වාර්තාව කුමාර් සංගක්කාර (ඉන්දියාවේ MS Dhoni සමඟින් සම වාර්තාව දවා ගැනීම් 36) සතු වනවා. 

මේ අතර මෙතෙක් තරගාවලි ඉතිහාසයේ වැඩිම තරග ජයග්‍රහණ ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ ද ශ්‍රී ලංකාවයි. 

තරග 50ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 34ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 68%ක් ලෙස දැක්වෙනවා. මේ අතර මෙහි දෙවැනි ස්ථානයේ ඉන්දියාව ද (63.26%), තෙවන ස්ථානයේ පාකිස්තානය ද (57.77%) රැඳී සිටිනවා. 

එමෙන්ම මෙතෙක් තරගාවලි 15න් තරගාවලි 5ක ම තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලාංකිකයින් විසින් දිනා ගැනීමට සමත් වී තිබීමත් විශේෂත්වයක්.  

(1986, 1997 – අර්ජුන රණතුංග, 2004 – සනත් ජයසූරිය, 2008 – අජන්ත මෙන්ඩිස්, 2014 – ලහිරු තිරිමාන්න) 

2023 ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු 30 වැනිදා නේපාලය සහ පාකිස්තානය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පළමු තරගය අගෝස්තු 31 වැනිදා බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Times of India ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<