තිසරගේ ප්‍රහාරය සහ මහීෂ්ගේ පන්දුකරණ දස්කම් නිසා Kingsට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

1438

LPL තරගාවලියේ 9 වැනි තරගය Jaffna Kings සහ Colombo Stars අතර අද (10) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තිසර ඇතුළු Kings ක්‍රීඩකයින් දියත් කළ සුපිරි පිති ප්‍රහාරය නිසා Starsට එරෙහිව ලකුණු 93ක දැවැන්ත ජයක් ලබාගෙන නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට Kings සමත් වුනා.

කණ්ඩායම් දෙකම වෙනස්කම් දෙක බැගින් සිදු කරමින් අද තරගය සඳහා අවතීර්ණ වූ අතර Stars කණ්ඩායම පැතුම් නිස්සංක සහ අකිල දනංජය වෙනුවට අශාන් ප්‍රියන්ජන් සහ තික්ෂිල ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබුණා.

අනෙක් පසින් Kings ද සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් Jayden Seales සහ උපුල් තරංග වෙනුවට Wahab Riaz සහ අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Colombo XI: Tom Banton, Kusal Perera, Sherfane Rutherford, Ashen Priyanjan, Dhananjaya de Silva, Keemo Paul, Seekkuge Prasanna, Thikshila de Silva, Naveen-ul-Haq, Dushmantha Chameera

Jaffna XI: Rahmanullah Gurbaz, Avishka Fernando, Tom Kohler-Cadmore, Ashen Bandara, Shoaib Malik, Thisara Perera, Chaturanga de Silva, Wanindu Hasaranga, Wahab Riaz, Suranga Lakmal, Maheesh Theekshana

පැවති අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ පැයක කාලයක් අහිමිව ගිය අතර ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

කාසියේ වාසිය දිනා ගත් Stars නායක ධනංජය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර අද තරගයේ ඉනිමක Powerplay පන්දුවාර ගණන 5කට සීමා වුනා.

Gurbaz සහ අවිශ්ක ප්‍රනාන්දුගේ යන Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පළමු පන්දු 11 තුල දවා ගැනීමට Stars සමත් වුනේ හොඳ ආරම්භයක් ලබා ගනිමිනුයි.

නමුත් Kings සතුව සිටින අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරුවන් ඔවුන්ගේ ඉනිම සාර්ථක අවසානයක් වෙත රැගෙන යන්නට සමත් වුනු අතර ඔවුන් නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබා ගත්තා. එය මෙවර LPL තරගාවලිය තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වුනා.

පළමු powerplay පන්දුවාර 5 අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලබාගෙන සිටි Kings ඔවුන්ගේ අවසන් පන්දුවාර 13 තුල කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වුනා. එයිනුත් අවසන් පන්දුවාර 4 තුල ලකුණු 70ක් ලබා ගැනීමට Kings සමත් වුනේ Stars කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින්.

Stars වෙනුවෙන් චමීර ඔහුගේ පළමු පන්දුවාර දෙක ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කළ නමුත් තිසර සහ අශේන් බණ්ඩාර ඇතුළු Kings මැදපෙළ පිතිකරුවන් හමුවේ චමීර ක්‍රියාත්මක කළ සිය අවසන් පන්දුවාර දෙක සඳහා ලකුණු 43ක් උඳුරා ගැනීමට Kings ක්‍රීඩකයින් සමත් වුනා.

Malik (ලකුණු 44) සහ Cadmore (ලකුණු 40) මේ දැවැන්ත ලකුණු ප්‍රමාණය වෙත යාම සඳහා අවශ්‍ය වුනු පදනම සකස් කළ අතර අශේන් සහ තිසර ඒ සඳහා සාර්ථක අවසානයක් ලබා දුන්නා.

හෙමින් සීරුවේ සිය ඉනිම ආරම්භ කළ අශේන් පන්දු 30ක දී 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 42ක් ලබාගෙන සිටිය දී දැවී යාමත් සමඟම තිසර සහ අශේන් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24ක් තුල ගොඩනැංවූ ලකුණු 39 සබඳතාවය බිඳ වැටුණා.

සමස්තයක් ලෙස සීකුගේ සහ චමීර යොමු කළ 2 වැනි සහ 7 වැනි පන්දුවාරයන් හැරෙන්නට අනෙක් පන්දුවාර 16 තුල දී ම එක් පන්දුවාරයකට ලකුණු  6කට වඩා ලබා ගැනීමට Kings පිතිකරුවන් සමත් වීම නිසා ඔවුන්ට මෙවැනි ආකාරයේ දැවැන්ත ලකුණු ප්‍රමාණයක් යන්නට හැකියාව ලැබුණා.

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් දැවැන්ත 6 පහර ප්‍රමාණයක් එල්ල කළ තිසර පන්දු 20ක් තුල දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් අතර අවසානයේ දී ඔහු පන්දු 23ක් තුල ලකුණු 57*ක් ලබා ගත්තේ 4 පහර 3ක් සහ 6 පහර 5ක් එල්ල කරමින්. එය ඔහු මෙවර LPL තරගාවලිය තුල නොකඩවා ලබා ගත් දෙවැනි අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී සීකුගේ කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූ නමුත් සීකුගේ සහ Naveen-ul-Haq දෙදෙනා හැරෙන්නට අනෙක් Stars පන්දු යවන්නන් සියලු දෙනා හට පන්දුවාරයකට ලකුණු 10කට වඩා එල්ල කිරීමට Kings පිතිකරුවන් සමත් වුනා.

Kings ගොඩනැංවූ ලකුණු පුවරුවේ පීඩනය සඳහා පැහැදිලි ලෙසම හසුවුණු Stars කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 32ක් තුල දවා ගැනීමට මහීෂ්, Wahab සහ වනිඳු සමත් වුනා. ඉන්පසුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු චන්දිමාල් පන්දු 41ක් තුල ලකුණු 64ක සබඳතාවයක් ගොඩනංවමින් Stars කණ්ඩායමේ අභිමානය රැකගත හැකි ලකුණක් වෙත ඔවුන්ගේ ලකුණු සටහන තල්ලු කළා.

අශාන් සහ චන්දිමාල් පිළිවෙළින් ලකුණු 35කට සහ ලකුණු 28කට දැවී ගිය පසුව ඔවුන්ගේ වෙනත් එකඳු ක්‍රීඩකයෙක්ට හෝ සාර්ථක දස්කම් අතරට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ . අවසානයේ දී Stars ඉනිම පන්දුවාර 15කුත් පන්දු 5ක් අවසානයේ ලකුණු 114කට සීමා කිරීමට Kings ක්‍රීඩකයින් සමත් වුනා.

දකුණතින් දඟපන්දු යවන මහීෂ් නැවත වරක් ඉතාමත් හොඳ පන්දුකරණ දස්කම් දක්වමින් චන්දිමාල්, කුසල්, අශාන් සහ Banton යන ප්‍රබල කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව Wahab කඩුලු 4ක් සහ වනිඳු කඩුලු 2ක් දවා ගත්තා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම විඳගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<