LPL කාලසටහනේ සුළු වෙනසක් වෙද්දී Warriors විදෙස් ක්‍රීඩකයින්ගේ ලොකු වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

7724

2021 LPL ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන Kandy Warriors කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Rovman Powell සහ Devon Thomas වෙනුවට Ravi Bopara සහ Tom Moores යන ක්‍රීඩකයින් සිය සංචිතයට කැඳවීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙනවා.

Rovman Powell සහ Devon Thomas බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සඳහා කැඳවා තිබෙන නිසාවෙන් LPL තරගාවලිය අතරතුර Warriors කණ්ඩායම් කළමනාකරුවන් හට මෙම තීරණය ගැනීමට සිදුව තිබෙනවා. Warriors කණ්ඩායම දැනට ක්‍රීඩා කළ තරග තුන තුළම කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූ Powell, තරග තුනක දී ලකුණු 104ක් රැස් කරගෙන තිබෙන්නේ LPL තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය ද තමන් සතු කරගෙනයි.

Bopara සහ Moores පසුගියදා නිමාව දුටු Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ දී පිළිවෙළින් Chennai Braves සහ Deccan Gladiators යන කණ්ඩායම් නියෝජනය කළ අතර ඔවුන් දැන් එම ජෛව ආරක්ෂිත බුබුලේ (Bio Bubble) සිට LPL ජෛව ආරක්ෂිත බුබුලට මාරු වී තිබෙනවා.

තව ද හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සහ වර්තමානයේ නැමීබියාව නියෝජනය කරන David Wiese මෙවර LPL තරගාවලියේ දී Colombo Stars කණ්ඩායම නියෝජනය කළ නමුත් පළමු තරග දෙක නියෝජනයෙන් පසුව පුද්ගලික හේතුවක් නිසා මීට දින දෙකකට පෙර සිය රට බලා පියාසර කළා.

එසේම 2021 LPL ක්‍රිකට් තරගාවලියේ playoff වටයේ තරග දෙසැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනු නමුත් එම තරග දෙකම දෙසැම්බර් 19 වැනිදා දක්වා දිනයක් පසුපසට ගෙන තිබෙන අතර එම තරග සුපුරුදු පරිදි හම්බන්තොට දී පැවැත්වෙනවා.

LPL තරගාවලියේ ඉදිරි තරග කාලසටහන,

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<