ගැබා පිටියේ No-ball ක්‍රියා විරහිත වෙයි!

5101
(Herald Live)

එංගලන්ත හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ගැබා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

පළමු තරගයේ දෙවැනි දිනයේ 13 වැනි පන්දුවාරයේ දී එංගලන්ත ක්‍රීඩක Ben Stokes යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු David Warner දැවී ගිය නමුත් පිටියේ විනිසුරු තෙවැනි විනිසුරුගෙන් විමසා Stokes යැවූ පන්දුව නිපන්දුවක් බව සඳහන් කළා.

කෙසේ වෙතත් තරගය විකාශය කරන Channel Seven ආයතනය පසුව විකාශනය කළ පුනරූපණ දර්ශනයක දිස්වුණු ආකාරයට Stokes සිය පළමු පන්දුවාර පහේ දී නිපන්දු 14ක් පමණ යවා තිබුණා.

නමුත් පිටියේ විනිසුරු නිපන්දු ලෙස සඳහන් කර තිබුණේ ඉන් පන්දු දෙකක් පමණයි. පසුව තරග නිලධාරීන් වාර්තා කළ අන්දමට තෙවැනි විනිසුරු සෑම පන්දුවේ දී ම නිපන්දු නිරීක්ෂණය කරන තාක්ෂණය තරග ආරම්භ කිරීමට පෙර සිටම ක්‍රියා විරහිතව තිබෙනවා.

එම නිසා ගැබා පිටියේ ක්‍රියාත්මක වන මේ ටෙස්ට් තරගය පැරණි නීතිරීති වලට අනුව ක්‍රියාත්මක වන අතර පන්දු යවන්නා කඩුල්ලක් දවා ගන්නා පන්දු පමණක් තෙවැනි විනිසුරු විසින් නැවත විමසා බලනවා.

2019 දෙසැම්බර් මාසයේ දී සෑම පන්දුවක දී ම තෙවැනි විනිසුරු නිපන්දු නිරීක්ෂණය කරන තාක්ෂණය ICC විසින් පළමු වරට හඳුන්වා දුන්නා. පසුගිය වසරේ එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දී එම තාක්ෂණය පළමු වරට භාවිතා කළා.

ICC ලෝක ටෙස්ට් ශූරතාවය සඳහා වන නීති රීති මාලාවේ මෙලෙස සඳහන්; තෙවැනි විනිසුරු පන්දු යවන්නාගේ නිපන්දු පරික්ෂා කළ යුතුයි. නිපන්දුවක් සඳහා වන කොන්දේසි තුන සම්පූර්ණ කරන්නේ නැති නම් වහාම පන්දු යවන්නාගේ අන්තයේ විනිසුරු දැනුවත් කර නිපන්දුවක් ලබා දිය යුතුයි.”

Cricbuzz ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<