Kohliගේ සමුගැනීමේ තීරණයේ මුල සිට අවසානය දක්වා

5969
AFP PHOTO

හිටපු ඉන්දීය එක්දින සහ විස්සයි විස්ස නායක Virat Kohli  නායකත්වයෙන් සමුගැනීම පසුගිය දින කීපය තුළ මාධ්‍යවල දැඩි අවධානයට යොමුව තිබුණා.

Kohliගේ සමුගනීම සහ ඒ සඳහා මූලික වූ සිදුවීම් දිග හැරුණු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක කාලසටහනක් ඉන්දීය පුවත්පතක් වන Hindustan Times විසින් පසුගිය දා නිකුත් කර තිබුණා.

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයෙකු ලෙස සැලකෙන Virat Kohli  පසුගිය බදාදා (08) එක්දින නායකත්වයෙන් ඉවත් වූයේ Rohit Sharmaට එක්දින නායකත්වය පැවරීමත් සමඟින්. ඉන්දීය කණ්ඩායම ඉදිරියේ දී එක්වීමට නියමිත දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය සීමිත පන්දුවාර කණ්ඩායම විශාල ප්‍රතිසංස්කරණයකට භාජනය කර තිබුණා.

එම වෙනස්කම් සාකච්ඡා මට්ටමේ තිබූ නමුත් මෙතරම් ඉක්මනින් සිදු වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කර තිබුණේ නැහැ.

70.43%ක සුවිශේෂී ජයග්‍රහණ ප්‍රතිශතයක් සමඟින් නායකත්ව භූමිකාවෙන් Kohli ඉවත්ව ගිය අතර, එය තරග 10කට වැඩි ගණනක දී ඉන්දීය ජාතික කණ්ඩායමට නායකත්වය දුන් එක්දින නායකයකුගේ වැඩිම ජයග්‍රහණය ප්‍රතිශතය ලෙස වාර්තා වුනා.

සමස්තයක් ලෙස ඔහු තරග 95ක දී ඉන්දියාව ජයග්‍රහණ 65ක් කරා ගෙන ගොස් තිබුණා. 2017 දී මහේන්ද්‍ර සිං දෝනිගෙන් එක්දින නායකත්වයේ අවසානයත් සමඟින් නායකයා ලෙස පත්වූ Kohli, එංගලන්තයට එරෙහිව 2-1ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් සමඟින් සිය ගමන ආරම්භ කළා. ඔහුගේ මේ කතාව අවසන් වූයේ ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහණ 15ක් සිය ජයග්‍රහණ මල්ලට එකකර ගනිමින්.

Rahul Dravid ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කළ Ravi Shastriගේ වගකීම භාර ගැනීමත් සමඟ ඉන්දීය පුහුණුකාර මණ්ඩලය ද ප්‍රතිසංස්කරණයකට ලක් වුනා. එක්දින නායකත්වයේ වෙනස මෙන් නොව පුහුණුකරු සංක්‍රාන්තිය වැඩි කලබලයකින් තොරව සිදු වුනා. බොහෝ දෙනා Dravidගේ පැමිණීම පිළිගෙන ඇති අතර කිහිප දෙනෙක් එය හදිසි තීරණයක් ලෙස හඳුන්වා තිබුණා.

විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වන අතරතුර Kohli 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය දක්වා එක්දින කණ්ඩායම මෙහෙයවීමට කැමැත්ත පළ කර තිබුණා. එහෙත් තේරීම් කමිටුව දැඩි තීරණයක් ගනිමින් Rohitට එක්දින නායකත්වය ලබා දීම විශේෂත්වයක්.

Kohli නායකත්වයෙන් ඉවත් වීම ආරම්භ වුනේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමත් සමඟින්.

Virat Kohli පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයක් කරමින් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට පැවරී ඇති විශාල කාර්යභාරය නිසා විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව ඔහු ඉන්දීය නායකත්වයෙන් ඉවත් වන බව පවසා සිටියා. ඔහුගේ මෙම තීරණය පිළිබඳව එවකට ප්‍රධාන පුහුණුකරු Ravi Shastri සහ එක්දින උප නායක Rohit Sharma ඇතුළු සමීප පුද්ගලයින් සමඟ බොහෝ සාකච්ඡා කළ බව Kohli පවසා සිටියා.

කෙසේ වෙතත් Kohli එක්දින සහ ටෙස්ට් ආකෘති දෙකේ දී කණ්ඩායමේ නායකත්වය දැරීමට සම්පූර්ණයෙන්ම සූදානම් බව පවසා තිබුණා. ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස පසුගිය වසර 8-9 තුළ ඔහුගේ දැවැන්ත කාර්ය භාරය සලකා බැලීමේ දී සහ පසුගිය වසර 5-6 තුළ ස්ථීර නායකයා ලෙස කල කාර්‍යභාරය සලකා බලමින් නව ඉන්දියානු ක්‍රීඩකයෙකුට නායකත්වය දීමට සම්පූර්ණයෙන්ම සූදානම් බව Kohli එහි දී පවසා සිටියා.

විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරන කාලය තුළ මම කණ්ඩායමට සෑම දෙයක්ම ලබා දීලා තියනවා. පිතිකරුවෙකු විදිහට විස්සයි විස්ස කණ්ඩායම වෙනුවෙන් මම දිගටම කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා”, Kohli පවසා සිටියා.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) නායකත්වයෙන් ඉවත් වීම ප්‍රකාශ කරමින් Kohli තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා.

2013 දී Daniel Vettoriගෙන් අනතුරුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායකත්වයට පත් වූ Kohli, සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් RCB රසිකයින්ට ස්තුතිය පුද කළ අතර, ඔහුට කණ්ඩායමට ප්‍රබෝධමත් දායකත්වයක් ලබා දීමට, නැවත කණ්ඩායමක් ලෙස එක්වීමට සහ ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව සම්පූර්ණයෙන්ම පැහැදිලි අදහසක් ලබාගැනීමට ඉඩක් අවශ්‍ය බව පවසා සිටියා.

Virat Kohliගේ නායකත්වයේ අවසන් තරගාවලිය අමතක කළ යුතු එකක් ලෙස අවසන් වූ අතර ICC ඉසව්වල දී ඔහුගේ නායකත්වයේ අසාර්ථකම තරගාවලිය ලෙස මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නිමා වුනා. ඉන්දියානු කණ්ඩායම එහි නායකයා සඳහා පරිපූර්ණ සමුගැනීමක් ලබා දීමට ප්‍රබල උත්සාහයක නිරත වී සිටි නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පළමුවෙන්ම මේක මට ලොකු සහනයක්. ඒ වගේම ඒක ලොකු ගෞරවයක්. නමුත් මම ක්‍රීඩකයෙක් විදිහට දේවල් නිවැරදි සැලැස්මක තබා ගන්න ඕනේ. මගේ වැඩ සහ බර කළමනාකරණය කිරීමට මෙය මට සුදුසු කාලය කියලා මම තීරණය කළා. අපි පිටියට පිවිසෙන සෑම අවස්ථාවකම තියුණු ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා කළා. ඒක ඔබෙන් බොහෝ දේ බලාපොරොත්තු වුනා”, විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වෙමින් Kohli පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<