වාඩා මචාං සමඟ එන Jaffna Stallions

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

558

Vaadaa machan (වාඩා මචං) හෙවත් වරෙන් මචං යනුවෙන් පවසමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වෙන Jaffna Stallions, දිස්ත්‍රික්ක ලෙසින් නම් කෙරුණ කණ්ඩායම් 5න් තමන්ගේ නාමය ලත් යාපනයේ ජනතාවගේ හදවතට සමීප වීමේ බලාපොරොත්තුව සහිතව ඔවුන් බහුලව භාවිතා වන වදනකින් ම තම තේමා පාඨය සකසමින් තරගාවලියට එක් වෙති.

කණ්ඩායමේ හිමිකරු ලෙසින් හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකා මූල්‍ය සමාගමක් වන Brindon Bagirathan ආයතනයයි. ඊට අමතරව එහි සමඅනුග්‍රාහකයා ලෙසින් M12 ආයතනය ද කටයුතු කරයි. 

“සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව සහ යාපනය නගරය නියෝජනය කරන්න ලැබුණ එක ගැන ආඩම්බර වෙනවා. අපිට බලා සිටිය නොහැකියි ලොව පුරා සිටින රසිකයන් ආඩම්බරයෙන් යුතුව Jaffna Stallions කණ්ඩායම නියෝජනය කරන තුරු.” සම අනුග්‍රාහක රාහුලු සූඩ් මහතා තරගාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණි. තව දුරටත් ඔහු සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව තමන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීම අදහා ගත නොහැකි වූ බවයි.

කණ්ඩායමේ නායකත්වය, අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් මෙහෙය වූ තිසර පෙරේරා සතු වන අතර ප්‍රධාන පුහුණුකරු වන්නේ තිළිණ කණ්ඩම්බි ය.  

කණ්ඩායම් වෙන්දේසියේ දී දැනට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන්ට අමතරව එංගලන්තයේ Dawid Malan පාකිස්තානයේ Asif Ali ද නම් කෙරුණ ද ඔවුන් අවසන් තෝරා ගැනීමේ කණ්ඩායමට ඇතුළත් වූයේ නැත.  

එංගලන්තයේ Ravi Boparaගේ නම ද ඉහළින් ම තිබුණ ද, ගිවිසගත් මුදල් තරගාවලියට ප්‍රථම බලාපොරොත්තු වීම හේතුවෙන් ඔහු ද අවසන් මොහොතේ දී කණ්ඩායමෙන් ඉවත් කෙරුණි. ඒ වෙනුවට ඔවුන් විසින් තෝරාගත් අවසන් විදෙස් ක්‍රීඩකයා වූයේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Jhonson Charles ය. 

31 හැවිරිදි ජොන්සන් නිමා වූ කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Barbados Tridents කණ්ඩායමේ ආරම්භක පිතිකරු ය. ඔහු එම තරගාවලියේ තරග 10කට සහභාගී වෙමින් ලකුණු 214ක් ලබා ගනිමින් එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි තැනට පත් විය. නමුත් ඔහු 2016න් පසු බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමක සාමාජිකත්වය හිමි වී නැත. 

>> Jaffna කණ්ඩායම පුහුණුවීම් කරපු හැටි – Photo Album <<

මේ අතර හම්බන්තොටින් වාර්තා වන්නේ වමත් පිතිකරු චතුරංග ද සිල්වා උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් ඔහුට තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වෙන බවයි. මේ වෙනුවට ඔවුන්ගේ තේරීම වූයේ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ය. 

කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ 18 වියැති පා දඟපන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් ය. ඔහුට අමතරව කනකරත්නම් කපිල්රාජ්, තේවෙන්දිරම් දිනෝෂාන් සහ සෙබස්තියන්පිලේලේයි විජෙයරාජ් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් Jaffna කණ්ඩායමට එක් වූ යොවුන් ක්‍රීඩකයෝ ය. 

තිසර පෙරේරා (නායක) 

Bowling allrounder කෙනෙක් ලෙසින් ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ 31 හැවිරිදි තිසර පෙරේරා, දකුණතින් මද වේගපන්දු යවමින් වමතින් වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකි. ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසන් තරග 10 නිමා කර ඇත්තේ ලකුණු 213ක් සහ කඩුලු 6ක් දවා ගනිමිනි.

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Stallions කණ්ඩායමේ නායකත්වයට පත් වෙන තිසර එම තරගාවලිය වෙනුවෙන් වඩාත් බලාපොරොත්තු සහගතව සිටින්නන් අතර ප්‍රමුඛයෙකි. 

“ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සංධිස්ථානයක්. මීට සම්බන්ධ වන නවක සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ට මිල කළ නොහැකි අත්දැකීමක්” යැයි ඔහු පවසයි. එමෙන් ම ක්‍රිකට් ළැදී සැමට ම මෙම තරගාවලිය හා එක්වෙන ලෙස ද ඔහු ආරාධනා කර සිටි.

මේ දක්වා විස්සයි විස්ස තරග 277කට සහභාගී වී ඇති තිසර ඉනිම් 234ක දී ලකුණු 3435ක් රැස් කරගෙන ඇත. ලබා ඇති කඩුලු සංඛ්‍යාව 238ක් වන අතර උඩ පන්දු රැකගැනිම් 112ක් ද ඒ අතර වේ.

එමෙන් ම තිසර මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 77කට සහභාගී වෙමින් ලකුණු 1044ක් වාර්තා කර ඇත. ලබා ඇති කඩුලු ප්‍රමාණය 45ක් වන අතර රැකගත් උඩ පන්දු ප්‍රමාණය 29කි. මේ තරග අතරින් තරග 9ක දී නායකත්වයේ හිස් වැස්ම පැලඳිය ද ඉන් කිසිදු තරගයක් ජයග්‍රහණය කරවීමට තිසරට හැකි වන්නේ නැත. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3ක දී ද නායකත්වයේ කටයුතු කර ඇති තිසර එහි දී තරග නිමා කර ඇත්තේ එක් තරගයක් ජයග්‍රහණය කරමින් තරග දෙකක් පරාජය වෙමිනි.

ඒ කෙසේ වෙතත් මංගල ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තිසර කෙරෙහි සේ ම තිසරගේ Jaffna Stallions කණ්ඩායම කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ද සුළු පටු නැත. විශේෂයෙන් ම තරගයක ප්‍රතිඵලයට බලපෑම් කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගෙන් ම සමන්විත කණ්ඩායමක් ලැබීම තුළ තිසරට පැවරී ඇත්තේ ඔවුන් ක්‍රීඩාංගණය තුළ ද මනාව කළමනාකරණය කිරීම ය. 

ෂොයිබ් මලික් (Shoaib Malik)

38 හැවිරිදි ෂොයිබ් මලික් දශක දෙකක් තිස්සේ පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ගෞරවාදරයට පත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් වෙන අතර Jaffna කණ්ඩායමේ ප්‍රධාන ම විදෙස් ක්‍රීඩකයා ද වේ.  

පසුගිය දා නිමා වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Peshawar Zalmi කණ්ඩායම නියෝජනය කළ මලික් තරග 9කට සහභාගී වෙමින් ඉනිම් 8ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 278ක් රැස් කළේ එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙමිනි. 

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 35කට ද එක්දින ජාත්‍යන්තර තරග 287කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 116කට සහභාගී වී ඇති මලික් තම ක්‍රිකට් දිවියේ දී විස්සයි විස්ස තරග 402කට ක්‍රීඩා කර ඇත. ඉන් ඉනිම් 375ක දී පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසෙන මලික් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 10248කි. ඊට අර්ධ ශතක 63ක් ඇතුළත් ය. 

වනිඳු හසරංග

Jaffna කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත යොවුන් ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංග ය. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් මෑත කාලීන ඉතිහාසයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර කාගේත් කතා බහට ලක් වූ වනිඳු වයස අවුරුදු 20 දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් ක්‍රීඩකයෙකි. ඒ අනුව ඔහු එක්දින තරග 15ක දී සහ විස්සයි විස්ස තරග 13ක දී ද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. 

පළමු පෙළ තරග 36ක දී ලකුණු 2222ක් සහ කඩුලු 76ක් ලබා ගෙන ඇති වනිඳු විස්සයි විස්ස තරග 41කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 566ක් වන අතර පා දඟපන්දු යවමින් කඩුලු 46ක් ලබාගෙන ඇත.  

පිතිකරු ලැයිස්තුවේ ඕනෑම තැනක සිට පිතිහරඹයට සුදානම් වනිඳු Jaffna කණ්ඩායමට මහඟු සම්පතකි.

LPL තතුවිත්ති:

අවිශ්ක ප්‍රනාන්දු

වයස අවුරුදු 18 දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් අවිශ්ක, මේ වන විට එක්දින තරග 18ක දී ද, විස්සයි විස්ස තරග 15ක දී ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත. එක්දින තරග පිටියේ විශ්වාසවන්ත ක්‍රීඩකයෙක් ලෙසින් අවිශ්ක තම ස්ථානය තහවුරු කර ගන්නේ ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 653ක් ලබා ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 1379ක් ලබා ඇති අවිශ්ක, එම වයස් කාණ්ඩයේ වාර්තා කරන ලද වැඩිම ශතක ප්‍රමාණයේ හිමිකරු ද වන්නේ ය.   

විශ්වාසවන්ත ආරම්භක පිතිකරුවෙක් හෝ ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් පැවරෙන වගකීම් මනාව ඉටු කරන අවිශ්ක, Jaffna කණ්ඩායම හා එක් වූ යොවුන් ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් ම සිටින ක්‍රීඩකයෙකි. 

තිළිණ කණ්ඩම්බි (පුහුණුකරු) 

38 හැවිරිදි තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 39කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට ද සහභාගී වී ඇති පෙර පෙළ වමත් පිතිකරුවෙකි. ප්‍රවේගවත් පිතිකරුවෙක් ලෙසින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන ඉනිම් කිහිපයක් ම ක්‍රීඩා කර ඇති කණ්ඩම්බි, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර පොකුරේ ක්‍රීඩකයෙක් ලෙසින් ද කටයුතු කරන අතර එස්. එස්. සී. කණ්ඩායමේ ද පුහුණුකරුවා ය.  

Jaffna Stallions කණ්ඩායමේ තරග කාලසටහන

නොවැම්බර් 27 GALLE GLADIATORS (රාත්‍රී)
නොවැම්බර් 30 DAMBULLA VIIKING (දිවා)
දෙසැම්බර් 01 KANDY TUSKERS (රාත්‍රී)
දෙසැම්බර් 03 GALLE GLADIATORS (දිවා)
දෙසැම්බර් 04 COLOMBO KINGS (රාත්‍රි)
දෙසැම්බර් 07 DAMBULLA VIIKING (රාත්‍රී)
දෙසැම්බර් 09 KANDY TUSKERS (දිවා)
දෙසැම්බර් 10 COLOMBO KINGS (දිවා)

 

Jaffna Stallions සංචිතය;

තිසර පෙරේරා (නායක) වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු,  චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, වයි. වියස්කාන්ත්, ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු, කනකරත්නම් කපිල්රාජ්, තේවෙන්දිරම් දිනෝෂාන්, සෙබස්තියන්පිලේලේයි විජෙයරාජ්

විදෙස් ක්‍රීඩකයන්; Shoaib Malik (පාකිස්තානය) Jhonson Charles (බටහිර ඉන්දීය කොදෙව්) Usman Shinwari (පාකිස්තානය) Kyle Abbott (දකුණු අප්‍රිකාව) Tom Moors (එංගලන්තය) Duanne Olivier (දකුණු අප්‍රිකාව)

පුහුණුකරුවන්; තිළිණ කණ්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු) මාරියෝ විල්ලවරායන් (වේගපන්දු පුහුණුකරු) සචිත් පතිරණ (දඟපන්දු පුහුණුකරු) විමුක්ති දේශප්‍රිය (පන්දු රැකීමේ පුහුණුකරු) 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

සියලුම ඡායාරූප Jaffna Stallion නිල Facebook පිටුවෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<

>>Video – Jaffna Stallions කණ්ඩායම LPL එකට වැඩ අල්ලයි<<