Galle Gladiators නායකයාට අකරතැබ්බයක්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

240

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමේ අරමුණින් පාකිස්තානයේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින Galle Gladiators කණ්ඩායමේ නිත්‍ය නායක Shahid Afridi හට මෙරටට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය මඟ හැරී තිබෙනවා. ඒ නිසාවෙන් ඔහුට අවම වශයෙන් LPL තරගාවලියේ පළමු තරග දෙක මඟ හැරී යනු ඇති බව වාර්තා වෙනවා.

Afridiගේ දියණියගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙරටට පැමිණීමට ප්‍රමාද වන බව ඔහු මීට පෙර නිල වශයෙන් දන්වා තිබුණා. කෙසේ නමුත් ඔහු අද උදෑසන පාකිස්තානයේ සිට මෙරටට පැමිණීමට සැලසුම් කර තිබූ නමුත් අනපේක්ෂිත ලෙස ඔහුට ඔහුගේ නියමිත ගුවන් යානය සඳහා ගොඩවීමට නොහැකි වූ බව සිය නිල Twitter ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියා.

“අද උදෑසන මම කොළඹට යන්න හිටපු ගුවන් යානය මට මඟ හැරුණා. දුක්වෙන්න කිසිම දෙයක් නැහැ. LPL තරගාවලියේ Galle Gladiators නියෝජනය කරන්නට මම ඉක්මනට එනවා. මගේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වීමට මම බලාපොරොත්තු වෙනවා” යැයි Shahid Afridi එම Twitter පණිවිඩයේ සඳහන් කර තිබුණා.

ඒ අනුව ඔහු හෙට (24) දිනයේ දී මෙරටට පැමිණීමට සූදානමින් සිටින අතර එහි දී ඔහු දින 3ක ස්වයං නිරෝධායනයට ලක්වීමට ද නියමිතයි. ඒ අනුව ඔහුට අවම වශයෙන් තරගාවලියේ මුල් තරග දෙක මඟ හැරී යනු ඇත. කෙසේ නමුත් Galle Gladiators උපනායක භානුක රාජපක්ෂ එම තරග දෙකේ දී Galle Gladiators කණ්ඩායම මෙහෙයවනු ඇත.

Moin Khan සහ Galle Gladiators කණ්ඩායමේ සෙසු විදෙස් ක්‍රීඩකයන් පසුගිය 19 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි අතර ඔවුන් සහ සෙසු ක්‍රීඩකයන් 17 දෙනෙකු මේ වන විට හම්බන්තොට Shangri-La හෝටලයේ නිරෝධායන කාලය අවසන් කර තිබෙනවා.

LPL තරගාවලියේ මුල්ම තරගය මේ මස 26 වැනිදා Colombo Kings සහ Kandy Tuskers අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු MyCola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<