Kandy Tuskers බලගන්වන්න තවත් තුරුම්පු දෙකක් ඇතුළට

ලංකා ප්‍රිමියර් ලීගය - Coverage powered by My Cola

1610
Two more players join Kandy Tuskers

තවත් දින 3කින් ආරම්භ වීමට නියමිතව තිබෙන ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) තරග වදිනු ලබන Kandy Tuskers සංචිතය වෙනුවෙන් වේගපන්දු යවන ශ්‍රී ලංකා ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ පා දඟපන්දු යවන කෙවින් කොත්තිගොඩ කැඳවා ඇත.

මේ ක්‍රීඩකයින් දෙදෙනාම පසුගිය දා අන්තර්ජාල දුරකථන වීඩියෝ සංවාදයක් හරහා පැවති ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීමේ දී (player draft) කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගත්තේ නැත. දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා සංචිතය තුල සිටින ක්‍රීඩකයින් 22 දෙදෙනා අතරින් LPL තරගාවලියේ සංචිතයක් තුල දැනට ඉඩක් වෙන්වී නොමැත්තේ දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න සහ සන්තුෂ් ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට පමණි.

තවත් ක්‍රිකට් පුවත්:

“විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතය සමඟ පල්ලෙකැලේ දී පුහුණුවීම් අවසන් කරමින් bio bubble එකක් තුල ඉඳලයි නැවත මේ bio bubble එක තුලට එන්නේ. ඒක නිසා ඔහුට කෙළින්ම මේ සංචිතය එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි කෙවින් කොත්තිගොඩව අපේ සංචිතයට ඇතුළත් කර ගන්න කලින් PCR පරීක්ෂණයක් කරලා ඔහුව දින 7ක නිරෝධායනයට යොමු කරන්න ඕන. ඒක අවසන් වුණායින් පස්සේ ඔහුට අපේ සංචිතයට ඇතුළත් වෙන්න පුළුවන්” යැයි Kandy Tuskers කණ්ඩායම් කළමනාකරු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ThePapare.com වෙත පවසා සිටියා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර එක් සංචිතයක් තුල රඳවා ගැනීමට අවසර ලබා දුන්නේ ක්‍රීඩකයින් 20 දෙනෙකු පමණක් වන නමුත් දැන් එම ක්‍රීඩකයින් ප්‍රමාණය 22 දක්වා වැඩි කර ගැනීමට අවසර ලබා දී තිබේ.

විශ්ව ප්‍රනාන්දුගේ සහෝදරයා වන දක්ෂ යොවුන් පිතිකරුවෙක් වන නුවනිඳු ප්‍රනාන්දු මෙවර LPL තරගාවලියේ දී Jaffna Stallions නියෝජනය කරන අතර මීට අමතරව LPL තරගාවලිය තුල සිටින අනෙක් සහෝදර යුගලය වන්නේ වනිඳු හසරංග ද සිල්වා සහ චතුරංග ද සිල්වා දෙදෙනායි. ඔවුන් දෙදෙනාම Jaffna Stallions සංචිතය තුල සිටියි.

කොත්තිගොඩ මීට පෙර 2019 වසරේ දී පැවති Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ දී Bangla Tigers කණ්ඩායම නියෝජනය කළ අතර එවැනි ආකාරයක ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ලීගයක් සඳහා ඉක්මනින්ම ඇතුළත් වීමට ඔහුගේ තිබෙන අමුතු පන්දු යැවීමේ ඉරියව්ව වැඩි හේතුවක් විය.

දැනට තිබෙන Kandy Tuskers සංචිතය,

කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, ලහිරු සමරකෝන්, චාමිකර එදිරිසිංහ, නිශාන් මදුෂ්ක, ඉශාන් ජයරත්න, විශ්ව ප්‍රනාන්දු, කෙවින් කොත්තිගොඩ, Dale Steyn, Brendon Taylor, Irfan Pathan, Naveen-ul-Haq, Rahmanullah Gurbaz, Munaf Patel  

LPL තරගාවලියේ මුල්ම තරගය මේ මස 26 වැනිදා Colombo Kings සහ Kandy Tuskers අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු MyCola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<