විවේචනවලට මාලිංගගෙන් සැර පිළිතුරක්!

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

1115

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ වසර 10ක ලීග් සිහිනය සැබෑකරමින් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් LPL තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 3ක් පමණි. 

වසර ගණනක ප්‍රයත්නයකින් අනතුරුව ආරම්භ වන මෙම තරගාවලිය සංවිධානය කිරීම කිසිසේත්ම පහසු කටයුත්තක් වූයේ නැත. කෙසේ වෙතත් සියලු බාධක මැදින් පැමිණි මේ තරගාවලිය ආරම්භ වීමට දැන් සියල්ල සූදානමින් පවතී. තරගාවලිය මේ වන විටත් පුවත් මවමින් තිබේ.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණේ පසුගිය මාසයේ දී ය. එහි දී Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා හෙවත් Marquee Player ලෙස ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග නම් කර තිබුණි. එහි නායකත්වය හිමි වූයේ ද ඔහුටය. කෙසේ වෙතත් තරගාවලියට දින කීපයක් ඉතිරිව තිබිය දී ලසිත් මාලිංග තමන් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. 

මෙම ප්‍රවෘත්තිය දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවල ද දැඩි අවධානයට යොමුව තිබුණි. කෙසේ වෙතත් ලසිත් මාලිංග තමන් මෙලෙස කණ්ඩායමෙන් ඉවත් වීමට හේතුව ලෙස දක්වා තිබුණේ පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබීමයි. 

ඉන් අනතුරුව බොහෝ මාධ්‍ය මාලිංගගේ මෙම තීරණය පිළිබඳව දැඩි ලෙස විවේචන එල්ල කළ අතර සමාජ මාධ්‍ය තුලින් ද ඔහුට දැඩි ලෙස අප්‍රසාදය පලකර තිබුණි. 

තවත් ක්‍රිකට් පුවත්: 

කෙසේ වෙතත් එම සියලු විවේචන හට පිළිතුරු ලබා දීමට මාලිංග එක්ව සිටියා. ඒ දෙරණ අරුණ පුවත්පත සමඟින් සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී අදහස් දක්වමින් මාලිංග පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට සහභාගි වීම යනු කඩෙන් පාන් ගෙඩියක් මිල දී ගැනීම තරම් සරලව තැකිය හැකි කරුණක් නොවන බවත්, මාස ගණනාවක් පුරා පුහුණුවීම් වලින් ඉවත්ව සිටි තමාට කෙටි කාලයකින් තරගයකට පැමිණීම කළ නොහැක්කක් බවත්ය.

“සමහරු අහන්න පුළුවන් අයියෝ ඕක මහ වැඩක් ද, මේ තරම් සෙල්ලම් කරපු කෙනෙක්ට තරගාවලියකට අමුතුවෙන් සූදානම් වෙන්න ඕනෙ ද කියලා. එහෙම කියන අය හිතන්නේ මේක කඩේට ගිහින් අම්මට පාන් ගෙඩියක් අරගෙන එනවා වගේ දෙයක් කියල වෙන්න ඇති. ඒත් මාස ගාණක පුහුණුවක් නැතිව නැතිව ඉඳලා මේක කරන්නේ බැහැ. එහෙම කරන්නේ කොහොමද? 

ගෙදර ජිම් එකේ පුහුණුවීම් කරපු පළියට තරගයක පන්දු යවන්න බැහැ. මම තරගයක දී එක යෝකර් එකක් දාන්න ඒ තරගයට කලින් බෝල් 1000ක් විතර දාලා පුහුණු වෙනවා. එහෙම නැතිව යෝකර් එකක් වැටෙන්නේ නැහැ, ඒක අහම්බයකින් නොවෙයි. ඒ පුහුණුවීම් නැතිව ඇවිත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යෝකර් එකක් දාගන්න බැරි වුනොත් මේ මිනිස්සුම කියනවා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නම් හොඳට යෝකර් දාන්න පුළුවන්, මේකෙදි තමයි මට ඒවා කරන්න බැරි කියලා. මේ කරන හැම දේකම ප්‍රායෝගික වටපිටාවක් තියනවා. ඒ ප්‍රායෝගික වටපිටාව බහුතරයකට තේරුම්ගන්න බැහැ.”

“එදා රෑ 12ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයක් ගහලා එදාම පාන්දර ලංකාවට ඇවිල්ලා, පහුවෙනිදා මෙහේ තියෙන තරගයත් මම සෙල්ලම් කළා. ඒක කරන්න පුළුවන් ඒ ශාරීරික යෝග්‍යතාව තියන කාලෙක දී. දැන් මාස 8කින් විතර අපි පුහුණුවීම් කරලා නැහැ. එහෙම ගොඩක් ගිහින් බෝලයක් දාන්නෙ කොහොමද? අපිට දේවල් කියන එක ලේසියි. නමුත් යම් දෙයක් කරන කෙනා තමයි ඒ දේ කරන එකේ සැබෑම වටපිටාව, ඒකේ අමාරුව  දන්නේ” මාලිංග එහි දී වැඩිදුරටත් පවසා සිටියා.

“මම ප්‍රාර්ථනා කරනවා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථක වෙන්න කියලා. මගේ කාලය දැන් ඉවර වේගෙන එන්නේ. මේක තමයි වෙලාව ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මූණු හොයාගන්න. මම ඕනැම වෙලාවක ඒකට උදව් කරන්න කැමතියි. මම LPL සෙල්ලම් කරන්නේ නැති එකට මට බනින මිනිස්සුම තමයි මම ලංකාවට විකට් ගද්දී චියර් කරන්නේ. අපි කොච්චර ජයග්‍රහණ ලබාගෙන තිබුනත් අපිට කවදාහරි විවේචන අහන්න වෙනවා. මම මගේ රට වෙනුවෙන් කරපු දේවල් ලෝකෙම දන්නවා. මට ආදරය කරන මිනිස්සුත් ඒක දන්නවා. මට ඒ ඇති.” 

ලසිත් මාලිංගගෙන් හිස්වූ නායකත්වයකට පාකිස්තාන සුපිරි ක්‍රීඩක Shahid Afridi නම් කිරීමට පසුගිය දා Galle Gladiators කණ්ඩායමේ හිමිකාරිත්වය තීරණය කර තිබුණි. 

එළඹෙන 26 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්. 

දෙරණ අරුණ පුවත්පත ලසිත් මාලිංග සමඟින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<