එක්ව ඉදිරියට යන දසුන්ගේ Dambulla Viiking බලකාය

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

371

තෙලිඟු සහ හින්දි සිනමාවේ දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ රංගන ශිල්පියෙක් ලෙසින් කටයුතු කරන 36 හැවිරිදි සචින් ජෝශි Dambulla Viiking කණ්ඩායමේ හිමිකරු වන අතර කණ්ඩායමේ නායකයා ලෙසින් නම් කෙරුණේ ශ්‍රී ලංකාවේ යෞවනයන් අතර ජනප්‍රිය චරිතයක් වූ දසුන් ශානක ය. 

දඹුලු කණ්ඩායම වරෙක Dambulla Hawks ලෙසිනුත් තවත් වරෙක Dambulla Lions ලෙසිනුත් නම් ලැබ තිබුණි. නමුත් අවසාන ගැනුම්කරු වූ සචින් ජෝශිගේ Viiking Ventures UK සමාගම විසින් කණ්ඩායම මිල දී ගැනීමත් සමඟින් කණ්ඩායමේ නම Dambulla Viiking ලෙසින් වෙනස් කෙරුණි. 

පාකිස්තානයේ ඉපදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයෙන් ම ජාත්‍යන්තර තරගවලට සහභාගී වූ ඔවයිෂ් ෂා දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු ය. ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරන අවදියේ දී ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කිහිපයකට ම තම දක්ෂතා මුහු කළ ෂා අනතුරුව පුහුණුකරුවෙක් ලෙසින් එක්සත් එමීර් රාජ්‍ය ජාතික කණ්ඩායම හා එක් විය. 

>> දඹුල්ල කණ්ඩායම පුහුණුවීම් අතරතුර <<

තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම් අතරින් ක්‍රීඩකයන් හැර යෑමේ දී වඩාත් අපහසුතාවට පත් වෙන්නේ Dambulla Viiking කණ්ඩායම ය. ඒ අතර ප්‍රමුඛයෙන් කියැවෙන තැනැත්තා වන්නේ කණ්ඩායමේ සුපිරි විදෙස් ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් ය. ඔහු එළඹෙන එංගලන්ත සංචාරයට නම් කිරීමත් සමඟ දඹුලු කණ්ඩායමෙන් ඉවත් විය. ඒ වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රෙන්ඩන් ටේලර් කැඳවීමට ඔවුන් කළ උත්සාහය ද සාර්ථක වූයේ නැත.  

ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස හිටපු නායක චාලස් බ්‍රාත්වෙයිට් ද එංගලන්තයේ බිග් බැග් තරගාවලියේ සිඩ්නි සික්සස් කණ්ඩායම හා ගිවිස ගැනීම හේතුවෙන් කණ්ඩායම හැර ගියේ ය. ඔහුගේ තැනට තවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් වූ ලෙන්ඩ්ල් සීමන්ස් එක් කර ගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්වය උත්සාහ කළ ද එය ද සාර්ථක වූයේ නැත. 

Dambulla Viiking සමඟ එක් වීමට සිටි පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සොහයිබ් මක්සූඩ් සහ කම්රන් අක්මාල් ද එක් වීමට සිටිය ද ඔවුන් ද මේ තරගාවලිය මඟ හැරිය හ. 

එසේ වුවත් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් එංගලන්තයේ 35 හැවිරිදි සමිට් පටෙල්, අයර්ලන්ත ජාතික 30 හැවිරිදි පෝල් ස්ට්‍රිංග්, ඇෆ්ගනිස්ථානයේ 28 හැවිරිදි අෆ්ටාබ් අලාම් සහ 35 හැවිරිදි සමිඋල්ලා ශින්වාරි, පාකිස්තානයේ 33 හැවිරිදි අන්වර් අලි සහ ඉන්දියාවේ 33 හැවිරිදි සුදීප් ත්‍යාගි ද විදෙස් ක්‍රීඩකයන් ලෙසින් එක් කර ගනිමින් තම කණ්ඩායම ශක්තිමත් ව පෙළ ගැස්වීමට Dambulla Viiking කණ්ඩායමේ කළමණකාරීත්වය කටයුතු කළේ ය.  

  • දසුන් ශානක (නායක)

29 හැවිරිදි දසුන් ශානකට Dambulla Viiking කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ තරගාවලියට දිනක් තිබිය දී වීම විශේෂ වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින තරග 22කට සහ විස්සයි විස්ස තරග 40කට ක්‍රීඩා කර ඇති මේ තුන් ඉරියව් ක්‍රීඩකයා වඩාත් කතා බහට ලක්වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ අංක 1ට ශ්‍රේණිතව සිටි පාකිස්තානය එරට දී ම 3-0ක් ලෙස පරාජය කිරීමට නායකත්වය දෙමින් දැක්වූ දක්ෂතාව හේතුවෙනි. යොවුන් ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස එකලස් කිරීමේ දක්ෂතා මෙහි දී අගය කිරීම කැපී පෙණුනි. 

දසුන් මුහුණ දුන් අවසන් තරග 10 දී ඉනිම් 14ක දී ශතක 3ක් සමඟින් ලකුණු 570ක් ලබා ඇති අතර සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 93කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1846ක් ලබා ඇත. ලබා ඇති කඩුලු සංඛ්‍යාව 23කි. 

“හොඳ කණ්ඩායමක් ලැබිලා තිබෙනවා. ඒ ගැන සතුටුයි. දක්ෂතා තිබෙන යොවුන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම කණ්ඩායමේ ඉන්නවා. ඔවුන්ට වගේම අපටත් මේ තරගාවලිය විශේෂ වැදගත්කමක් එක් කරනවා. කාලයකට පසු අපිට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ එකතු වෙන්න ලැබිලා තිබෙනවා. තරගාවලියේ විශේෂ යමක් කරන්න අපේ කණ්ඩායමට හැකි වේවි. ඒ වගේ ම තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා” දසුන් ශානක තරගාවලිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත පවසා තිබුණි. 

  • උපුල් තරංග

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සහ නායකයෙක් ලෙසින් උපුල් තරංග  Dambulla Viiking නියෝජනය කරයි. ටෙස්ට් ශතක 3ක් සහ එක්දින ජාත්‍යන්තර ශතක 15ක් තම පිතිකරු ගිණුමේ තැන්පත් කරගෙන සිටින උපුල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හිමි වෙන්නේ සුවිශේෂී තැනකි. ආරම්භක පිතිකරුවෙක් ලෙසින් මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය එක්ව පෑ දක්ෂතා තවමත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ නොමැකි තිබෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුල්ලක සබඳතාව ලකුණු 200කට වැඩියෙන් අවස්ථා 7ක දී වාර්තා කිරීමට උපුල්ට හැකිවෙන අතර එය දෙවැනි වැන්නේ රිකී පොන්ටින්ට පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වැඩිම ලකුණුලාභියා ලෙසින් ජයසූරිය ලකුණු 189ක් වාර්තා කරද්දී එහි දෙවැනි තැන උපුල් ලබා ගන්නේ නොදැවී ලකුණු 174ක් රැස් කරමිනි. එමෙන් ම එක්දින ලකුණු 4000ක් ඉක්මවූ වේගවත් ම ක්‍රීඩකයා වන්නේ ද උපුල් ය. ඒ ඉනිම් 119ක දී ය. 

මේ දක්ෂතාත් සමගින් පළමු පෙළ තරග 155ක දී ශතක 24ක් සමඟින් ලකුණු 9637ක් වාර්තා කරන උපුල් ඕනෑම ආකාරයේ විස්සයි විස්ස තරග 117කට මුහුණ දෙමින් ශතක දෙකක් සහ අර්ධ ශතක 18ක් ද සමඟින් ලකුණු 3188ක් ලබා ඇත. කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු තබා තිබෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වන්නේ උපුල් තරංග ය.  

  • පෝල් ස්ට්‍රිංග් (Paul String)

අයර්ලන්තය නියෝජනය කරමින් මීට දශකයට එපිට පෑ දක්ෂතා හේතුවෙන් 2010 වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙසත් සහ Associate and Affiliate ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අගයනු ලැබූ පෝල් ස්ට්‍රිංග්, එංගලන්තයේ Northamptonshire ප්‍රාන්ත Vitality T20 ක්‍රිකට් තරගාවලියේ සහ අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය එක්ව සංවිධානය කරන EURO T20 Slams තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරන්නේ ය. එ

මෙන් ම ඔහු ඇෆ්ගනිස්තාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ද සහ දකුණු අප්‍රිකාවේ Mzansi  සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කරමින් එහි අත්දැකීම් ද සමඟින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වෙන ප්‍රවේගවත් පිතිකරුවෙකි. 

30 හැවිරිදි වියේ පසුවෙන පෝල් අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාතික කණ්ඩායම්වල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. එමෙන් ම සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 228කට සහභාගී වී ඇති පෝල් පිතිකරුවෙක් ලෙසින් ලකුණු 5746ක් සහ කඩුලු 72ක් ලබා ඇති ක්‍රීඩකයෙකි. 

  • නිරෝෂන් දික්වැල්ල

2016-17 Dialog  සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නා නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නෙක් ලෙසත් සහ ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසත් දක්ෂතා දක්වයි. 27 හැවිරිදි දික්වැල්ල කඩුල්ල පිටුපස සිටිමින් ක්‍රීඩකයන් පෙළ ගැස්වීමේ දී වැදගත් මෙහෙවරක් කරන ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රසිද්ධ ය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේ දී ම දක්ෂතා දක්වා ඇති දික්වැල්ල පළමු පෙළ තරග 99ක දී ලකුණු 5820ක් රැස් කරගෙන ඇත්තේ ශතක 11ක් සහ අර්ධ ශතක 33ක් ද තම ගිණුමට එක්කර ගනිමිනි. ඕනැම ආකාරයේ විස්සයි විස්ස තරග 65කට සහභාගී වී ඇති දික්වැල්ල එහි දි අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 1124ක් ලබා ඇති අතර දවා ගැනීම් 54කට දායකත්වය දී ඇත. 

LPL තතුවිත්ති:

සංචිතයේ සංකලනය

කණ්ඩායමේ සංයුතිය ගැලපීමේ දී ඉහත සඳහන් කිහිප දෙනාට අමතර ව දේශීය පිතිකරුවන් 6 දෙනෙක් ඇතුළත් කර ඇත. ඉන් 28 හැවිරිදි ඔෂධ ප්‍රනාන්දුට පළමු තැන හිමිව ඇති අතර 30 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා දෙවැනි තැනට ඇතුළත් කර ඇත. 

ඊට අමතරව  27 හැවිරිදි පුලින තරංගට ද එහි විශේෂ තැනක් ලබා දී ඇත. නමුත් පුලින අවශ්‍ය විටක දඟපන්දු යවන්නෙක් ලෙසින් ද යොදා ගත හැකිය. කණ්ඩායමේ ළාබාලයන් වන 19 හැවිරිදි කවිඳු නදීශාන් සහ 22 හැවිරිදි අශේන් බණ්ඩාර පිතිකරු ලැයිස්තුවට නම් කර තිබුණ ද ඔවුන් ද දේශීය පිටියේ දක්ෂතා දැක්වූ දඟපන්දු යවන්නෝ ය. 

කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරට 25 හැවිරිදි රමේෂ් මෙන්ඩිස් සහ 28 හැවිරිදි ලහිරු මධුශංක නම් කර ඇත. මේ අතුරින් රමේෂ් නිමා වූ පළමු පෙළ තරගාවලියේ දී ත්‍රිත්ව ශතකයක් රැස් කරමින් කාගේත් අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකි. 

වේගපන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමේ විශ්වාස දිනා ඇති දේශීය ක්‍රීඩකයන් වන්නේ 27 හැවිරිදි කසුන් රාජිත සහ 23 හැවිරිදි ලහිරු කුමාර ය. ඔවුන්ට අමතරව යොවුන් ක්‍රීඩක 20 හැවිරිදි ඩිල්ශාන් මධුශංක ද වේ. දකුණත් පා දඟපන්දු යවන්නෙක් වන 22 හැවිරිදි සචිඳු කොළඹගේ ද  Dambulla Viiking කණ්ඩායම බලගන්වන ක්‍රීඩකයෝ ය. 

ඔවුන්ට අමතරව කණ්ඩායමට එක් වූ අවසන් ක්‍රීඩකයා වූ 33 හැවිරිදි වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර එහි ප්‍රධාන සෙන්පතියෙක් වනු නොඅනුමාන ය. 

Dambulla Viiking කණ්ඩායමේ තරග කාලසටහන

දිනය ප්‍රතිවාදි කණ්ඩායම වේලාව
නොවැම්බර් 28 Kandy Tuskers සවස 3.30
නොවැම්බර් 30  Jaffna Stallions සවස 3.30
දෙසැම්බර් 01  Colombo Kings සවස 3.30
දෙසැම්බර් 03  Kandy Tuskers රාත්‍රී 7.30
දෙසැම්බර් 05 Galle Gladiators සවස 3.30
දෙසැම්බර් 07 Jaffna Stallions රාත්‍රී 7.30
දෙසැම්බර් 09 Galle Gladiators රාත්‍රී 7.30
දෙසැම්බර් 11 Colombo Kings රාත්‍රී 7.30

Dambulla Viiking සංචිතය

දසුන් ශානක (නායක) නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) ලහිරු කුමාර, ඔෂද ප්‍රනාන්දු, කසුන් රාජිත, ලහිරු මධුශංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, මාලින්ද පුෂ්පකුමාර, අශේන් බණ්ඩාර, ඩිල්ශාන් මධුශංක, කවිඳු නදීශාන්, සචිඳු කොළඹගේ

විදෙස් ක්‍රීඩකයන්; 

Paul Stirling (අයර්ලන්තය) Samit Patel (එංගලන්තය) Samiullah Shinwari (ඇෆ්ගනිස්තානය) Sudeep Tyagi (ඉන්දියාව)Aftab Alam (ඇෆ්ගනිස්තානය) Anwar Ali (පාකිස්තානය)

නිලධාරීන්

සචින් ජෝශි (හිමිකරු) ඔවයිස් ෂා (ප්‍රධාන පුහුණුකරු)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<