කප්පිත්තන් නොමැතිව සටනට එන Galle Gladiatorsලා

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

783

දකුණු පළාතේ අගනගරය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩිගේ නායකත්වයෙන් යුත් Galle Gladiators කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුවිශේෂී වෙනසක් කරනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායමකි. 

කණ්ඩායමේ හිමිකාරිත්වය පාකිස්තානයේ ඕමාර් සමාගම් සමූහයේ හිමිකරු නදීම් ඕමාර් සතු ය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් මිල දී ගැනීමේ දී පළමුවෙන් ම ඉදිරිපත් වූයේ ඕමාර් වීම ද කැපී පෙණේ. ඔහු පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගමාලාවේ  2016 සහ 2017 ආරම්භක තරගාවලි ද්විත්වයේ අනුශූරයන් වූ සහ 2019 වසරේ ශූරයන් වූ Quetta Gladiators කණ්ඩායමේ ද හිමිකරු ය. 

Quetta Gladiators කණ්ඩායම 2020 තරගාවලියේ දී හිමිකර ගත්තේ 5 වැනි ස්ථානය ය. කෙසේ වෙතත් එම කණ්ඩායමේ පුහුණුකරු වන පාකිස්තානයේ හිටපු කඩුලු රැකි ක්‍රීඩක මොයින් ඛාන් ගාලු කණ්ඩායමේ ද පුහුණුකරු ලෙසින් එක්කර ගැනීමට ඔවුන් කටයුතු කර ඇත. එමෙන් ම එම කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩකයෙක් ලෙසින් ද්විත්ව චරිතයක කටයුතු කළ  පාකිස්තානයේ අසාම් ඛාන් මෙම කණ්ඩායමේ ද එම තනතුරු ම හිමිකර දී ඇති අතර තරගාවලිය නියෝජනය කළ අශාන් අලි සහ අබ්දුල් නසීර් ද මෙරට රැගෙන ඒමට ඔවුන් සමත් ව සිටී.  

කණ්ඩායමේ උපදේශක ලෙස පත්කර ඇත්තේ තවත් පාකිස්තාන ක්‍රිකට් විරුවෙක් වන වසීම් අක්‍රම් ය. 

කණ්ඩායම් වෙන්දේසියේ දී ගාලු කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග වෙන්දේසි වූව ද ඔහු අවසන් මොහොතේ දී පුහුණුව මදිකම හේතු ලෙස දක්වමින් තරගාවලියෙන් ඉවත් විය. එය Galle Gladiatorsලාට ප්‍රබල පාඩුවක් විය. එම අවස්ථාවේ දී කණ්ඩායම් කළමනාකාරිත්වයේ තීරණය වූයේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා වූ සහීඩ් අෆ්රිඩීට නායකත්වයේ කිරුළ ලබා දීමට ය. 

නමුත් අෆ්රිඩිට තම කණ්ඩායමේ පළමු තරග ද්විත්වය අහිමි වෙනු ඇති බවයි මේ වන විට ආරංචිය. ඒ මෙරටට පැමිණීමට අපේක්ෂිතව සිටි ගුවන් යානය මඟ හැරීම හේතුවෙන් ඔහුගේ ගමන පමා වූ බැවින් ය. මෙරට පවතින සෞඛ්‍ය නිති අනුව අෆ්රිඩීට මෙරට පැමිණීමෙන් පසු දින 7ක නිරෝධායන කාලයක් ද ගත කළ යුතුය.

Video – “Malinga should play the LPL for the sake of Sri Lankan Cricket ” – Moin Khan

ඒ හේතුවෙන් Galle Gladiatorsලාට තරගාවලියේ පළමු තරග දෙකට සහභාගි වීමට සිදු වෙන්නේ හිටපු කප්පිත්තා වූ ලසිත් මාලිංග මෙන් ම පත් කරන ලද කප්පිත්තා සහීඩ් අෆ්රිඩී ද නොමැතිව ය. ඒ අනුව කණ්ඩායමේ උප නායකත්වයට නම් කර ඇති භානුක රාජපක්ෂට ආරම්භක තරග මෙහෙයවීමේ භාග්‍යය හිමි වෙනු ඇත. 

කෙසේ වෙතත් තරගාවලිය වෙන්දේසියේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්‍රම් ඇතුලත්ව සිටිය ද එංගලන්ත තරග සංචාරය හේතුවෙන් ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතහැර දැමුවේ ය. ඊට අමතර ව පාකිස්තාන ක්‍රීඩක සර්ෆාස් අහමඩ් ද තරගාවලියට නම් කර සිටි අතර ඔහු පෞද්ගලික හේතුවක් මත මෙරට පැමිණීම ප්‍රතික්ෂේප කළේය. 

මේ සියලු දේවල් සමග කණ්ඩායමට එක් වූ  අවසන් ක්‍රීඩකයා වූයේ පාකිස්තානය වෙනුවෙන් එක ම එක් විස්සයි විස්ස තරගයක් පමණක් ක්‍රීඩා කරමින් නිමා වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Karachi Kings කණ්ඩායම නියෝජනය කරමින් තරග 3ක දී කඩුලු 6ක් දවා ගත් 33 හැවිරිදි වමතින් වේගපන්දු යවන වකාස් මක්සූඩ් ය. 

සහීඩ් අෆ්රිඩි (නායක)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී බෙන්තර ගඟෙන් මෙපිට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සඵල කරනු ලබන ප්‍රධාන ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ සහිඩ් අෆ්රිඩී ය. 

40 වැනි වියේ පසුවෙන සහීඩ් අෆ්රිඩී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක්වෙන්නේ ලොව එක්දින තරග ඉතිහාසයේ දී පන්දු 37කින් ශතකයක් රැස් කරමින් ලොව වේගවත් ම ශතකයේ සහ එක්දින තරග ඉතිහාසයේ හයේ පහර 351ක් එල්ල කරමින් වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා යන වාර්තා ද්විත්වයේ හිමිකාරිත්වය දරා ගනිමිනි. එමෙන් ම විස්සයි විස්ස තරග ඉතිහාසයේ 2009 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ද වෙමින් එම දක්ෂතාව කළ ලොව එකම ක්‍රීඩකයා ලෙසින් ද අෆ්රිඩී ඉතිහාසයට එක් ව ඇත. 

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේ දී ම අසූ දෙවතාවක් (82)  නායකත්වයේ කටයුතු කර ඇති අෆ්රිඩී ඉන් තරග 38ක ජයග්‍රහණය තම රට වෙනුවෙන් ලබා දී ඇත. පාකිස්තාන ජාත්‍යන්තර තරග පිටියෙන් 2018 වසරේ දී සමු ගන්නා විට ටෙස්ට් තරග 27කට, එක්දින ජාත්‍යන්තර තරග 398කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 99කට මුහුණ දෙමින් ජාත්‍යන්තර ලකුණු 11296ක් වාර්තා කර ඇති අෆ්රිඩී ලබා ඇති කඩුලු ප්‍රමාණය 541කි. 

සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 319කට මුහුණ දී ඇති අෆ්රිඩී දකුණත් පිතිකරුවෙක් ලෙසින් ඉනිම 273ක දී පිටියට පිවිසෙමින් ශතකයක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 4322ක් ලබා ගෙන ඇත. දකුණතින් පා දඟපන්දු යවන්නෙක් ලෙසින් ද වැදගත් මෙහෙවරක් කරන අෆ්රිඩී එම තරග ප්‍රමාණයෙන් ඉනිම් 313ක දී පමණක් පන්දු යවමින් ලබා ඇති කඩුලු ප්‍රමාණය 342කි. 

භානුක රාජපක්ෂ

කණ්ඩායමේ උපනායකත්වයට පත් කෙරුණ භානුක රාජපක්ෂ ප්‍රහාරාත්මක ඉදිරිපෙළ වමත් පිතිකරුවෙක් ලෙසින් ප්‍රචලිත ය.  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 7කට සහභාගී වී ඇති භානුක ලබා ඇති ලකුණු ප්‍රමාණය අර්ධ ශතකයක් ද සමඟින් 140කි. එමෙන්ම පළමු පෙළ තරග 77ක රැස් කරන ලකුණු 4087ක් ද, සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 68ක ලකුණු 1341ක් ද ඔහු සතු ය. 

මෙරට පිටියේ භානුකගේ හොඳම ඉනිම බවට පත්ව ඇත්තේ පළමු පෙළ 2019 ක්‍රිකට් තරගාවලියේ දී පන්දු 173ක දී හතරේ පහර 22ක් සහ හයේ පහර 19ක් සමඟින් ලබා ගත් ලකුණු 268 ය.

ධනුෂ්ක ගුණතිලක

29 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකි. ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට, එක්දින ජාත්‍යන්තර තරග 38කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 24කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙකි. එමෙන්ම මෙතෙක් සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 82කට ක්‍රීඩා කර ඇති ධනුෂ්ක වමත් පිතිකරුවෙක් ලෙසින් ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු1820ක් ද, දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 30ක් ද දවාගෙන ඇත. 

ෂෙහාන් ජයසූරිය

තම මංගල ජාත්‍යන්තර කඩුල්ල ලෙසින් ගාලු නායක සහිඩ් අෆ්රීඩීගේ කඩුල්ල ලබා ගත් ෂෙහාන් ජයසූරිය ඔහුගේම කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෙක් ලෙසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියට පිවිසීමට නියමිත ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18කට සහභාගී වී ඇති ජයසූරිය විශ්වාසවන්ත ඉදිරිපෙළ වමත් පිතිකරුවෙක් ලෙසින් වර්ගිකරණයට ලක්ව ඇත. 

පළමු පෙළ තරග 80කට සහභාගී වී ඇති ෂෙහාන් ද්විත්ව ශතකයක් ද එකතුව ශතක 11ක් සමඟින් ලකුණු 5431ක් ද දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 193ක් ද මේ වන විට ලබා සිටි. සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 78කට සහභාගී වී ඇති ජයසූරිය ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1610ක් ද සහ කඩුලු 49ක් ද ලබා ඇත. 

අකිල ධනංජය

27 හැවිරිදි අකිල, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට, එක්දින තරග 36කට සහ විස්සයි විස්ස තරග 22කට ක්‍රීඩා කරමින් එම තරග ත්‍රිත්වයේ දී ම කඩුලු 106ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වු දඟපන්දු යවන්නෙකි. ඒ දක්ෂතා හේතුවෙන් ම ඔහුට ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2013 වසරේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සහ 2018 වසරේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද සාමාජිකත්වය ලැබීමට වාසනාවන්ත විය. 

අවස්ථා කිහිපයක දී ම පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා ලැබු අකිල මේ වන විට ඒ සියලු චෝදනාවලින් නිදහස් ව සිටී. සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 71කට සහභාගී වී ඇති අකිල ලබා ඇති කඩුලු සංඛ්‍යාව 85කි. අවශ්‍ය අවස්ථාවක දි පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්විය හැකි බැවින් ගාලු කණ්ඩායමට අකිල මහඟු සම්පතකි. 

LPL තතුවිත්ති:

සංචිතයේ සංයුතිය

විදෙස් ක්‍රීඩකයන් 8 දෙනෙක්ගෙන් සැදුම්ලත් Galle Gladiators කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් ඉහත සඳහන් කළ ක්‍රීඩකයන්ට අමතරව මිලින්ද සිරිවර්ධන, චානක රුවන්සිරි, ධනංජය ලක්ෂාන් සහ දුවිඳු තිලකරත්න  ඇතුලත්ව සිටි. පිතිකරුවන් ලෙසින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක හස්රතුල්ලා සසායි, පාකිස්තානයේ අශාන් අලි සහ සහන් ආරච්චිගේ නම් කර ඇත. 

කඩුලු රකින්නන් දෙදෙනෙක් කණ්ඩායමට නම් කර ඇති අතර ඊට අයත් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ජාතික චඩ්වික් වොල්ටන් සහ පාකිස්තානයේ අසාම් ඛාන් ය. 

පන්දු යවන්නන් අතුරින් ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසින් නම් කර ඇත්තේ ලක්ෂාන් සඳකැන් ය. ඔහුට අමතරව වේගපන්දු යවන්නන් ලෙසින් කටයුතු කරන අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස් සහ ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වෙන් පන්දු යවන  නුවන් තුෂාර ද මෙරට වෙනුවෙන් නම් කර ඇත. පාකිස්තානයේ මොහොමඩ් අමීර් සහ වකාස් මක්සූඩ් වමතින් වේගපන්දු යවන්නෝ ය. 

Galle Gladiators කණ්ඩායමේ තරග කාලසටහන

දිනය ප්‍රතිවාදී කණ්ඩායම වේලාව
නොවැම්බර් 27 Jaffna Stallions රාත්‍රී 7.30
නොවැම්බර් 28 Colombo Kings රාත්‍රී 7.30
නොවැම්බර් 30 Kandy Tuskers රාත්‍රී 7.30
දෙසැම්බර් 03 Jaffna Stallions සවස 3.30
දෙසැම්බර් 05 Dambulla Hawks සවස 3.30
දෙසැම්බර් 07 Colombo Kings සවස 3.30
දෙසැම්බර් 09 Dambulla Hawks රාත්‍රී 7.30
දෙසැම්බර් 10 Kandy Tuskers රාත්‍රී 7.30

Galle Gladiators සංචිතය;

භානුක රාජපක්ෂ (උපනායක) ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිඳු තිලකරත්න

විදෙස් ක්‍රීඩකයන්; 

Shahid Afridi (නායක – පාකිස්තානය) Ashan Ali (පාකිස්තානය) Chadwick Walton (බටහිර ඉන්දීය කොදෙව්) Azam Khan (පාකිස්තානය) Mohammed Amir (පාකිස්තානය) Hazrathullah Zazai (ඇෆ්ගනිස්තානය)Waqas Maqsood (පාකිස්තානය)Abdul Nasir (පාකිස්තානය)

කළමනාකරුවන් සහ සහායක කණ්ඩායම;

නදීම් ඕමාර් (හිමිකරු) සහීර් අබ්බාස් (සභාපති) මොයින් ඛාන් (පුහුණුකරු) වසීම් අක්‍රම් (උපදේශක) අසාම් ඛාන් (කළමණාකරු)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැදී සිටින්න ThePapare.com සමග

(ඡායාරූප Galle Gladiators කණ්ඩායමේ නිල FB පිටුවෙනි.)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<