ඇන්ජලෝ සමඟ රජ වෙන්නට යන Colombo Kings

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

376

ශ්‍රි ලංකාවේ අගනගරය කේන්ද්‍රකර ගනිමින් නම් තැබුණ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් Colombo Kings කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වෙන්නේ Let’s Rule හෙවත් රජ වීමට යමු යන්න තම තේමා පාඨය කර ගනිමිනි. 

කණ්ඩායමේ හිමිකාරිත්වය FAZA Group නමැති ඩුබායි නගරය කේන්ද්‍රකරගත් ඉන්දීය සමාගම සතු ය. එහි හිමිකරු වන්නේ මුර්ෆාඩ් මුස්තාෆා ය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වන්නේ කේ. ගණපති ය. 

කණ්ඩායම නම් කිරීමේ දී ම ප්‍රධාන පුහුණුකරු ලෙසින් කාලයක් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙසින් ද සේවය කළ ඩේව් වට්මෝර් නම් කෙරුණ ද, ඔහු තරගාවලියට සති දෙකක පමණ කාලයක් තිබිය දී පෞද්ගලික හේතුවක් මත ඉන් ඉවත් විය. ඒ වෙනුවෙන් පත් කරනු ලැබුවේ එංගලන්ත ජාතික කබීර් අලි ය. තරගාවලියට එක්වීමට දින කිහිපයක් තිබිය දී කබීර් අලීට කොරෝනා වයිරස තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් ඔහු ද තරගාවලියෙන් හැලි ගියේ ය. 

ඒ අතර තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරක කණ්ඩායමට ඇතුළත් ව සිටි දකුණු අප්‍රිකානු ජාතික හර්ෂල් ගිබ්ස් මෙරටට පැමිණෙමින් සිටි අතර කණ්ඩායම් කළමනාකාරිත්වයේ ආරාධනාව මත ගිබ්ස් මයික් එක අතහැර පුහුණුකාර ධුරයට පත් විය. 

කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් සහ සහාය පුහුණුකරු ලෙසින් පත්වීම් ලැබ සිටි චමින්ද වාස් ද පෞද්ගලික හේතුවක් මත කණ්ඩායම හැර ගියේය. ඒ වෙනුවට සහාය පුහුණුකරු ලෙසින් කණ්ඩායමට කැඳවූයේ රංගන හේරත් ය. 

ආරම්භයේ දී ම කණ්ඩායම හා එක්වීමට සිටි දකුණු අප්‍රිකාවේ හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස්, එංගලන්ත තරග සංචාරය හේතුවෙන් ද, පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හෆීස් නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් ද සහ ඉන්දියන් ක්‍රීඩක මන්වින්ද්‍ර බිස්ලා මෙරට පැවතෙන නිරෝධායන නීතීන් හා එකඟ නොවීම හේතුවෙන් ද තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කළමනාකාරිත්වයට වෙනත් ක්‍රීඩකයන් සොයා යෑමට සිදු විය.   

Video – “I boarded the plane as a commentator and got off as a coach” – Gibbs

Colombo Kings තවත් අවස්ථාවක අමාරුවේ වැටුණේ මෙරටට පැමිණි කැනඩා ක්‍රීඩක රවින්ද්‍රපාල් සිං කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී සිදු කළ PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ ය. ඔහු සමඟ එම ගුවන් යානයේ ම කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ රසල් ද වූ අතර මේ දෙදෙනා ම නිරෝධායනයට යොමු කෙරුණි. 

මොවුන් සම්බන්ධයෙන් හම්බන්තොටින් පැමිණෙන ආරංචි මාර්ග පවසන්නේ ඇන්ඩෘ රසල්ගේ තත්ත්වය යහපත් බැවින් ඔහු තරගාවලියේ අතරමැද දී කණ්ඩායමට එක් වෙනු ඇති බවයි. නමුත් රවින්ද්‍රපාල් සිංට ඇතැම් විට තරගාවලිය මඟ හැරෙනු ඇතැයි පැවසෙයි. 

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා වෙනුවෙන් කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් 36 හැවිරිදි ඇෆ්ගනිස්තාන ක්‍රීඩක කරීම් සාදික් සහ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කැඳවන ලදි. 

එක්දින තරග 24කට සහ විස්සයි විස්ස තරග 36කට ක්‍රීඩා කර ඇති කරීම් 2018 වසරේ සිට ඇෆ්ගන් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කර නැත. නමුත් පසුගිය දා එරට දී නිමා වූ Shpageeza Cricket League තරගාවලියේ දී Speen Ghar Tigers කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළේ ඔහු ය. එම තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කර ඇති කරීම් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 67ක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 6කි.  

කොළඹ කණ්ඩායම හා එක්වෙන විදෙස් ක්‍රීඩකයන් අතරට මෙතෙක් එංගලන්තයේ ජාතික වරම් දිනා නැති ඩැනියෙල් බෙල් සහ ලොව්රි ඊවන්ට් ද කැඳවා තිබීම විශේෂ වේ. 

කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වන 18 හැවිරිදි නවෝද් පරණවිතාන තරගාවලියට නම් කරන ලද ක්‍රීඩකයන් අතුරින් ද ළාබාලතමයා ද වේ.

ඇන්ජලෝ මැතිව්ස් 

33 වියැති ඇන්ජලෝ මැතිව්ස් 2008 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකීය ජාතික ක්‍රිකට් පිටියේ රැඳී සිටින ඉහළ සන්නාමයක් හිමි කරගත් ක්‍රීඩකයෙකි. ඔහු 2015 වසරේ දී මෙරට පැවති Dialog ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා, ටෙස්ට් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ එක්දින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් එකම සම්මාන උළෙලක දී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ ක්‍රීඩකයා ය. එමෙන්ම එම වසරේ දී ම Wisden Cricketer of the Year සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. 

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම් මෙහෙයවා ඇති ඇන්ජලෝ 2014 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකයෙකි. එමෙන් ම 2009 සහ 2012 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් හි අවසන් මහට තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්වල ද සහ 2011 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම ද නියෝජනය කළේ ය. 

ලොව ප්‍රබල ලීග් තරගාවලිවල දී මැතිව්ස් කොල්කටා නයිට් රයිඩර්ස්, පූනේ වොරියර්ස් ඉන්දියා, දිල්ලි ඩෙයාඩෙවිල්ස් සහ ලාහෝර් ක්වැලැන්ඩර්ස් යන කණ්ඩායම් නියෝජනය කළේ ය. ඒ ආකාරයේ මෙතෙක් විස්සයි විස්ස තරග 156කට සහභාගී වී ඇති ඇන්ජලෝ ඉනිම් 133ක දී ලකුණු 2499ක් ද, ඉනිම් 120ක දී පන්දු යවමින් කඩුලු 80ක් ද දවාගෙන ඇත. 

“පවතින තත්ත්වයේ වුවත් හොඳින් පුහුණුවිම් කටයුතු කරගෙන ගියා. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල අත්වැලක් වේවි. හැම රටකම ලීග් තරගාවලි තිබෙනවා. මේ තරගාවලිය අපේ ළාබාල ක්‍රීඩකයන්ට  සහ සියලුම ක්‍රීඩකයන්ට ලොකු අවස්ථාවක්. අත්දැකීම් බහුල ක්‍රීඩකයන්, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ගේ සහයෝගය ලබා ගෙන ක්‍රීඩා කරන්න, අදහස් සහ අත්දැකීම් බෙදා ගනිමින් ක්‍රීඩා කරන්න හැකි වේවි. ඒක කලාතුරකින් ලැබෙන දෙයක්. මට හොඳ කණ්ඩායමක් ලැබිල තිබෙනවා. තරගාවලියට සහභාගී වෙන සියලුම කණ්ඩායම් ඉතා හොඳ තත්ත්වයේ පසු වෙනවා. හොඳ තරගාවලියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්” මැතිව්ස් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. 

ඇන්ඩෘ රසල් (Andre Russell)

32 හැවිරිදි ඇන්ඩෘ රසල් බටහිර ඉන්දිය කොදෙව් රාජ්‍ය ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙස ය. ඒ 2010 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ය. එම තරගය රසල්ගේ පළමු සහ එකම ටෙස්ට් තරගය විය. පසු කාලයේ ඔහු වඩාත් ජනප්‍රිය වූයේ සහ වැඩි වශයෙන් යොදා ගත්තේ එක්දින සහ විස්සයි විස්ස තරගවලට ය. ජවාධික දකුණත් පිතිකරුවෙක් ලෙසත්, දකුණතින් වේගපන්දු යවන්නෙක් ලෙසත් ඔහු එරට වෙනුවෙන් පෑ දක්ෂතා ලීග් තරගවලට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් කළේය. 

ලොව පැවැත්වෙන ප්‍රධාන පෙළේ ලීග් තරගාවලියන් හි ප්‍රධාන ක්‍රීඩකයෙක් වන රසල් පසුගිය දා නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ද නියෝජනය කළේය. එහි දී රසල් තරග 10කට සහභාගී වෙමින් ඉනිම් 9ක දී ලකුණු 117ක් ද, පන්දු යවමින් කඩුලු 6ක් දවා ගත්තේ ය. එම දක්ෂතාවන් IPL පිටියට එතරම් ම නොවුවත් ඔහුගේ ආකර්ෂණීය තරග රටාව ප්‍රේක්ෂකයන්ගේ සිත් පින විය. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ වඩාත් බලාපොරොත්තු සහගතව සිටි මේ ක්‍රීඩකයා මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බැවින් පළමු තරග කිහිපය අහිමි වූව ද ඔහු සක්‍රීය වූ වහාම LPL පිටියේ වඩාත් කතාබහට ලක්වෙන විදෙස් ක්‍රීඩකයා වෙනු ඇති බවයි අපගේ විශ්වාසය. 

දිනේෂ් චන්දිමාල්

Colombo Kings කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයන් අතරට එක්වෙන ක්‍රීඩකයෙකි, 31 හැවිරිදි දිනේෂ් චන්දිමාල්. ශ්‍රී ලංකාව වෙනුවෙන් සියලුම ආකාරයේ තරගවල නායකත්වය දරා ඇති චන්දිමාල් 2014 ජයග්‍රාහී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක නායකයා ය. එමෙන් ම 2012 අනුශූරතාව දිනූ විස්සයි විස්ස කණ්ඩායමේ ද සාමාජිකයෙකි. 

තම මංගල ටෙස්ට් තරගයේ දී ඉනිම දෙකේ දී ම අර්ධ ශතක රැස් කළ දිනේෂ් චන්දිමාල් එම දක්ෂතාව කළ මෙරට පළමු වැනි ක්‍රීඩකයා විය. ඒ 2011 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ය. එමෙන් ම ශ්‍රි ලංකාවේ පළමු පෙළ තරග ඉතිහාසයේ ඉනිමක පෞද්ගලික වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නේ ද දිනේෂ් චන්දිමාල් ය. ඒ නොදැවි ලබා ගත් ලකුණු 354යි. 

 චන්දිමාල් මෙරටින් පිටත පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ද, බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දි චිතගොං වීකින්ග්ස් කණ්ඩායම් ද නියෝජනය කළේය. 

කඩුලු රකින්නෙක් දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලැබූ චන්දිමාල්ට කණ්ඩායමේ පැවරෙන වගකීම් සුළු-පටු නැත.

ඉසුරු උදාන

නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ එකම ශ්‍රි ලංකා ක්‍රීඩකයා වන ඉසුරු උදාන හේතුවෙන් Colombo Kings කණ්ඩායමට ලැබී ඇති ආකර්ෂණය සහ බැඳීම අතිමහත් ය. 32 හැවිරිදි ඉසුරු උදාන මෑත කාලීන ඉතිහාසයේ වේගයෙන් ව්‍යාප්ත කෙටි තරගවලට නැතිව ම බැරි ක්‍රීඩකයෙක් බවට පත් විය. 

වමතින් වේගපන්දු යවන ඉසුරු දකුණත් පිතිකරුවෙක් ලෙසින් වේගයෙන් ලකුණු රැස් කිරීමට දැඩි කැමැත්තක් දක්වයි. මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 18කට සහ විස්සයි විස්ස තරග 30කට සහභාගී වී ඇති ඉසුරුගේ එහි දක්ෂතා එතරම් ම තැනක නැත. එසේ වුවත් පළමු පෙළ තරග 92කට සහභාගී වී ඇති ඉසුරු ඉනිම 121ක දී ලකුණු 2539ක් ද කඩුලු 200ක් ද දවාගෙන ඇත. මෙතෙක් විස්සයි විස්ස තරග 145කට සහභාගී වී ඇති ඉසුරු ඉනිම් 92ක දී ලකුණු 920ක් ද සහ කඩුලු 153ක් ද දවා ගෙන ඇත. 

LPL තතුවිත්ති:

සංචිතයේ සංයුතිය

Colombo Kings කණ්ඩායම පිතිකරුවන් 8 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයන් 6 දෙනෙක්, කඩුලු රකින්නන් දෙදෙනෙක් සහ පන්දු යවන්නන් 6 දෙනෙක්ගෙන් සමන්විත 22 දෙනෙක්ගෙන් සමන්විත ය. 

Colombo Kings කණ්ඩායමේ තරග කාලසටහන

දිනය ප්‍රතිවාදී කණ්ඩායම වේලාව
නොවැම්බර් 26 Kandy Tuskers  රාත්‍රී 7.30
නොවැම්බර් 28 Galle Gladiators  රාත්‍රී 7.30
දෙසැම්බර 01 Dambulla Viiking සවස 3.30
දෙසැම්බර් 04 Jaffna Stallions රාත්‍රී 7.30
දෙසැම්බර් 05 Kandy Tuskers රාත්‍රී 7.30
දෙසැම්බර් 07 Galle Gladiators සවස 3.30
දෙසැම්බර් 10 Jaffna Stallions සවස 3.30
දෙසැම්බර් 11 Dambulla Viiking රාත්‍රී 7.30

Colombo Kings සංචිතය;

ඇන්ජලෝ මැතිව්ස් (නායක) ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා) අමිල අපෝන්සු, අශාන් ප්‍රියංජන්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ලහිරු උදාර, ධම්මික ප්‍රසාද්, හිමේෂ් රාමනායක, කළණ පෙරේරා, තරිඳු රත්නායක සහ නවෝද් පරණවිතාන 

විදෙස් ක්‍රීඩකයන්; 

Andre Russell (බටහිර ඉන්දීය කොදෙව්) Manpreet Singh Gony (ඉන්දියාව) Laurie Evans (එංගලන්තය) Qais Ahmad (ඇෆ්ගනිස්තානය) Daniel Bell Drummond (එංගලන්තය) Karim Khan Sadeq (ඇෆ්ගනිස්තානය) Ravinderpal Singh (කැනඩා) 

නිලධාරීන් සහ සහාය කණ්ඩායම; 

මුර්ෆාද් මුස්ටෆා (කණ්ඩායම් හිමිකරු) කේ. ගණපති (ප්‍රධාන විධායක නිලධාරී) ශාදබ් ජකටි (ක්‍රිකට් අධ්‍යක්ෂ) හර්ෂල් ගිබ්ස් (ප්‍රධාන පුහුණුකරු) රංගන හේරත් (සහාය පුහුණුකරු) ඉම්රාන් ශායික් (කණ්ඩායම් කළමණාකරු) වෛද්‍ය මිතිල රුවන්ගේ (කණ්ඩායම් වෛද්‍ය) සුරබා බන්ඩෙකාර් (පන්දු රැකීම් පුහුණුකරු) කේ. ඩිල්ශාන් (Trainer) අජන්ත වත්තේගම (භෞත චිකිත්තක) රොහාන් පී. විජේවීර (සම්භාහක) ශ්‍යාම් බාබු (නිර්මාණශීලී උපදේශක)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැදී සිටින්න ThePapare.com සමග

(ඡායාරූප Colombo Kings කණ්ඩායමේ නිල FB පිටුවෙනි.)

>>Video – ලකුණු 1000ක් ගහපු ලහිරු උදාර LPL එක ගැන කියපු දේ<<

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<