බිනුරට කොරෝනා බව සනාථ වෙද්දී මෙන්ඩිස් ගැන සුබ ආරංචියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

411
Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කොරෝනාවලින් සම්පූර්ණ සුවය ලබා කණ්ඩායම සමඟ එකතු වී තිබෙන අතර වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තෙවැනි හා සිව්වැනි විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යන බව වාර්තා වෙනවා.

ඒ, ඔහු පසුගිය සෙනසුරාදා (12) සිදු කෙරුණු ප්‍රතිදේහජනක පරීක්ෂණයක දී (රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂාවක දී) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් නිසයි. ඒ බව තවදුරටත් සනාථ කර ගැනීම වෙනුවෙන් සිදු කළ PCR පරීක්ෂණයෙන් ද බිනුරට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

ඒ අනුව බිනුරව නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හුදකලා කොට ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු  කර තිබෙන අතර මේ හේතුව නිසා ඔහුට ඊයේ (13) පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ගියා.

මේ අතර, කොරෝනා වයිරසය ආසාදනය වී සිටි කුසල් මෙන්ඩිස් ද මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙන අතර ඔහු ශ්‍රී ලංකා සංචිතය සමඟ එකතු වී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුට හෙට (15) Canberra හිදී පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් තේරීම් කටයුතු සඳහා සලකා බැලීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

පසුගිය 11 වැනිදා ආරම්භ වූ විස්සයි විස්ස තරග 5කින් සමන්විත ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දැනට 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<