කලහකාරී ඉන්දීය බංග්ලාදේශ ක්‍රීඩකයන්ට දඬුවම්

72

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගය පසුගිය ඉරිදා (09) දකුණු අප්‍රිකාවේ දී නිමා වූයේ බංග්ලාදේශය පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලානයක හිමිකරුවන් බවට පත්කරමිනි. ඉන්දීය කණ්ඩායම එහි අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. 

කෙසේ වෙතත් මෙම තරගය මතභේදාත්මක සටනකින් අවසන් වූයේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් වචන හුවමාරුවක යෙදී සිටිනු දැකීම නිසාවෙනි. එහි දී ක්‍රීඩකයන් එකිනෙකා තල්ලු කරගැනීමක් ද දැකිය හැකි වූ අතර බංග්ලාදේශ ධජයකට ද හානි සිදුවී තිබුණි. තරගය අතරතුර දී ද අවස්ථා කීපයක දී ම ක්‍රීඩකයන් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූ ආකාරය දක්ණට ලැබුණි.

ඉන්දියාව මවිත කරමින් යොවුන් ලෝක කුසලානය බංග්ලාදේශයට!

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට බංග්ලාදේශයට ……..

සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු තවම ප්‍රසිද්ධ වී නැතත්, ඊයේ (10) රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙම සිදුවීම ඉතා බැරෑරුම් ලෙස සලකන බව පවසා තිබුණි. ඒ බව තරග තීරක ග්‍රේම් ලැබ්රෝයි විසින් ද තරගයෙන් අනතුරුව පවසා තිබිණි. 

“සිදු වූයේ කුමක්ද, එය සිදු නොවිය යුතුව තිබුණි,” බංග්ලාදේශ නායක අක්බාර් අලි තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියේය. ඔහු නොදැවී ලකුණු 43ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය.

“හරියටම සිදු වූයේ කුමක් දැයි මමත් දන්නේ නෑ. සිදු වන්නේ කුමක්ද කියලත් මම විමසුවේ නෑ. නමුත්, ඔබ දන්නවා, අවසාන තරගයක දී හැඟීම් පිටතට පැමිණිය හැකි. සමහර විට පිරිමි ළමයින් උත්තේජනය වෙලා මේ වගේ හැඟීම් එන්න පුළුවන්. නමුත් අපි මේ තරුණ ක්‍රීඩකයන් විදිහට එය සිදු නොවිය යුතුයි. ඕනෑම ස්ථානයක, ඕනෑම ආකාරයකින්, අපට ප්‍රතිවාදියාට ගෞරවය පෙන්විය යුතුයි, අපට ක්‍රීඩාවට ගරු කළ යුතුයි.”

“ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස ප්‍රසිද්ධයි. මම මගේ කණ්ඩායම වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඒ ගැන කනගාටු වෙනවා. “

ඉන්දීය නායක ප්‍රියාම් ගාර්ග් පැහැදිලි කළේ බංග්ලාදේශ ක්‍රීඩකයින් මෙහි සම්පූර්ණ වැරැද්ද භාර ගත යුතු බවයි.

“අපි මේ පරාජය ගැන එතරම් හිතුවේ නෑ. අපි හිතන්නේ එය ක්‍රීඩාවේ කොටසක් කියලා. සමහර තරග දිනනවා. සමහර තරග පරාජය වෙනවා. ” ඔහු පැවසීය.

“නමුත් ඔවුන්ගේ ප්‍රතිචාරය සුදුසු නෑ. මම හිතන්නේ එය සිදු නොවිය යුතුයි.”

අවසන් තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් ද්විත්වය යම් මතභේදාත්මක තත්වයක ක්‍රීඩා කළ අතර තරගයේ දෙවන ඕවරයේ දී ම, ඉන්දීය ඉනිමේ දී, දිව්‍යාන්ෂ් සක්සේනා පන්දුවට පහර දෙමින් සිටින විට පන්දු ‍යවන්නා වූ ටැන්සිම් හසන් සකීබ් පන්දුව පෙරලා එල්ල කළ අතර එය සක්සේනාගේ හිස ආසන්නයෙන් ගමන් කළේය. සක්සේනා ඔහුගේ කඩුල්ලෙන් බැහැරව සිටි නිසා පන්දු ‍යවන්නා විසින් එම පන්දුව එල්ල කිරීම නීත්‍යනුකූල විය. නමුත් එය බැලූ බැල්මට සිතාමතා එල්ල කළ බවට පෙනෙන්නට තිබූ නිසා විනිසුරු ඒඩ්‍රියන් හොල්ස්ටොක් හට මැදිහත් වී තත්වය සමනය කිරීමට සිදු විය. 

යෂස්වි ජයිස්වාල් ඉන්දීය ඉනිමේ දී දැවී ගිය විට පන්දු ‍යවමින් සිටි ෂොරිෆුල් ඉස්ලාම් පිතිකරුවා සමඟ යම් වචන හුවමාරුවකට ගොස් තිබුණි. කෙසේ වෙතත්, තරගය අවසානයේ සිදු වූ දෙය මෙම කණ්ඩායම් ද්විත්වයේම විනය පිළිබඳව දැඩි ගැටලුවක් මතුකිරීමට සමත්ව ඇත.

මෙම තරගයේ දී ප්‍රේක්ෂකාගාරයේ සිට බෝතල් කිහිපයක් සෙන්වෙස් ක්‍රීඩාංගණයට වීසිකිරීමට ප්‍රේක්ෂකයන් පෙලඹී තිබුණි.  ප්‍රේක්ෂකයන් මෙලෙස හැසිරීම ක්‍රීඩකයන්ට ද යම් උත්තේජනයක් ලබා දෙන්නට ඇත. 

ටික කලක සිට ඉන්දීය බංග්ලාදේශ මේ ක්‍රිකට් ගැටුම ජ්‍යේෂ්ඨ කණ්ඩායම් වෙත ද පැතිර ගොස් තිබුණි. එම කණ්ඩායම් අතර පිටියේ ක්‍රියාකාරිත්වය අනුව, බංග්ලාදේශ – ඉන්දියා එදිරිවාදිකම් ඉන්දීය පාකිස්තාන ගැටුමට වඩා තීව්‍ර වී ඇත. වයස අවුරුදු 19න් පහළ මට්ටමේ දී ද පසුගිය වසර දෙක තුළ එක් තරගයකට වඩා වැඩි ප්‍රමාණයක් මෙලෙස තියුණු සටනකින් අවසන් වී ඇත. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 5කින් ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වූ අතර එම තරගයේ වාඩුව ගැනීම ද තම බලාපොරොත්තුවක් වූ බව නායක අක්බාර් කියා සිටියේය. 

එංගලන්තය එක්දින තරගාවලියත් බේරා ගනියි!

සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන්………..

“ඉන්දියානු-බංග්ලාදේශ එදිරිවාදිකම් මෙයට හේතු වුනා. ලෝක කුසලාන අවසන් තරගයට පෙර අපි ආසියා කුසලාන අවසන් මහා තරගය මාස කිහිපයකට පෙර ඔවුන්ට පරාජය වුනා. ඒ නිසා මම සිතන්නේ මේ කණ්ඩායම සැබවින්ම ධෛර්යමත් වෙලා ඒ තරගයේ වාඩුව ගන්න සූදානම් වෙලා හිටියේ.”අක්බාර් පවසා සිටියේය.

“එය සිදු විය යුතු යැයි මම කියන්නේ නෑ. නමුත් මගේ පැත්ත ගැන මට කනගාටුවක් තියනවා.”

ඉන්දීය කණ්ඩායම් කළමනාකරු අනිල් පටෙල් පවසන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙම තරගයේ වීඩියෝ පට විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන බව ඉන්දියානු කණ්ඩායම් කළමනාකාරිත්වයට පවසා ඇත.

ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක් දැයි අපි දන්නේ නෑ.” පටෙල් ESPNcrcinfo වෙත පැවසීය. 

“හැමෝම කම්පනයට පත්වුණා, ඇත්ත වශයෙන්ම, නමුත් හරියටම සිදු වූයේ කුමක් දැයි අපි තවමත් දන්නේ නෑ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිලධාරීන් අවසාන මිනිත්තු කිහිපයේ වීඩියෝ දර්ශන නරඹන බවත් ඉන් අනතුරුව මේ ගැන පූර්ණ වාර්තාවක් ලබා දෙන බවත් අපිට දන්වලා තියනවා.”

පටෙල්ට අනුව, ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය තරගයෙන් අනතුරුව තරග නිලධාරීන් සමඟ කතා කිරීමට අදහස් කර සිට ඇති අතර ඊට පෙර තරග තීරක ලැබ්‍රෝයි ඉන්දීය කළමනාකාරිත්වය හමුවී තිබුණි. 

“විනිසුරුවරයා මා වෙත පැමිණ සිද්ධිය ගැන කනගාටුව පල කළා. තරගය තුල සහ අවසන් අවස්ථාවේ දී සිදු වී ඇති දේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉතා බැරෑරුම් ලෙස සලකනු බවත් ඔවුන් එම දර්ශන නැරඹීමට යන බවත් ඔවුන් ඒ පිළිබඳව නිල වශයෙන් අපට දැනුම් දෙනු ඇති බවත් ඔහු කිව්වා.”

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ (10) විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි දී දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් හි පැවති අවසන් මහා තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් සහ සහායකයින් සඳහා වූ ICC චර්යාධර්ම පද්ධතියේ 3 වැනි මට්ටම උල්ලංඝනය  කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකු වැරදිකරුවන් කිරීමට ඔවුන් තීරණය කර ඇත. 

මෙම ක්‍රීඩකයන් පස්දෙනාට බංග්ලාදේශ ක්‍රීඩකයින් වන එම්ඩී ටොහිඩ් හ්රිඩෝයි, ෂාමිම් හුසේන් සහ රකිබුල් හසන් හා ඉන්දීය ක්‍රීඩකයින් වන ආකාශ් සිං හා රවී බිෂ්නොයි ඇතුලත්ව ඇත. 

එහි දී ඔවුන් නීති පද්ධතියේ 2.21 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට තීරණය කර ඇත. මේ අතර 2.5 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමේ චෝදනාව ද රවි බිෂ්නෝයිට එල්ල වී ඇත. මෙම තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ලැබ්රෝයි විසින් යෝජනා කරන ලද සම්බාධක ක්‍රීඩකයින් පස්දෙනාම පිළිගෙන තිබේ.

පුද්ගලයන්ගේ ක්‍රියාවන් මත පදනම්ව, චෝදනා සහ ඒ හා සම්බන්ධ සම්බාධක පිළිබඳ විස්තර පහත පරිදි වේ:

  • 2.21 වගන්තිය උල්ලංඝනය කිරීමේ චෝදනාව බංග්ලාදේශයේ එම්ඩී ටොවිඩ් හ්රිඩෝයි විසින් පිළිගෙන ඇත. ඔහුට suspension ලකුණු දහයක් ලැබී අතර එය demerit ලකුණු හයකට සමාන වේ. එය වසර දෙකක් ඔහුගේ වාර්තාවේ පවතිනු ඇත.
  • 2.21 වගන්තිය උල්ලංඝනය කිරීමේ චෝදනාව බංග්ලාදේශයේ ෂාමිම් හුසේන් විසින් පිළිගෙන ඇති අතර ඔහුට suspension ලකුණු අටක් අනුමත කර ඇත. එය demerit ලකුණු හයකට සමාන වන අතර එය වසර දෙකක් ඔහුගේ වාර්තාවේ පවතිනු ඇත.
  • 2.21 වගන්තිය උල්ලංඝනය කිරීමේ චෝදනාව බංග්ලාදේශයේ රකිබුල් හසන් විසින් පිළිගෙන ඇති අතර ඔහුට suspension ලකුණු හතරක්, එනම් demerit ලකුණු පහක් ලැබී ඇත. එය වසර දෙකක් ඔහුගේ වාර්තාවේ පවතිනු ඇත.
  • ඉන්දියාවේ ආකාෂ් සිං 2.21 වගන්තිය උල්ලංඝනය කිරීමේ චෝදනාව පිළිගෙන ඇති අතර ඔහුට suspension ලකුණු  අටක එනම් demerit ලකුණු හයක් ලබා දී ඇත. එය වසර දෙකක් ඔහුගේ වාර්තාවේ පවතිනු ඇත.
  • 2.21 වන වගන්තිය උල්ලංඝනය  කිරීමේ චෝදනාව ඉන්දියාවේ රවී බිෂ්නෝයි විසින් පිළිගෙන ඇති අතර ඔහුට suspension ලකුණු පහක් එනම් demerit ලකුණු පහක් ලබා දී ඇත. 

තරගය අතරතුර වෙනම සිදුවීමක් සඳහා 2.5 වන වගන්තිය උල්ලංඝනය කිරීමේ පළමු මට්ටමේ චෝදනාවක් ද බිෂ්නෝයි විසින් පිළිගත්තේය. එහි දී 23 වැනි ඕවරයේ දී අවිෂේක් දාස් දැවී යාමෙන් පසුව ඔහුගේ හැසිරීම, භාෂාවෙන්, ක්‍රියාවෙන් හෝ අභිනයකින් අපකීර්තියට පත් වූ හෝ පහර දීමෙන් ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කිරීම යන වගන්තියට අදාලව වැරදිකරු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තීරණය කර ඇත. මේ සඳහා ඔහුට තවත් demerit ලකුණු දෙකක් ලැබී ඇති අතර ඒ අනුව ඉදිරි වසර දෙක සඳහා demerit ලකුණු 7ක් ඔහුගේ වාර්තාවේ පවතිනු ඇත.

මෙම තරගයේ දී පිටියේ විනිසුරුවන් වූ සෑම් නොගාජ්ස්කි සහ ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, තෙවැනි විනිසුරු රවීන්ද්‍ර විමලසිරි මෙන්ම සිව්වැනි විනිසුරු පැට්‍රික් බොන්ග්නි ජෙලේ යන අය විසින් සියලු චෝදනා ගොනු කරන ලදි.

ජාත්‍යන්තර රෙගුලාසි අනුව තෙවැනි මට්ටමේ උල්ලංඝනයක දී අවම වශයෙන් suspension ලකුණු 4ක් හා උපරිම ලෙස suspension ලකුණු 12ක දඬුවමකට යටත් කළ හැක. 

තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාන්‍ය අධ්‍යක්ෂක ජෙෆ් අලාර්ඩයිස් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වා සිටියේය. 

“ලෝක කුසලාන අවසන් මහා තරගයක දී අපේක්ෂා කරන තරගකාරීත්වය මේ තරගය තුල තිබුණා. නමුත් තරගයෙන් පසුව සමහර ක්‍රීඩකයින් අත්විඳින ලද ප්‍රීතිය හා බලාපොරොත්තු සුන්වීම මේ සිදුවීමට ප්‍රධාන හේතුව වුනා. මේ වගේ සිදුවීම්වලට අපේ ක්‍රීඩාවේ කිසිදු ඉඩක් නෑ. අනෙකාට ගෞරව කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත වැනි දෙයක්. ක්‍රීඩකයින් තම ස්වයං විනය පෙන්වීමත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට සුබ පතන්නටත්, තමන්ගේම කණ්ඩායමේ සාර්ථකත්වය භුක්ති විඳීමත් තමා අපි මේ ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. “

“මෙතරම් විශේෂ තරගයකට පසුව චර්යාධර්ම පද්ධතියට අනුව ක්‍රීඩකයන්ට දඬුවම් කිරීමට සිදුවීම කනගාටුවට කරුණක්. නමුත් මෙම තරුණ ක්‍රීඩකයින් ජ්‍යේෂ්ඨ කණ්ඩායම් හරහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි විට අපේක්ෂා කරන හැසිරීම් ප්‍රමිතිය ශක්තිමත් කිරීම වැදගත්.”

ජ්‍යේෂ්ඨ හෝ 19න් පහළ මට්ටමින් ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිත තරග සඳහා මෙම suspension ලකුණු වැදගත් වේ. එක් suspension ලකුණක් ක්‍රීඩකයෙකුට එක් එක්දින තරගයක් හෝ විස්සයි විස්ස තරගයක් අහිමි කිරීමට හේතුවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<