ICC මාසයේ ක්‍රීඩිකාවන් අතරට චමරිගේ නමත් එක්වෙයි

1419

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පසුගිය මස ජාත්‍යන්තර ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා තේරීම සඳහා ඇතුළත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමයන් අද (08) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබුණා.

එහි ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු යෝජනා වී ඇති අතර ඇයට අමතරව එම කාණ්ඩය සඳහා කොදෙව් ක්‍රීඩිකා Deandra Dottin සහ එංගලන්ත ක්‍රිකට් නායිකා Heather Knight යෝජනා වී ඇත.

මෙවර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයන් අතරට දකුණු අප්‍රිකානු 19න් පහළ ක්‍රීඩක Dewald Brevis ඇතුළත් වීම කැපී පෙනෙන අතර ඔහුට අමතරව බංග්ලාදේශ ක්‍රීඩක Ebadot Hossain සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Keegan Petersen ඇතුළත්ව තිබුණා.

ICC මාසයේ ක්‍රීඩකයා (ජනවාරි)

  • Dewald Brevis

Baby AB යන අනුවර්තීය නාමයෙන් හඳුන්වන Dewald Brevis නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ දී ඉහළ දස්කම් දක්වමින් එහි තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වුනා.

තරගාවලිය පුරාවට අර්ධ ශතක 3කින් සහ ශතකයින් පිටිය වර්ණවත් කළ ඔහු තරගාවලිය පුරාවට ලකුණු 506ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්වීම ද විශේෂත්වයක්.

  • Ebadot Hossain

බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග පිටියේ ඉහළ දස්කම් දැක්වූ Ebadot Hossain නිමා වූ නවසීලන්ත තරගාවලියේ දී කඩුලු 18ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුගේ පන්දු යැවීම නිසාවෙන් නවසීලන්තයට එරෙහිව ඉතිහාසගත ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීමට බංග්ලාදේශයට හැකි වුනා.

තරගාවලියේ කැපී පෙනෙන පන්දු යවන්නා වූ Ebadot Hossain ලකුණු 46කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට එම තරගාවලියේ දී සමත් වුනා.

  • Keegan Petersen

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරණයෙන් දැක්වූ දස්කම් නිසාවෙන් සිය කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග 2-1ක ටෙස්ට් ජයග්‍රහණයකට ගෙන යාමට Keegan Petersen හට පසුගියදා හැකි වුනා.

තරගාවලිය පුරාවට පිත්තෙන් ලකුණු 276ක් රැස් කරගත් Keegan Petersen එම තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන ලැබුවා.

ICC මාසයේ ක්‍රීඩිකාව (ජනවාරි)

  • චමරි අතපත්තු

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා වූ තරගාවලියේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ චමරි සිය කණ්ඩායම එම තරගාවලියේ ජයග්‍රහණයට මෙහෙය වූවා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර ද පෙරමුණට පැමිණි ඇය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද අභිෂේක ලැබුවා.

  • Deandra Dottin

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පසුගිය මස පැවති එක්දින තරගයක දී අගනා ඉනිමක් දියත් කළ Deandra Dottin පන්දු 158ක් තුළ අගනා ලකුණු 150ක් රැස් කරමින් සිය පෞද්ගලික හොඳම ඉනිම වාර්තා කළා.

එමෙන්ම එම තරගයේ කණ්ඩායම් ද්විත්වයම ලකුණු සම වීම නිසාවෙන් පැවැත්වූ සුපිරි පන්දුවාරයේ ද ඉහළ පිතිකරණ දක්ෂතාවයක් පෙන්නුම් කළ Deandra Dottin සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වුනා.

  • Heather Knight

පසුගිය මස ඕස්ට්‍රේලියාව සමඟ පැවති කාන්තා අළු බඳුන තරගාවලියේ දී අගනා ශතකයක් රැස් කරමින් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට එංගලන්ත නායික Heather Knightට හැකි වුනා.

සිය කණ්ඩායමට අවශ්‍යම වූ මොහොතක ක්‍රියාත්මක වූ Heather Knightගේ ශතකය නිසාවෙන් තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට එංගලන්ත ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

මෙම ක්‍රීඩික ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කළ ස්වාධීන කමිටුවක් තුළින් සහ ලොවපුරා සිටින ප්‍රේක්ෂයන්ගේ ඡන්ද මගින් සිදුකරන අතර එහි ජයග්‍රහකයන් ලබන සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<