රාජපක්ෂගෙන් කඩුලු 11ක්; වැඩි ගෞරවය සාන්ත අන්තෝනි විද්‍යාලයට

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

639

කොළඹ රාජකීය විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වුණු සාම්ප්‍රදායික දෙදින පාසල් ක්‍රිකට් තරගය අද (21) සාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

තරගයේ දෙවැනි දිනය වූ අද දිනය ආරම්භ වන විට සාන්ත අන්තෝනි පළමු ඉනිමට පිළිතුරු දෙමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 104ක් රැස් කරගෙන සිටියා.

දිනයේ පළමු සැසිය තුළ රාජකීය පළමු ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 28ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක ට්‍රෙවින් මැතිව් (5/39) ඇතුළු සාන්ත අන්තෝනි පන්දු යවන්නන් සමත් වුනා.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක සදීෂ රාජපක්ෂ රාජකීයයේ ගෞරවය රැකගනිමින් ඔවුන්ගේ පළමු ඉනිමට ලකුණු 77ක් එක් කළා. ඔහුගේ ඉනිම 4 පහර 9කින් සහ එක් 6 පහරකින් අලංකාරවත් වුනා.

ලකුණු 38ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිය දෙවැනි ඉනිම දියත් කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් වෙනුවෙන් ලකුණු 74ක් රැස් කරගැනීමට නායක චමිඳු වික්‍රමසිංහ සමත් වුනා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන වික්‍රමසිංහ මේ තරගයේ පළමු ඉනිම තුළ දී ද අර්ධ ශතකයක් වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

අවසානයේ දී සාන්ත අන්තෝනි දෙවැනි ඉනිම ලකුණු 142කට සීමා කිරීමට පන්දුවෙන් දස්කම් දැක්වූ සදීෂ රාජපක්ෂ පළමු ඉනිමේ දවා ගත් කඩුලු 5ට අමතරව දෙවැනි ඉනිම තුළ දී ලකුණු 55කට කඩුලු 6ක් දවා ගත්තේ මේ තරගය තුළ සාන්ත අන්තෝනි සමස්ත කඩුලු 11ක් දවා ගෙනයි.

අවසානයේ දී ලකුණු 181ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු රාජකීය විද්‍යාලය තරගයේ දෙවැනි සහ අවසන් දිනය නිමාවට පත්වන විට කඩුලු 4ක් දැවී ලකුණු 85ක් වාර්තා කරගෙන සිටියා.

එහි දී සන්විඳු සෙනරත්ආරච්චි, සදීෂ රාජපක්ෂ සහ උවිඳු වීරසේකර පිළිවෙළින් ලකුණු 28ක්, ලකුණු 27ක් සහ ලකුණු 26ක් රැස් කරගැනීමට සමත් වුනා. අසිත වන්නිනායක ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත්තා.

සාන්ත අන්තෝනි පළමු ඉනිම – 170 (51.2): චමිඳු වික්‍රමසිංහ 57, ලහිරු අබේසිංහ 22, සදීෂ රාජපක්ෂ 5/65, ගිශාන් බාලසූරිය 4/34.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 132 (36.1): සදීෂ රාජපක්ෂ 77, ට්‍රෙවින් මැතිව් 5/39, අසිත වන්නිනායක 3/34, කවීෂ පියුමාල් 2/16.

සාන්ත අන්තෝනි දෙවන ඉනිම – 142 (38.4): චමිඳු වික්‍රමසිංහ 74, චන්දිමාල් හේරත් 34, සදීෂ රාජපක්ෂ 6/55, ගිශාන් බාලසූරිය 3/61.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 85/4 (27): සන්විඳු සෙනරත්ආරච්චි 28, සදීෂ රාජපක්ෂ 27, උවිඳු වීරසේකර 26, අසිත වන්නිනායක 3/41.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<