මම තවත් හිටියොත් ඒක නවකයන්ට වැට බැඳීමක් – කුමාර් සංගක්කාර

140

වසර පහළොවක ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයෙන් පසුව තවත් දින කිහිපයකින් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම සමුගැනීමට ලැබීම පිළිබඳ තමන් කනගාටුවට පත් නොවන බවත් ක්‍රීඩාවෙන් සමුගැනීමට මෙය හොඳම වේලාව බව තමන් තේරුම් ගෙන ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වමත් පිතිකරුවකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පැවැසීය.

අද ගාල්ලේදී ඇරැඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රථම ටෙස්ට් තරගයට පෙර ඊයේ විශේෂ මාධ්‍ය හමුවකට මුහුණ දුන් කුමාර් සංගක්කාර එසේ ප්‍රකාශ කළ අතර පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසාන වීමත් සමඟම තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද සමුගන්නට සැලැසුම් කර සිටියද හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීම මත තවත් ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කිරීමට තීරණය කළ බවද පැවැසීය.

ලබන ඔක්තෝබර් මාසයේදී 38 වැනි විය සම්පූර්ණ කරන සංගක්කාර අදින් ඇරැඹෙන ටෙස්ට් තරගාවලියේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. වර්තමානයේදී ටෙස්ට් ක්‍රීඩාවේ යෙදෙන පිතිකරුවන් අතර ලොව අංක එක ස්ථානයේ සිටින පිතිකරුවා වන සංගක්කාර මේ වන විට ටෙස්ට් තරග 132කට ක්‍රීඩා කොට ශතක 38ක් සමඟ ලකුණු 12,305ක් රැස්කර ගෙන ඇත. එසේම ලොව මෙතෙක් බිහිවූ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයේ සිටින සංගක්කාර ඊයේ වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා පිලේ සිටින 37 වැනි වියෙහි පසුවන රංගන හේරත් හා තමන් වර්තමානයේදී ක්‍රීඩා කරන එංගලන්ත සරේ ප්‍රාන්තයේ සිටින අවුරුදු 37ක් වයසැති ගැරක් බැටී පමණක් ඔහුගේ සම වයසේ ක්‍රීඩා කරන අය බවයි.

අනෙක් ක්‍රීඩකයන් බොහොමයක් දෙනා අවුරුදු 26ක් පමණ වයසෙහි පසුවන බව කී සංගක්කාර “මට දැනෙන්නෙ ඒ අතර ඉන්න මම යෝධයෙක් වගෙයි. ඒ කාරණයෙන්ම මම දැන් එළියට යායුතු බව ඒත්තු ගියා. මම පසුගිය සංචාරයේ ටෙස්ට් තරග දෙකකුත්, මේ සංචාරයේ ටෙස්ට් තරග දෙකකුත් වශයෙන් ක්‍රීඩා කිරීම පවා හොඳ තීරණයක් නොවුණත් මම කලින් තේරීම් කමිටුව සමඟ මගේ අනාගතය ගැන සාකච්ඡා කරද්දී තීරණය ගත්තේ එහෙමයි. ඒකට ඔවුන් එකඟ වුණා. ඒත් කණ්ඩායමට අවශ්‍ය ඕනෑම මොහොතක ඇවිල්ල උදවු කරන්න මම පැකිළෙන්නෙ නැහැ. මම තවත් කාලයක් ක්‍රීඩා කරන්න ඉන්නවා කියන්නෙ එය තවත් කෙනකුගේ අනාගතය තවත් ප්‍රමාද වෙන්න හේතුවක් වෙනවා” යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය හමුවේදී ඉන්දියාව සමඟ 3 වැනි ටෙස්ට් තරගයටත් කුමාර් සංගක්කාර ක්‍රීඩා කරනවා දැකීමට ඇති කැමැත්ත නායක මැතිව්ස්ගෙන් විමසූ විට සිනහමුසුව පිළිතුරු දුන් මැතිව්ස් කියා සිටියේ තවත් වසර 2ක් සංගක්කාර ක්‍රීඩා කරනවා දැකීම තමන්ගේ වුවමනාව බවයි. එහෙත් සංගක්කාර ගෙන ඇති තීරණය පිළිබඳ තමා ගෞරව කරන බවද ශ්‍රී ලංකා නායකයාගේ අදහස විය.

2000 වසරේදී ගාල්ල ක්‍රීඩාංගණයෙන් ටෙස්ට් ක්‍රිකට් දිවිය ඇරැඹූ සංගක්කාරගේ ගාල්ලේ ක්‍රීඩා කරන අවසන් තරගය අදින් ඇරැඹේ.