Kohliට කණ්ඩායමේ හිමි ස්ථානය ගැන නායකයාගේ අදහස

1831

පසුගිය ආසියානු කුසලානයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි Virat Kohli සිය ප්‍රථම ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමත් සමඟ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට විස්සයි විස්ස තරගාවලියට පෙර ඉන්දීය නායක Rohit Sharma පැවසුවේ කෝලි ඔවුන්ගේ තෙවැනි ආරම්භක පිතිකරුව වන බවත් තවදුරටත් ඔවුන් KL Rahul පිළිබඳව විශ්වාසය තබන බවත්ය.

අපි තෙවැනි ආරම්භක පිතිකරුවෙක් තෝරාගෙන නෑ. ඒ නිසා කෝලිට පැහැදිලිවම ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන්න පුළුවන්. ඔහු IPL තරගාවලියේ දීත් ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්ෂතා දක්වලා තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්, යනුවෙන් Rohit Sharma පවසා සිටියා.

 “මම Rahul (Dravid) එක්කත් පැවසුවා අපිට සමහර තරගවල Kohli ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදාගන්න සිදු වෙන බව. අපි එහි ප්‍රතිඵල අවසන් තරගයේ දී දැක්කා. අපිට එම ස්ථානයට අත්හදා බැලීම් කරන්න සිදුවෙන එකක් නැහැ, යනුවෙන් ඉන්දීය නායකයා තවදුරටත් පැවසුවා.

හැම වෙලාවකම විකල්ප තබාගැනීම ඉතාමත් හොඳ දෙයක්. ලෝක කුසලානය වගේ තරගාවලියක දී එය ඉතාම වැදගත්. අපිට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන් ඔවුන්ගේ හොඳම තත්ත්ව වල තබා ගැනීම සහ ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදීම හැකියාව. අපි යම් අත්හදා බැලීමක් කළ පමනින් එය ස්ථීර විසඳුමක් වෙන්නේ නෑ. අපි ක්‍රීඩකයන්ගේ හැකියාව වගේම ඔවුන්ට අප වෙනුවෙන් කළ හැකි දේත් දන්නවා, යනුවෙන් Rohit පවසා සිටියා.

පසුගිය තරගාවලියේ KL Rahulge දායකත්වය සහ එළඹෙන ලෝක කුසලානයේ දී එම කර්ණාටක ප්‍රාන්තයේ සුපිරි පිතිකරුවාගේ අවශ්‍යතාවය පිළිබඳව ද නායක Sharma අදහස් දැක්වුවා.

මට අනුව, KL Rahul ලෝක කුසලානය ක්‍රීඩා කරනවා වගේම ඔහු ආරම්භක පිතිකරුවා වේවි. මෑත කාලයේ දී ඔහුගේ දක්ෂතා කැපී නොපෙනුනත්, ඔහු කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. පසුගිය වසර දෙක තුනේ ඔහුගේ දක්ෂතා සුවිශේෂයි. මම හිතන්නේ නැහැ කෙනෙක් දක්ෂතා දැක්වූ පමණින් තවත් කෙනෙක්ගේ දක්ෂතා නොසැලකිය යුතුයි කියලා. KL (Rahul) අපිට ලබා දෙන දේ ඉතාමත් පැහැදිලියි. ඔහු තරග දිනවන්නෙක් වගේම මුල්පෙළ පිතිකරුවෙකු ලෙස ඔහුගේ දායකත්වය අපට ඉතාමත් තීරණාත්මකයි.”

Jasprit Bumrah සහ Harshal Patelගේ ආගමනය ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට ඉන්දියාවට ශක්තිමත් සංචිතයක් සාදා දෙන අතර එය නායකයාට එළඹෙන ලෝක කුසලානය සඳහා සිය කණ්ඩායම සූදානම් කර ගැනීමට ඉතාමත් වැදගත් වනු ඇත. ආසියානු කුසලානයේ දී කණ්ඩායමේ ප්‍රමුඛ පන්දු යවන්නන් නොමැතිව ක්‍රීඩා කිරීමට සිදු වුවද, වත්මන් පන්දු යවන බල ඇණිය පිළිබඳව සහ දඟපන්දු යවන්නන්ගේ සහ වේගපන්දු යවන්නන්ගේ සුසංයෝගය පිළිබඳව Rohit මෙසේ පැවසුවා.

අපිට සැම විටෙකම පන්දු යවන්නන්ගේ විවිධත්වයක් අවශ්‍ය වුනා. එක වර්ගයක පන්දු යවන්නන් සම පමණක් අපිට ලෝක කුසලානයට යන්න බැහැ. ලෝක කුසලාන සංචිතයේ සිටින වේගපන්දු යවන්නන් පස් දෙනා අපිට වෙනස් ආකාරවල හැකියාවන් පෙන්නුම් කරනවා. ඒ වගේම අපිට දක්ෂ දඟපන්දු යවන්නන් තිදෙනෙකුත් සිටිනවා, යනුවෙන් Rohit පැවසුවේ Ravindra Jadejaගේ හිඟය පුරවන Axar Patel පිළිබඳව ද පැහැදිලි විශ්වාසයකින් යුතුව වීම විශේෂත්වයක්.

“Jadeja නැති වීම අපිට විශාල පාඩුවක්. ඒ නිසා අපිව තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අවශ්‍ය වුනා. Axar හැම වෙලාවකම අපේ සැලසුම්වල සිටියා. Jadeja සහ Axar බොහෝ දුරට සමාන ක්‍රීඩකයන්. Jadeja නොමැති නිසා අපිට වෙන විකල්පයක් නැහැ. පැහැදිලිවම Axar තමයි අපට අවශ්‍ය දේ කරන්න පුළුවන් ක්‍රීඩකයා. පසුගිය තරගාවලියක දී බටහිර ඉන්දීය කොදෙවුවන් සමත් ඔහු විශිෂ්ට පිතිකරණයක යෙදුණා වගේම තරග දිනවන්නෙක් වුනා. පන්දු යැවීමේ දීත් ඔහුට Powerplay, මැද පන්දුවාර වල වගේම අවසන් පන්දුවාර වලත් පන්දු යවන්න හැකියාව තිබෙනවා.”

ඉන්දියාව පිතිකරණ අංශයෙන් ප්‍රවේගකාරී වනු ඇති බවට ද නායක Rohit ඉඟි දැක්වුවා.

අපි ආරම්භයේ සිටම ඒ ආකාරයට තමයි සැලසුම් කරගෙන සිටියේ. ඒ වගේම අපි දන්නවා අපිට හොඳ ආරක්ෂණ පිතිකරණ හැකියාවකුත් තිබෙනවා. මේ වගේ දේවල් ගැන අපි හුඟක් සාකච්ඡා කරනවා.

අපේ ක්‍රීඩකයන් දන්නවා ලකුණු 10ට කඩුලු 3ක් බිඳ වැටුණු වෙලාවක වගේම ලකුණු 50කට කිසිදු කඩුල්ලක් නොදැවුණු අවස්ථාවල පිතිකරණයේ යෙදෙන්න ඕන කොහොමද කියලා. හැම දෙයක්ම සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ ඒ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය දෙස බලන්න, යනුවෙන් Rohit Sharma පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<