මාස තුනක පූර්ණ විවේකයක් ගන්නැයි වෝන් කෝලිට කියයි

1297

පුදුම සහගත ලෙස පිතිකරණ රිද්මයෙන් බැහැරව සිටින සුපිරි ඉන්දියානු පිතිකරු විරාත් කෝලි තෙමසක පූර්ණ නිවාඩුවක් ගෙන වෙරළක කාලය ගත කළ යුතු බව හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් පවසනවා.

කොරෝනා වසංගතය නිසා මාස කිහිපයක නැවතුමකට ලක්වූ ඉන්දියා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ අවසන් තරග දෙක යළි පැවැත්වෙද්දී යළි අසාර්ථක වූ කෝලි දෙස බලා සිටිමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

අවසන් වසර පුරාම පිත්තෙන් බලාපොරොත්තු වූ මට්ටමේ දස්කම් දැක්වීමට අසමත් වූ කෝලි පසුගිය ටෙස්ට් තරග දෙකෙ හිදී යළි අසාර්ථක වුනා.

ඔහුගේ රිද්මය කෙතරම් අස්ථාවර ද කියතොත්, ඔහුට පිතිකරණයේ වාසනාව ද අහිමි වී තිබීම ඔහුගේ ආසන්නතම දැවී යාම් සලකා බැලීමේ දී දැකිය හැකි වුනා. එංගලන්තය තරගාවලිය සම කරගැනීමට සමත් වුනේ 2-2ක් ලෙසයි.

මම විරාත් දිහා බලාගෙන ඉන්න කෙනෙක්. IPL එකෙන් පස්සේ ඔහුට යම් විවේකයක් ලැබුණා. ඒත් මට පේන්නේ ඔහුට පූර්ණ නිවාඩුවක් අවශ්‍ය බවයි. ඔහුට මාස තුනක්වත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්න අවශ්‍ය බව පේනවා. යන්න වෙරළක ඉඳගෙන ඉන්න”, යැයි මයිකල් වෝන් Cricbuzz සමඟින් පවසා තිබුණා.

ගිහින් ඔබේ පවුලත් එක්ක කළ හැකි යමක් කරන්න. මොකද, ඔහු අතිදක්ෂ ක්‍රීඩකයෙකු නිසා ඔහුට අවුරුදු 20ක ක්‍රීඩා ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබෙනවා. මාස තුනක විවේකයකින් ඔහුට අයහපත් බලපෑමක් වෙයි ද? නෑ. ඔහුට උපකාරයක් වෙයි ද? ඔව්”, ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

එළඹෙන ඉන්දියා-එංගලන්ත විස්සයි විස්ස තරගාවලිය ගැන සලකා බැලීමේ දී, කෙටි කාලයක් තුළ තරග රටා කිහිපයකට හැඩගැසීම ක්‍රීඩකයෙකුට අපහසු බවයි වෝන් පවසන්නේ.

ඉන්දියා-එංගලන්ත කාලසටහන බැලුවොත්, ඒක විකාරයක්. මීළඟ අවුරුදු කිහිපයේ දී අපට මේ වගේ දේවල් නැවත නැවතත් දකින්න ලැබේවි. හැම තරග රටාවක්ම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට හැම තරග රටාවකම ක්‍රීඩා කිරීම පහසු නැහැ”, වෝන් පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<