බයිසිකලයෙන් ජාත්‍යන්තරයට – අර්ශ්දීප් සිං

1785
Arshdeep Singh
Courtesy – Indian Express

පිට පිට දෙවසරක්ම IPL තරගාවලිය තුළ දී සාර්ථක වූ වමත් වේගපන්දු යවන්නා, අර්ශ්දීප් සිං Punjab Kings (පන්ජාබ් කිංග්ස්) කණ්ඩායමේ සිට ඉන්දියානු ජාතික කණ්ඩායමට උසස් වීමක් ලැබුවා. මේ, බාධක මැද ඉදිරියට ආ ඔහුගේ ක්‍රිකට් ගමනේ මතකයන්.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-විස්ස තරගාවලිය සඳහා ඉන්දියානු වේගපන්දු යවන්නන් වශයෙන් සහභාගී වන්නේ බුවනේෂ්වර් කුමාර්, හර්ෂාල් පටෙල්, අවේෂ් ඛාන්, උම්රාන් මලික් සහ අර්ශ්දීප් සිං. මින් බුවනේෂ්වර් කුමාර් හැරෙන්නට අනෙක් සියලු වේගපන්දු යවන්නන් නවකයන්. ඉන් පැහැදිලි වන්නේ ඉන්දියානු ක්‍රිකට් අනාගතය ගැන එරට ක්‍රිකට් බලධාරීන් උනන්දු බවයි.

ඉන්දියානු නවක ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බොහෝ දෙනෙක් ජාතික තලයට එන්නේ බාධක සහ අභියෝග රැසක් පසු කරමින්. ඔවුන්ගේ රටේ මහජනතාවගේ ප්‍රමාණය බිලියනයකට වැඩියි. බිලියනයක් කියන්නේ මිලියන 1,000ක්. එනම් ලක්ෂ 10,000ක්. එය ශ්‍රී ලංකාවට සාපේක්ෂ කළොත්, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 22යි.

එහෙත් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන අයවලුන්ගේ ප්‍රමාණයම මිලියන 22කට වැඩිවන්නට පුළුවන්. ඒ නිසා බිලියන 1.38 දෙනෙකුගෙන් 11 දෙනෙකුට ඇතුළත් වෙන්න කරන සටනකින් පස්සේ ඉන්දියානු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙනවා කියන්නේ ලේසි පහසු කාරණයක් නොවෙයි.

Arshdeep Singh
අර්ශ්දීප් සිං ජනප්‍රිය වන්නට පෙර – (Courtesy – Punjab Kings)

2022 මැයි 22 ඉරිදා දවසේ IPL තරග රාත්‍රියේ දී පන්ජාබ් කිංග්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් දෙක තරග වදින්නට නියමිතව තිබුණා. පන්ජාබ් කණ්ඩායමේ අර්ශ්දීප් හැම තරගයකටම කලින් තමන්ගේ මවට දුර ඇමතුමක් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඔහු එදත් තමන්ගේ මවට දුරකතනයෙන් ඇමතුවා.

ඔහුගේ මව, බල්ජීත් කොවුර් ඒ වෙනකොට හවස පූජාවට සූදානම් වෙමිනුයි හිටියේ.

“ඔහු කිව්වා, ‘අම්මේ මම ඉන්දියා ටීම් එකට තේරිලා’ කියලා. මට කඳුළු නවත්ත ගන්න බැරි වුනා. එතකොට තමයි ඔහුගේ ටීම් බස් එකේ හිටපු යාළුවෝ කෝල් එකට ඇවිත් බංගාරා (පන්ජාබ් ශෛලියේ බෙර වාදන) ගහන්න පටන් ගත්තේ. මට එතකොට තේරුණා අර්ශ්දීප්ට ඒක කොච්චර ලොකු අවස්ථාවක් ද කියලා.” ඔහුගේ මවට ඒ දිනය කිසිදා අමතක නොවේවි. ඇය Indian Express ඔස්සේයි මේ අදහස් දැක්වීම කළේ.

“එයා හැමදාම කිව්වේ ‘ට්‍රේනින් ඉවර වෙලා ආවහම මසාජ් එකක් දෙන්න’ කියලා. ඒ කියන්නේ දැන් එයා ඉන්දියාවට සෙල්ලම් කරන්න පුහුණු වෙලා එනකොට මට වැඩි වෙලාවක් මසාජ් කරන්න වේවි” මෙසේ කියමින් ඇය සිනාසුණා.

“ඒක (ඉන්දියානු කණ්ඩායම තෙක් ආ ගමන) එයාට ගොඩක් අමාරු ගමනක් වුනා. අපට තියෙන ලොකුම සතුට තමයි එයා ඉන්දියන් කැප් එක දාලා ඉන්නවා දකින එක.” ඇය කිව්වා.

අර්ශ්දීප් සිං කියන්නේ ආරක්ෂක නිලධාරි දර්ශන් සිංගේ පුතා. දර්ශන් තමයි තමන්ගේ පුතාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ. අර්ශ්දීප් කුඩා කාලේ දී නිවාස ආසන්නයේ පුහුණු වෙමින් ඉන්නකොට ඔහු හොඳින් ඉන් ස්වින්ග් පන්දු (දකුණත් පිතිකරු තුළට දෝලනය වන පන්දු) යවනවා දර්ශන් දැක්කා. ඔහු තමන්ගේ පුතාව චන්දිගාර්වල ජස්වන්ත් රායි කියන පුහුණුකරුට හඳුන්වලා දුන්නා. එදා ඉඳන් ඔවුන් ජීවත් වෙලා හිටපු ඛරාර් කියන ගමේ ඉඳන් චන්දිගාර් වලට පුහුණුවීම් සඳහා දවසට දෙපාරක් යන්න-එන්න අර්ශ්දීප්ට සිදු වුනා.

අර්ශ්දීප් සිය පියාණන් සමඟ – (Courtesy – Indian Express)

“අර්ශ්දීප් ඇකඩමියට ආවයින් පස්සේ පන්දු දෝලනය කිරීමේ ඔහුගේ හැකියාව ගැන මගේ අවධානය යොමු වුනා. ඔහුගේ අත ඉහළින් ආවා සහ ඔහුට ඒ වෙනකොටත් හොඳ උසක් තිබුණා. මට මතකයි ඔහු පන්දු හයම වෙනස් විදියට යවන්න උත්සාහ කරනවා. ඔහුගේ ඉලක්කය නම් ඒ වෙනකොට හොඳින් තිබුණේ නැහැ. ඒත් ඔහුගේ දෝලන හැකියාව ගැන දැකලා මම හිතුවා ඔහුට දිග ගමනක් තියෙනවා කියලා.” පුහුණුකරු ජස්වන්ත් රායි එහෙමයි කියන්නේ.

අර්ශ්දීප් අනිවාර්යෙන්ම ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා පුහුණුකරුට එක දවසක දී තේරිලා තිබුණා.

“ඒක ග්‍රීෂ්ම දවසක්. අර්ශ්දීප් උදේ 5.30ට පටන් ගන්න ප්‍රැක්ටිස් වලට එන්නත් ටිකක් පරක්කු වුනා. මම ඒ ගැන ඔහුගෙන් ඇහුවහම ඔහු ‘සර් කැමති දඬුවමක් දෙන්න’ කියලා කිව්වා.”

“ප්‍රැක්ටිස් වලින් පස්සේ මම දැක්කා බයිසිකල් පාක් එකේ ඔහුගේ බයිසිකලේ නෑ කියලා. මම ඒ ගැන ඔහුගෙන් ඇහුවහම ඔහු කිව්වා ‘ඔහුගේ බයිසිකලේ කැඩිලා, ඔහු ඛරාර් ඉඳන් පයින්ම ප්‍රැක්ටිස් වලට ආවේ පයින්’ කියලා. ඔහුට මට කලින් කියන්න තිබුණා, ඒත් ඔහු එහෙම කළේ නැහැ. එදා මට දැනුණා ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවශ්‍ය දැඩි උනන්දුවක් ඔහුට තියෙනවා කියලා” ජස්වන්ත් රායි මහත්තයා උදේ අර්ශ්දීප්ව කියවගත්තේ නැතත්, හවස් වෙද්දී ඔහු තේරුම් ගත්තා අර්ශ්දීප් කියන්නේ මොන වගේ ශිෂ්‍යයෙක් ද කියලා.

2018 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වුනේ ඉන්දියානු කණ්ඩායමයි. අර්ශ්දීප් ඒ සංචිතයට ඇතුළත් වුනත් ඔහුට ක්‍රීඩා කරන්නට ලැබුණේ තරග දෙකකට විතරයි. ඒ තරග දෙකේ දීත් ඔහු කඩුලු දෙකක් දවා ගත්තා.

විජේ හසාරේ කුසලාන තරගාවලියටත් (ඉන්දියානු දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය) ඔහු ඒ අවුරුද්දේ දී ම ක්‍රීඩා කළා. ඉන් පස්සේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු මයික් හෙසන් පෞද්ගලිකවම අර්ශ්දීප්ව තමන්ගේ කණ්ඩායමට මිල දී ගැනීමට උනන්දු වුනා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 4කට.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණු 2020 IPL තරගාවලියේ දී කඩුලු 9ක් වාර්තා කරගන්න අර්ශ්දීප් සමත් වුනා. පහුගිය අවුරුද්දේ දී ඔහු කඩුලු 18ක් ලබාගෙන, මොහොමඩ් ෂමි, නේදන් එලිස්, ආදිල් රෂීඩ්, ක්‍රිස් ජෝඩන් වගේ පන්දු යවන්නන් හිටපු පන්ජාබ් කණ්ඩායමේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වුනා.

Arshdeep Singh
අර්ශ්දීප්ගේ මව (වමේ), පුහුණුකරු ජස්වන්ත් (මැද), පියා (දකුණේ) – (Courtesy – Indian Express )

“19න් පහළ ලෝක කුසලානයෙන් පස්සේ අපි ඔහුගේ පන්දු යැවීම ගැන ගොඩක් වැඩ කළා. මම වමත් දඟපන්දු යවන්නෙක්. ඉන් ස්වින්ග් එකට දබරැඟිල්ල යොදාගන්න විදිහත්, අවුට් ස්වින්ග් එකට මැණික් කටුව යොදාගන්නත් මම ඔහුට කියා දුන්නා. අපි ඔහුට පුහුණු තණතීරුවේ මීටර් 5, 6, 7, 8 කොටුවක පන්දු යවන්න දුන්නා. මම වසීම් අක්‍රම්ගේ වීඩියෝ වලින් ඔහුට පෙන්නුවා කඩුල්ල ළඟට ඇවිල්ලා පන්දු යවන විදිහත්, කඩුල්ලෙන් ඈත්වෙලා පන්දු යවන විදිහත්.” පුහුණුකරු රායි මතක් කළා.

IPL තරගාවලිය තුළ දී අර්ශ්දීප්ගේ විශේෂත්වය වුනේ අවසන් පන්දුවාරවල දී පිතිකරුවන්ව පාලනය කරගන්නට තියෙන හැකියාව. ඒ සඳහා ඔහුට හොඳ ආත්ම විශ්වාසයකුත් තිබුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි-විස්ස තරගාවලියට ඉන්දියානු බලධාරීන් විසින් ඔහුව තෝරාගන්නවා ඇත්තෙත් ඒ නිසා වෙන්න පුළුවන්.

අර්ශ්දීප්ගේ පියාට ඔහුගේ පුත්‍රයා ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්.

එයා පුරුද්දක් හැටියට කරන එක දෙයක් තමයි එයාම හදාගත්තු නීති රීති නොකඩන එක. මොනවා වුනත් එයා ඇකඩමියට බයිසිකලය පැදගෙන ගියා. අවුරුදු 18 වෙනකම් ස්කූටරයක ගියේ නැහැ. ඉන්දියාව වෙනුවෙන් හොඳටම දස්කම් දක්වලා මිසක් එයා සතුට සමරන එකක් නැහැ. ඊට කලින් තමන්ගේම වීඩියෝ බල බල තමන්ගේ වැරදි හොයාගන්න කාලය ගනීවි.” දර්ශන් සිං එහෙම කිව්වා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<