“ඇය මිය ගියේ මගේ දෑස් ඉදිරියේ දීයි” – රෂීඩ් ඛාන්

17150
Rashid Khan
Courtesy – The Advertiser

මට වස දුන්නත් මම බොනවා” ඔහුගේ මව ලෙඩ ඇඳේ සිට දුර්වල හඬින් කීවාය. ඇයට ලුණු කෑම තහනම් ය. තවත් බොහෝ දෑ තහනම් වූ පසුබිමක ඇය ඉල්ලා සිටියේ වස පානයකි.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්වයේ පසු වූ රෂීඩ්ගේ මව ඇෆ්ගනිස්තානයේ ඔවුන්ගේ නිවසේ එක්තැන් ව සිටියාය. ආහාර තහනම විසින් ඇගේ මනස වියවුල් කොට තිබුණි. රෂීඩ් උත්සාහ කළේ ඇයට දොඩම් යුෂ පානයකින් සංග්‍රහ කරන්නටයි. එහෙත් ඇය ඉල්ලා සිටියේ වස පානයකි.

එය අනෙක් දිනවලට වඩා වෙනස් දිනයකි. ඔහුගේ මව විසින් ඉල්ලා සිටින්නේම තහනම් කෑම බිම ය. ඇයට දොඩම් යුෂ වීදුරුවක් පිළියෙල කොට ලබා දී ඔහු යළි සිය කාමරය වෙත ගියේය. එහෙත් ගත වූ මොහොතක දී රෂීඩ්ගේ සොයුරිය හඬන හඬ ඔහුට ඇසුණි. ඔහු වේගයෙන් සිය මවගේ ලෙඩ ඇඳ වෙත ගියේය. ඇය ඔහුගේ මුහුණ දෙස බලද්දීම ඇගේ හිස කඩා වැටිණි. ඒ ඇගේ අවසානයයි.

Rashid Khan
රෂීඩ් සිය මවගේ අවසන් කටයුතු අතරතුර (Courtesy – @rashidkhan_19)

එතෙක් ඇය මරණාසන්නව සිටින බව රෂීඩ් දැන සිටියේ නැත. ඔහු මාසයක් පමණ ඇගේ ලෙඩ ඇඳ අසල සිටිමින් ඇයට ආවතේව කළේය. දෙපා සම්බාහනය කළේය. එක් දිනක පාන්දර 4.00ට පමණ රෂීඩ් ඇගේ දෙපා සම්බාහනය කරමින් සිටින විට ඇය අවදි විය.

උඹ නිදි නැද්ද?” ඇය විමසයි.

මම ඉක්මනට නිදාගන්නම්. ඔයා දැන් නිදියන්න.” රෂීඩ්ගේ පිළිතුර එයයි.

එදා ඇය මට ආශීර්වාද කළ හැටි…” රෂීඩ් මේ බව සිහි කළේ නෙරෝලි මෙඩොව්ස් හා කළ සම්මුඛ සාකච්ඡාවක දීයි.

2020 වසරේ එක් දිනෙක ඔහුගේ මව මෙලොව හැර ගියාය. ඇය අවසන් වරට ඔහු දෙස බැලූ ආකාරය තවමත් ඔහුගේ සිතෙහි කෙටී ඇත. ඇගේ මරණයෙන් දින දෙකකට පසුවත් ඔහු ඔහුගේ සොහොයුරා අමතා පැවසුවේ “අම්මව හොඳින් බලාගන්න” යනුවෙනි. මව සහ රෂීඩ් අතර තිබූ සම්බන්ධය එවැන්නකි. ඇය ඔවුන් හැර ගිය පසුවත් එසේ හැර ගිය බව ඔහුගේ සිතට ගොස් තිබුණේ නැත. ඇගේ හඬ, ඇගේ රුව සිහිවන බැවින් අද වන විටත් ඔහුට සුව නින්දක් අහිමිව ගොස් ඇත.

ඔහුගේ නින්දට පොලු දමන තවත් එක් ශබ්දයක් ඇත. ඒ බෝම්බයක ශබ්දයයි. 19න් පහළ පුහුණු කඳවුරක සිටිය දී කන් දෙදරවන ඒ හඬ ඔවුන්ට ඇසුණි.

සුන්බුන් හැමතැනම තිබුණා. දූවිලිත් එක්ක…” රෂීඩ් පවසයි.

ඔහුට සිතුණේ යමෙකු පැමිණ ඔවුන් සියලු දෙනාටම වෙඩි තබා ඝාතනය කරනු ඇති බවයි. ඔහු දොර අගුළු ලෑවේය. එක් තැනක වාඩි වී සිටියේය. යමෙකු පැමිණ ‘එය එම ගොඩනැගිල්ලේ සිදු වූ පිපිරුමක් නොවන බව’ ඔවුන්ට පවසන තෙක්ම ඔවුන් එහි වාඩි වී සිටියේය. පාන්දර 1 සිට පසුදා උදෑසන 8 දක්වා ඔවුන් සිටියේ එකම තැනක ය.

Rashid Khan
කාබුල් නගරයේ දී පිපිරී ගිය කාර් බෝම්බයක් (Courtesy – NDTV)

ඒ පිපිරීම් සද්දේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒක වෙනස් සද්දයක්. ජිවිතේ කවමදාකවත් එහෙම සද්දයක් ඇහිලා තිබුණේ නෑ. ඇෆ්ගනිස්තානයේ මොකක් හරි නරක දෙයක් වෙනකොට මට ඒ සද්දේ මතක් වෙනවා”, රෂීඩ් කියයි.

ඔහුගේ කුඩා කාලයේ දී ඔහුගේ දෙමාපියන් ඔහුව වීදියේ ක්‍රීඩා කරන්නට නිදහස් නොකළේය. ඒ ඔහු නරක වෙලාවක නරක තැනකට කොටු වනු ඇතැයි ඔවුනට තිබූ සැකය නිසා ය.

සටන් පටන් අරගෙන තිබුණේ. තුවක්කු එහෙම තිබුණා. ඒකයි මගේ දෙමව්පියන් මම ගැන ගොඩක් සැලකිලිමත් වුනේ”, ඔහු සිහිකරයි. කුඩා කාලයේ දී වැඩිමනක් නිවස තුළම ගත කළ රෂීඩ් පාකිස්තානයට ඉගෙනීමට යන තෙක්ම නිදහස් දරුවෙකු නොවූයේය.

මවගේ අභාවයට මාස 18කට පෙර ද ඔහුට අවාසනාවන්ත පුවතක් අසන්නට ලැබුණේය. ඒ වන විට ඕස්ට්‍රේලියාව තුළ ක්‍රීඩා කරමින් සිටි ඔහුට දැන ගන්නට ලැබුණේ සිය පියා රෝගාතුරව සිටින බවයි. දින කිහිපයකට පෙර දීත් ඔහු හා දුරකථන සංවාදයක නිරත වූ රෂීඩ් හට එය විශ්වාස කිරීමත් අපහසු විය. පසුව සිය සොහොයුරා හට වීඩියෝ ඇමතුමක් ගෙන පියාව පෙන්වන්නටැයි ඉල්ලා සිටියත් ඔහුව ඒ වන විටත් දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කොට තිබුණි.

මට එයාව දකින්නවත් ලැබුණේ නැහැ”, රෂීඩ් කියයි. ඉන් පැය කිහිපයකට පසුව අසන්නට අකමැති පුවත ඔහුට ලැබුණි. ඔහුගේ පියා මෙලොව හැර ගොස් තිබුණි.

ඒ තත්වය යටතේ මානසික කඩාවැටීමකට ලක් වූ රෂීඩ්ගේ සිත නිවුවේ ඔහුගේ මවයි. ඇය විටින් විට ඔහු හා සංවාද කරමින් ඔහුට ධෛර්යය දුන්නාය. යුද්ධයෙන් විශාල ලෙස බැටකමින් සිටි ඇගේ පරම්පරාවට ධෛර්යය උරුම වී තිබුණි. රෂීඩ් පවසන්නේ,

එයාලා දන්න කතාන්දර භයානක ඒවා. චිත්‍රපටි වගේ. මම දන්න ශක්තිමත්ම මිනිසුන් තමයි ඔවුන්”, යනුවෙනි.

අවසානයේ ඇයවත් ඔහුට අහිමි විය. එහෙත් ඔහු ක්‍රීඩාවෙන් පල්ලම් බැස නැත. දිනෙන් දින ඔහුගේ නම ක්‍රිකට් ලෝකය තුළ ප්‍රබලත්වයට පත්වනවා මිස කඩාවැටීමක් නම් නැත. රෂීඩ් ඛාන් යනු පිතිකරුවන්ගේ ගෞරවය නිතැතින්ම හිමිවන්නෙකි.

මේ සියල්ල මැද ඔහු 2022 IPL තරගාවලිය සඳහා නව කණ්ඩායමක් සමඟින්, නව දැක්මකින් පුහුණු විය. තරගාවලියට නවක කණ්ඩායමක් වූ Gujarat Titans (ගුජරාත් ටයිටන්ස්) සමඟ එක්වී අවසන් මහා තරගයට පැමිණි රෂීඩ්, කණ්ඩායමේ අති ප්‍රබල පන්දු යවන්නෙකි.

තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වූ ශතක 4ක හිමිකරු, ජොස් බට්ලර් පවා අවසන් මහා තරගයේ දී රෂීඩ් හට ගෞරවයෙන් ක්‍රීඩා කළේය. සැලසුම වූයේ කඩුලු බිඳ දමන්නෙකු වන රෂීඩ් හට කඩුලු ලබා නොදීමයි. පසුව දෙව්දත් පඩික්කාල්ගේ කඩුල්ල දවා ගනිමින් රාජස්තාන් රෝයල්ස් ඉනිම කඩාවැටීමට අවශ්‍ය පහර ගැසූ රෂීඩ් කණ්ඩායමට සිය දායකත්වය උපරිමයෙන් ලබා දුන්නේය. තරගය අවසන් වූයේ 2022 වසරේ IPL ශූරයන් බවට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ඔසවමිනි.

ඔහුගේ ජාත්‍යන්තර කණ්ඩායම වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම තවමත් අත්දැකීම් ලබන අවධියේ සිටින බව සැබෑවකි. එරට දේශපාලනික, ආර්ථික, සමාජීය පසුබිම ද අවුල් වියවුල් වලින් ගහණ ය. එහෙත් රෂීඩ්ගේ පන්දු යැවීම ධනවත් ය. වියවුලින් තොර ය. මේ වන විට ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන පා දඟපන්දු යවන්නන් අතුරින් ඔහු අති ප්‍රබලයෙකු බව අවිවාදාත්මක ය.

ප්‍රශ්න වලින් මිරිකී සිටින ඇෆ්ගනිස්තාන පුරවැසියන්ගේ මුවගට සිනහවක් ඇන්දවීමේ බලාපොරොත්තුව ඔහුගේ මේ ප්‍රබලත්වයට එක් සාධකයකි. පෞද්ගලික දස්කම් ඉක්මවා රටක් වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ප්‍රබලයන්ම නොවන්නේ ද?

“IPL එකේ දි ඉන්දියානු ක්‍රීඩකයෙක් පිටියට එනකොට ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඔල්වරසන් දෙන විදිය තියෙනවා නේද? මටත් ඕන ඒ හැඟීම”, ඔහු ඒ හැඟීම ඉල්ලා සිටින්නේ පීඩිත ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන්ගෙනි.

එහෙත් ඔහු දැන හෝ නොදැන මේ මොහොතේ දීත් මුළු ලොවක්ම ඔහුට ඔල්වරසන් දෙයි. “Rashid Khan“ යනු ඇෆ්ගනිස්තානයෙන් උපන් ජාත්‍යන්තර සන්නාමයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<