ක්‍රිකට් ගහන්නෙ ඇඟෙන් විතරද?

Getty Images

ඔබ ලෝක පූජිත පන්දු යවන්නෙක් යැයි මොහොතකට සිතන්න.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔබ ජාත්‍යන්තර පිටියේ විස්සයි විස්ස තරගයකට සහභාගී වෙමින් සිටියි.

දැන් ඔබට යැවීමට නියමිතව ඇත්තේ තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවයි. මුලින් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 175ක ඉලක්කය මේ වන තෙක් සාර්ථක ලෙස හඹා ආ ප්‍රතිවාදී කණ්ඩායම පන්දුවාර 19.5ක දී දැන් ලකුණු 170ක් රැස් කරගෙන ඇත.

කොදෙව් කණ්ඩායමට ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ යවන අවසන් පන්දුවට ලකුණු 6ක් ලබා ගත යුතුව ඇත.

පන්දුවට පහර දෙමින් සිටින්නේ දකුණත් පිතිකරු අන්ඩ්‍රේ රසල් ය. පෙර පන්දුවාරයේ හයේ පහරවල් කිහිපයක් ද එල්ල කර ඇති ඔහු ඉතා හොඳ රිද්මයකින් පිතිකරණයේ යෙදෙමින් සිටියි. නිවැරදිව යොමු වූ යෝකර් පන්දුවලට මුහුණ දීමේ දී ඔහු තරමක දුර්වලතාවයක් පෙන්වුවද යන්තමින් හෝ ඉලක්කය වෙනස් වී පන්දුව ගුඩ් ලෙන්ත් හි පතිත වුවහොත් හෝ එසේ නැතිනම් පන්දුව ෆුල්ටොස් පන්දුවක් බවට පත් වුවහොත් රසල්ගේ පිත්තෙන් නික්මෙන පන්දුව නතර වන්නේ හතරේ සීමාවෙන් එපිට ක්‍රීඩාගාරයක බව ඔබ හොඳින් දනියි.

Getty Images

එසේනම් අවසන් පන්දුව ලෙස ඔබ රසල්ට යොමු කරන්නේ කුමන ආකාරයේ පන්දුවක් ද?

  • අවදානමක් ගෙන කෙසේ හෝ යෝකර් පන්දුවක් යැවීමට උත්සාහ කරන්නේ ද?
  • නැති නම් රසල්ට ළඟා වීමට අපහසු වන පරිදි පිට ඉන්නට පිටතින් වයිඩ් සීමාව අසලින් ඇදී යන පරිදි පන්දුව යොමු කරන්නේ ද?
  • නැතිනම් රසල්ව පුදුමයට පත් කිරීමට බවුන්සර් පන්දුවක් යොමු කරන්නේ ද?
  • එසේත් නැති නම් වේගය අඩාල කරමින් slow ball පන්දුවක් යොමු කරන්නේ ද?

ඔබ කුමන ආකාරයේ පන්දුවක් යොමු කිරීමට තීරණය කළත් මේ වන විට ඔබේ සිතේ මද චකිතයක් ඇතිවී තිබෙන බවට නම් සැකයක් නොමැත.

මේ ලිපිය කියවන අතරේ තරගයක අවස්ථාවක් සිහි කළ පමණින් ඔබට එසේ චකිතයක් ඇතිවනවා නම් සැබෑ ලෙසම තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මොනතරම් පීඩනයක් එල්ල වනවා ඇති ද?

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ පිටිය තුළ දී එල්ල වන පීඩනය කළමණාකරනය කර ගැනීමේ හැකියාව මතය. ක්‍රීඩා කුසලතාවය අතින් එකිනෙකාට තරමක් හෝ සමාන වුවත් අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ ඇති විශේෂත්වය වන්නේ මේ පීඩනය දරාගෙන ක්‍රීඩා කිරීමට හැකි වීමයි. 

Getty Images

දස දහස් ගණනක් වූ සජීවී ප්‍රේක්ෂකයන් හා මිලියන ගණනක් වූ රූපවාහිනී ප්‍රේක්ෂකයන් දෑස් දල්වා බලා සිටින විට ක්‍රීඩා පිටිය මැදට විත් තම සුපුරුදු දස්කම් දැක්වීම සුළුපටු කාර්යයක් නොවේ. දේශීය ක්‍රීඩා පිටියේ ලකුණු දහස් ගණනින් රැස් කළ ඇතැම් ක්‍රීඩකයන් ජාත්‍යන්තර පිටියට පිවිසුන විට අසාර්ථක වන අවස්ථා අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එකවරම ඔවුන් වෙත එල්ල වන පීඩනය නිවැරදි ලෙස කළමණාකරනය කර ගැනීමේ හැකියාව ඔවුන් සතුව නොතිබීම නිසාය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් මේ පීඩනය කළමණාකරනය කර ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබන පිරිසකි. ඔවුන් වර්තමානයේ ඉටු කරන්නේ අතීතයේ ග්ලැඩියේටර් සටන්කරුවන් විසින් ඉටු කළ කාර්යයයි.

ඔබ හොඳින් විමසා බැලුවහොත් විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාව ජනප්‍රිය වීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානය වන විට වෙනමම තලයකට ළඟා වී ඇති බව ඔබට පෙනෙනු ඇත. තරගකාරීත්වය හා උපක්‍රමශීලී භාවය අතින් එය දැන් කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන යුද්ධයක් හා සමාන වී ඇත. 

අප මොහොතක් විමසා බැලුවහොත් වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් සැබැවින්ම සොල්දාදුවන් පිරිසක් හා සමානය.

යුද්ධයකට සහභාගී වන සොල්දාදුවන් හට යුද්ධය ජය ගැනීමට අවශ්‍ය නම් පළමු කොටම ඔවුන් යුද්ධ කිරීම සඳහා අවශ්‍ය මූලික කුසලතා සම්පූර්ණ කළ යුතුය. ඉන්පසුව එම කුසලතා වැඩි දියුණු කර ගැනීමට නිතර පුහුණුව ලැබිය යුතුය. ඉන් නොනැවතී ඔවුන් තම ප්‍රතිවාදීන්ගේ උපක්‍රම අධ්‍යයනය කළ යුතුය. එසේම ප්‍රතිවාදීන්ගේ ශක්තීන් හා දුර්වලතා හොඳින් හඳුනා ගත යුතුය. ඒ අනුව සැලසුම් සකස් කරමින් යුද්ධයට එළඹිය යුතුය.

Getty Images

ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ කාර්යභාරය ද මීට බොහෝ සෙයින් සමානය. 

කුසලතාවයෙන් පරිපූර්ණ ක්‍රීඩකයන් පිරිසක් තෝරාගෙන පළමුකොටම ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුය. අනතුරුව ඔවුන්ගේ දුර්වලතා එකින් එක හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීම සඳහා ඔවුන් පුහුණු කළ යුතුය. ඉන් නොනැවතී ප්‍රතිවාදී කණ්ඩායම්වල උපක්‍රම හා ඔවුන්ගේ ශක්තීන් හා දුර්වලතා හඳුනාගෙන ඒවාට අනුව සැලසුම් සකස් කරමින් තරගයට පිවිසිය යුතුය.

මේ ක්‍රියාවලියෙන් තොරව ජාත්‍යන්තර තරග බිමේ සාර්ථක වීම සිහිනයක් පමණි. නමුත් එම උපක්‍රමවලින් පමණක් වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත නොහැක.

බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන් පවසන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව කායිකව සිදු කරන සටනක් නොවේ. එය මානසික සටනකි. ජාත්‍යන්තර තරග බිමේ සාර්ථක විය හැක්කේ මානසික අතින් වඩා ශක්තිමත් ක්‍රීඩකයා හටය. 

දැඩි පීඩනයක් සහිත වටපිටාවක ක්‍රීඩකයාට තම මනස නිදහසේ තබා ගත හැකි නම් නිවැරදි අවස්ථාවේ දී නිවැරදි තීරණ ගැනීමට ඔහුට හැකියාව ලැබේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ එසේ මනස නිදහසේ තබාගන්නා අතරේ තම ශක්තීන් හා දුර්වලතා අවබෝධ කරගෙන ඉදිරියට යෑමේ හැකියාව අනුවය.

Getty Images

මේ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට ජාත්‍යන්තර ක්‍රීඩකයන් පෙළඹ ඇත. ඔවුන් ඒ සඳහා තාක්ෂණය මෙන්ම ඔවුන්ගේ පූර්ව අත්දැකීම් යොදාගන්නා ආකාරය සිත් ඇදගන්නා සුළුය. මේ උපක්‍රම කිහිපයක් පිළිබඳව දැන් අපි විමසා බලමු.

1 – වීඩියෝපට විශ්ලේෂණය

ක්‍රීඩකයන් හට තම අඩුපාඩු හඳුනා ගැනීමට සහ ප්‍රතිවාදීන්ගේ උපක්‍රම ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා උපයෝගී කරගත හැකි මෙන්ම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ඉතා බහුල වශයෙන් භාවිතා කරන එක් ක්‍රමවේදයක් වන්නේ වීඩියෝ පට විශ්ලේෂණය යි.

මෙහි දී බොහෝ විට තමා මීළඟට සහභාගී වීමට නියමිත තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම මෑතදී සහභාගී වූ තරග කිහිපයක වීඩියෝ දර්ශන රැගෙන තමාට අභියෝගයක් එල්ල වෙතැයි සිතෙන ක්‍රීඩකයන්ගේ තරග රටාවන් අධ්‍යයනය කිරීම සිදුවේ.

එහි දී ක්‍රීඩකයා පිතිකරුවෙකු නම් ප්‍රතිවාදී පන්දු යවන්නන් පිළිබඳව අවධානය යොමු කරයි. එම පන්දු යවන්නන් වැඩි වශයෙන් යොමු කරන්නේ කුමන ආකාරයේ පන්දු ද, හතරේ පහරක් එල්ල කළ පසුව සාමාන්‍යයෙන් ඊළඟට යොමු කරන්නේ කුමන පන්දුවක් ද, ඔවුන් එල්ල කළ හැකි තර්ජනාත්මකම පන්දු මොනවා ද, ඔවුන්ගේ කඩුලු දවා ගැනීමේ උපක්‍රම මොනවා ද යනාදී කාරණයන් කෙරෙහි එහි දී අවධානය යොමු කෙරෙයි.

Getty Images

එසේම ක්‍රීඩකයා පන්දු යවන්නෙකු නම් ප්‍රතිවාදී පිතිකරුවන් පිළිබඳ හැදෑරීමක් සිදු කරයි. එක් එක් පිතිකරුවාගේ ශක්තීන් මොනවා ද, දුර්වල ස්ථාන මොනවා ද, ඔවුන් වැඩි වශයෙන් දැවී යන්නේ කුමන ආකාරයේ පන්දුවලට ද, ඔවුන් පිටිය තුළ වැඩි වශයෙන් ලකුණු රැස් කරන ස්ථාන මොනවා ද ආදී කරුණු ගැන අවධානයක් යොමු කරයි.

ඊට අමතරව මෙම ක්‍රීඩකයන්ට තමාගේ ක්‍රීඩා රටාවේ පවතින දුර්වල ස්ථාන හඳුනා ගැනීම උදෙසා ද මෙම වීඩියෝ විශ්ලේෂණයන් බොහෝ සෙයින් උපකාරී වෙයි. පසුගිය තරගවල දී තමා දැවී ගිය ආකාරයන්, තමාට ලකුණු රැස් කිරීමට අපහසු වූ පන්දු ආදිය අධ්‍යයනය කිරීම තුළින් තම දුර්වලතා හඳුනාගෙන පුහුණු දැල් තුළ දී ඒවාට පිළියම් සොයා ගැනීමට හා අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීමට මෙමගින් ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිවේ.

මෙමඟින් ක්‍රීඩකයන් හට වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව තරගවලට පිවිසීමට හැකියාවක් ලැබෙන අතර තමා හා තම ප්‍රතිවාදීන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම නිසා හොඳින් තරගය සැලසුම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.

අතරමග නැවතුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ලොව පුරා පැතිර යාම ආරම්භ කල නව කොරෝනා වයිරසය අද වන විට ලොව පුරා රටවල්……………..

2 – සැබෑ තරගයක උණුසුම පුහුණු දැල් තුළට ගෙන ඒම

මෙහි දී සිදු වන්නේ ක්‍රීඩකයෙකු හට සැබෑ තරගයක් තුළ මුහුණ දීමට සිදු විය හැකි විවිධ අවස්ථා පුහුණු දැල තුළ නිර්මාණය කර ක්‍රීඩකයන් එම අවස්ථා සඳහා හුරු කරවීමයි. බොහෝ විට මෙය පුහුණුකරුවන් විසින් සිදු කරයි.

Getty Images

එහි දී පිතිකරුවෙකු පුහුණු දැල තුළ පිතිකරණයේ යෙදෙමින් සිටින විට පුහුණුකරුවා ඔහු වෙත ගොස් ඔහු විසින් කිසියම් නිශ්චිත පන්දු ගණනක දී නිශ්චිත ලකුණු ගණනක් රැස් කළ යුතු බවත්, ඒ සඳහා පන්දු රකින්නන් යොදවා ඇති ආකාරය කෙසේ ද යන්නත් පහදා දීම සිදු කරයි.

එහි දී පිතිකරුවා කෙසේ හෝ තමාට ලබා දුන් ඉලක්කය ඉටුකර ගැනීම සඳහා උත්සාහ කරයි. ඔහු එම ඉලක්කය සාර්ථක කරගතහොත් එමගින් ඔහුට ලැබෙන ආත්ම විශ්වාසය ඉතා ඉහළය. ඔහුට සැබෑ තරගයක් තුළ දී එවැනි අවස්ථාවක් යළිත් එළඹුණහොත් තමා පුහුණු දැල් තුළ දී සාර්ථක වී ඇති නිසා එම අවස්ථාවට හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දීමේ හැකියාවක් ඔහුට ලැබෙයි. 

නමුත් යම් හෙයකින් ඔහුට ඉලක්කය සාර්ථක කර ගැනීමට නොහැකි වුවහොත් තමා විසින් සිදු කළ වැරදි මොනවා ද යන්න අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබේ. ඒ අනුව එම වරදින් පාඩමක් ඉගෙන ගෙන ඊළඟ අවස්ථාවේ දී එම වරද නිවැරදි කර ගැනීමේ අවස්ථාව එම ක්‍රීඩකයාට හිමිවේ.

3 – ක්‍රීඩකයාගේ අඩුපාඩු මඟහරවා නිවැරදි චර්යා රටාවක් ඔහුට හුරු කිරීම

ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුගේ මානසිකත්වය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත්වන තවත් එක් කාරණයක් වන්නේ ඔහුට නිවැරදි ක්‍රීඩා චර්යා රටාවක් (Routine) හුරුකරවීමයි. එනම් ඔහුගේ ක්‍රීඩා රටාව අවබෝධ කරගෙන එහි ඇති අඩුපාඩු මඟහරවමින් නිවැරදි චර්යා රටාවන් සඳහා ඔහුව හුරු කරවීමයි.

මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස මහේල ජයවර්ධන සතු එක් චර්යා රටාවක් පෙන්වා දිය හැක. 

Getty Images

මහේල තමා හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කරන සෑම අවස්ථාවකම තණතීරුවේ අනෙක් අන්තය වෙත සෙමෙන් ඇවිදගොස් පිත්ත සීමා ඉරට එහායින් ස්පර්ශ කර ලකුණ සම්පූර්ණ කරයි. මහේල මෙසේ කරන ආකාරය ඔබ ඕනෑ තරම් දැක ඇති බවට සැකයක් නැත. 

මහේලගේ මෙම චර්යා රටාවට හේතු වී ඇත්තේ ඔහු නාලන්ද විද්‍යාලයේ පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේ ඇති කරගත් පුරුද්දකි.

මහේල පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන අවධියේ හතරේ හෝ හයේ පහරක් එල්ල කළ ඇතැම් අවස්ථාවල දී ඊළඟ පන්දුවට දැවී යාමේ පුරුද්දක් තිබී ඇත. කිහිප වතාවක් මෙසේ සිදු වීමෙන් පසුව මහේල තේරුම් ගෙන ඇත්තේ හතරේ හෝ හයේ පහර එල්ල කිරීමෙන් ඇති වන උත්තේජනය නිසා (Adrenaline Rush) අනවශ්‍ය පහර එල්ල කිරීමට යාමෙන් තමාට එසේ සිදුවන බවයි.

මේ නිසා එම අනවශ්‍ය උත්තේජනය පාලනය කර ගැනීම සඳහා තණතීරුවේ අනෙක් අන්තයට ඇවිද යාමට තමා පුරුදු වූ බවත්, එසේ අනෙක් අන්තයේ සිට ආපසු තම සීමා ඉර වෙත ඇවිද එන අතරේ යළිත් ඊළඟ පන්දුවට මුහුණ දීම සඳහා මනස සකසා ගැනීමට අවශ්‍ය වේලාව තමාට ලැබුණ බවත් මහේල සඳහන් කරයි.

මෙම චර්යා රටාවෙන් මහේලට කෙතරම් සාර්ථක ප්‍රතිඵල ලැබුනේද යත් ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා තෙක්ම මේ පුරුද්ද පවත්වා ගැනීමට වගබලා ගත්තේය.

මහේලගේ මෙම චර්යාත්මක වෙනස ඔබට හොඳින් පෙනෙන එකක් වුවද, පියවි ඇසට නොගැටෙන කුඩා චර්යාත්මක වෙනස්කම් මඟින් විශාල ප්‍රතිඵල ලබා ගත් ක්‍රීඩකයන් ද බොහොමයක් සිටියි.

එවැනි එක් අවස්ථාවකට උදාහරණයක් තවත් ශ්‍රී ලාංකික සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ඇසුරින් පෙන්වා දිය හැක.

Getty Images

2014/15 තරග සමය වෙනුවෙන් නවසීලන්ත සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී ටෙස්ට් තරග දෙකකට සහභාගී විය. පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී සංගක්කාරට රැස්කර ගැනීමට හැකි වූයේ පිළිවෙළින් ලකුණු 6ක් හා ලකුණක් පමණි. ඉනිම් දෙකෙහිදීම නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ගේ ගොදුරක් වන්නට සංගක්කාරට සිදු විය. 

තරගයෙන් පසුව තම දැවී යාම් විශ්ලේෂණය කිරීමේ දී සංගක්කාරට අවබෝධ වී ඇත්තේ පන්දුයවන්නා පන්දු යැවීමේ සීමාව වෙත පැමිණ පන්දුව අතින් නිදහස් කරන කාලය තුළ දී තමා දෙවරක් පිත්ත පොළවේ ස්පර්ශ කර ඉන්පසුව පිත්ත ඔසවා පන්දුව වෙත යොමු කරන බවයි. මෙසේ තමා දෙවරක් පිත්ත පොළවේ ස්පර්ශ කරන නිසා පන්දුව වෙත පිත්ත යොමු කිරීමේ දී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් තමාට නොලැබෙන බවත්, ඒ නිසාම පන්දුව පිත්තේ නිවැරදි ලෙස ස්පර්ශ නොවන බවත් ඔහු වටහාගෙන ඇත.

පසුව දෙවන ටෙස්ට් තරගයට පෙර පුහුණු දැල් තුළට ගොස් තම පිතිකරණ චර්යාව වෙනස් කර ගැනීමට සංගක්කාර කටයුතු කර ඇත. එහි දී ඔහු තමාගේ පන්දු යවන්නා පන්දු යැවීමේ සීමාව වෙත පැමිණ පන්දුව අතින් නිදහස් කරන කාලය තුළ දී පිත්ත දෙවරක් බිම ස්පර්ශ කිරීමේ පුරුද්ද වෙනුවට පිත්ත ඔසවාගෙන පන්දුවට මුහුණ දීමට සූදානම් වීම පුහුණු වී ඇත.

මෙම වෙනස ඉතා කුඩා එකක් ලෙස පෙනුනත් එයින් ඇති වූ බලපෑම කුඩා එකක් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 203ක් රැස් කරන්නට සංගක්කාර සමත් විය. වරද නිවැරදිව හඳුනාගෙන පුහුණු දැල් තුළ දී තම චර්යාව නිවැරදි කර ගැනීමෙන් ලද ආත්ම විශ්වාසය සංගක්කාරට තම ටෙස්ට් දිවියේ එකොළොස්වන ද්විත්ව ශතකය වාර්තා කිරීම සඳහා දායක වූ බව මෙහි දී පෙනී යන කරුණයි.

මේ සියල්ල සලකා බලන විට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සහ අනෙකුත් ක්‍රීඩකයන් අතර ඇත්තේ දක්ෂතාවයෙහි ඇති වෙනස පමණක් නොවන බවත්, ප්‍රධාන වශයෙන්ම එයට බලපාන්නේ ඔවුන්ගේ මානසික තත්ත්වයන් බවත් වටහාගත හැක.

මේ නිසා යොවුන් ක්‍රීඩකයන් හට ඔවුන්ගේ ක්‍රීඩා රටාවේ ඇති අඩුපාඩු පමණක් පෙන්වා නොදී යොවුන් අවධියේ පටන්ම ඔවුන්ගේ මානසික මට්ටම් ඉහළ නංවන්නේ කෙසේද, මනසින් කරන ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ට උගන්වන්නේ කෙසේද යන්න පිළිබඳව අප අවධානය යොමු කළහොත් අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වඩා තරගකාරී යොවුන් ක්‍රීඩකයන් පිරිසක් අපට බිහිකරගත හැකි වනු ඇත. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<