කිලිනොච්චියට ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානක්

203

කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩාංගණය ලබන වසරේ (2021) සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට ජාතික යොවුන් සේනාංකය තීරණය කර ඇත. 

2010 වසරේ “උතුරටත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක්” යන සංකල්පය යටතේ වැඩ ආරම්භ කළ කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩාංගණය 400m ධාවන පථයක්, 50m පිහිනුම් තටාකයක්, පා පන්දු ක්‍රීඩා පිටියක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යන සියලුම පහසුකම් සහිතව ඉදිකිරීමට සැලසුම් කර තිබුනි. 

එසේ නමුත් පසුව එම කටයුතු අධීක්ෂණය කළ බලධාරීන්ගේ දුර්වල ක්‍රියා කලාපය නිසාවෙන් එම ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු නියමිත පරිදි නිම කිරීමට පෙර අවසන් කිරීමට සිදුවීම නිසාවෙන් එම ක්‍රීඩාංගණය ක්‍රීඩකයන් හට භාවිතා කළ නොහැකි මට්ටමට පැමිණෙන්නට විය. 

එසේම නිසි අධීක්ෂණයක් නොමැති වීම නිසාවෙන් එම ඉදිකිරීම් කටයුතු සිදුකළ සමාගම තමන්ගේ තීරණයන් යටතේ අක්‍රමවත්ව එම ඉදිකිරීම් කටයතු සිදුකර ඇති අතර ක්‍රීඩාංගණයේ බොහෝ කොටස් කාලයත් සමඟින් භාවිතා කිරීමකින් තොරවම පරිහානියට යමින් තිබුනි. 

තවත් ක්‍රීඩා පුවත් කියවන්න

පසුව නව ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ වත්මන් තත්වය සහ එම ක්‍රීඩා සංකීර්ණයට සිදුව ඇති හානිය පිළිබඳව සිය අවධානය යොමු කරන ලදි. 

ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්වය නිරීක්ෂණයෙන් පසු අමාත්‍යවරයා එම අදාළ ඉදිකිරීම් සමාගම සමඟින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අඩුපාඩු සම්පූර්ණ කර, ඉදිකිරීම් ක්‍රමවත්ව නිම කිරීමෙන් පසු 2021 ජනවාරි මසදී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකය යටතට පවරන ලෙස දන්වා තිබුනි. 

ඒ අනුව එම ක්‍රීඩාංගණය පවරා ගැනීමෙන් පසු එය කේන්ද්‍ර කරගනිමින් මූලික අදියර ලෙස පහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික යොවුන් සේනාංකය තීරණය කර ඇත. 

  1. යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්ක තුළ ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන නොමැති බැවින් ජාතික යොවුන් සේනාංකයක් මෙහි ස්ථාපනය කිරීම.
  2. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප්නැංවීමට මෙම මධ්‍යස්ථානය තුළ ජාතික යොවුන් සේනාංකය හරහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර එමඟින් ඔවුන්ගේ විශේෂ ක්‍රීඩා කුසලතා සහ ජීවන කුසලතා වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම.  
  3. රාජ්‍ය පෞද්ගලික අංශයේ ආයතන ඒකාබද්ධව එම සේවකයන්ගේ ශරීර සුවතා පහසුකම් වර්ධනය කර ගැනීමට අවස්ථාවක් මෙම මධ්‍යස්ථානය හරහා ලබා දීම
  4. ජාතික ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා මෙන්ම අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩා අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම
  5. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනයනායකත්වය පෞරුෂය වැඩිදියුණු කරමින් නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම සඳහා මෙම කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික යොවුන් සේනාංකය විසින් මේ වන විට කටයුතු සැලසුම් කර ඇත

ඉතාමත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අකාලයේ පරව යන උතුරු, නැගෙනහිර පළාත්  කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් මෙරට ක්‍රීඩාවේ අනාගතයට ඉතා වටිනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කිරීමට හැකි වනු ඇත. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<