ලන්ඩනයේ දී ලෝක මැරතන් ඉතිහාසය උඩු යටිකුරු වෙයි!

TCS London Marathon 2026

6
london marathon 2026

අද (26) දිනයේ ක්‍රියාත්මක වූ TCS ලන්ඩන් මැරතන් තරගයේ දී පිරිමි සහ කාන්තා මැරතන් ලෝක වාර්තා ද්විත්වයම බිඳ දැමීමට කෙන්යාවේ සහ ඉතියෝපියාවේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් යුගලයක් විසින් සමත් වුනා.

මෙම මැරතන් තරගය මෙතෙක් ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සුවිශේෂී ම මැරතන් තරගයක් ලෙස ඉතිහාස ගත වන අතර, මෙම තරගයේ පිරිමි මැරතන් ඉසව්ව තුළ පෙර පිහිටුවා තිබූ ලෝක වාර්තාවට වඩා අඩු කාල වාර්තා කිරීමට ක්‍රීඩකයින් තිදෙනෙකු විසින් සමත් වුනා.

මීට පෙර පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවක් කෙන්යාවේ Kelvin Kiptum සතු වූ අතර, ඔහු විසින් 2023 වසරේ දී පැය 2 තත්පර 35ක කාලයක් වාර්තා කරමින් එම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

එය එතෙක් ඉතිහාසයේ එම ඉසව්ව පැය දෙකයි, එක් මිනිත්තුවක් ලෙස නිම කළ පළමු අවස්ථාව ලෙස සටහන් වූ අතර, ලෝක මැරතන් ඉසව්වක් පැය දෙකකට අඩු කාලයකින් අවසන් කිරීමේ අවස්ථාව Kelvin Kiptum හට හිමි වනු ඇතැයි එවකට බොහෝ දෙනා විශ්වාසය පළ කළා.

කෙසේ නමුත් 2024 පෙබරවාරි මස 11 වැනි දා Kelvin Kiptum රිය අනතුරකට මුහුණ දෙමින් දිවියට සමු දුන් අතර, ඒ වන විට ඔහු 24 වැනි වියේ පසු වුනා.

කෙසේ වෙතත් ඊට පෙර 2019 වසරේ දී කෙන්යාවේ Eliud Kipchoge විසින් පැය 1.59.40ක කාලයකින් පිරිමි මැරතන් ඉසව්ව නිම කරමින් පැය දෙකේ සීමාව බිඳ දැමීමට සමත් වූ නමුත්, එය නිල වශයෙන් වාර්තාවක් බව පිළිගැනුණේ නැහැ.

එවන් වටපිටාවක් තුළ ක්‍රියාත්මක වූ අද තරගයේ පිරිමි ඉසව්වට සහභාගී වූ කෙන්යාවේ Sabastian Sawe විසින් පැය 1.59.30ක කාලයක් තුළ තරගය නිම කරමින් ඉසව්ව ජය ගැනීමට මෙන්ම නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුනා.

මෙය මෙතෙක් ඉතිහාසයේ මැරතන් ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ හොඳම කාලය වන අතර, ඔහුට තත්පර එකොළහක් පසුපසින් තරගය අවසන් කළ ඉතියෝපියාවේ Yomif Kejelcha විසින් ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. තම මංගල මැරතන් තරගය නියෝජනය කළ Yomif Kejelcha විසින් පැය 1.59.41ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් මෙතෙක් ඉතිහාසයේ පිරිමි මැරතන් ඉසව්ව වෙනුවෙන් දෙවැනි හොඳම කාලය වාර්තා කරන අතරේ, තරගයේ තෙවැනි ස්ථානය ලැබූ උගන්ඩාවේ Jacob Kiplimo විසින් පැය 2 තත්පර 28කින් ඉසව්ව නිම කරමින්, පෙර පැවති ලෝක වාර්තාවට වඩා හොඳ කාලයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව මෙය මෙතෙක් ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සුවිශේෂී ම මැරතන් තරග ඉසව්වක් ලෙස වාර්තා අතරට එක් වන අතරේ ම, අද දිනයේ ක්‍රියාත්මක වූ කාන්තා මැරතන් තරගයට සහභාගී වූ ඉතියෝපියාවේ Tigst Assefa විසින් කාන්තාවන්ට පමණක් වන මැරතන් තරග ඉසව්වල පෙර පැවති ලෝක වාර්තාව (Women’s Only World Record) බිඳ හෙළමින් පැය 2.15.41ක කාලයක් වාර්තා කිරීමට සමත් වුනා.

එම ඉසව්වේ පෙර ලෝක වාර්තාව ද Tigst Assefa සතු වූ අතර, අද දිනයේ දී ඇය විසින් එම වාර්තාව තත්පර 09ක් ඉදිරියට රැගෙන ඒමට සමත් වුනා.

දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>