දඹුලු ක්‍රීඩකයෝ දැවැන්ත ඉනිමක් ගොඩ නගයි

National Super League 4-Day Tournament 2026

20
Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ 2 වැනි දිනය අද අවසන් වූ අතර එහි දී දඹුලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටියා.

>>2026 LPL තරගාවලියට දින නියම වෙයි<<

මහනුවර සහ දඹුල්ල අතර තරගය, හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයේ පළමු දිනය අවසන් කරන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 293ක් ලබා ගනිමිනුයි.

ඒ වෙද්දී විශාද් රන්දික පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 104ක් ලබා ගෙන ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී ගොස් තිබුණා.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද තරගය වේලාසනින් නතර කරනු ලැබූ අතර ඒ වෙද්දී දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටියා.

අද තරගය ආරම්භ වෙද්දී අංජල බණ්ඩාර නොදැවී ලකුණු 77ක් ලබා සිටි අතර කවිඳු පතිරත්න නොදැවී ලකුණු 14ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 317ක දී ලකුණු 161ක සබඳතාවක් එක් කරනවා. ඔවුන්ගේ එම සබඳතාව බිඳ වැටෙන්නේ කවිඳු පතිරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව අකිල දනංජය (0) සහ විශ්ව ප්‍රනාන්දු (4) අඩු ලකුණුවලට සීමා වෙන අතර ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් අංජල බණ්ඩාර දැවී යද්දී දඹුලු ලකුණු පුවරුව 423ක් ව තිබුණා.

ඒ වෙද්දී අංජල බණ්ඩාර පන්දු 225කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 128ක් ලබා සිටි අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 4 වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී  ජෙෆ්රි වැන්ඩර්සේ සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව දිනුර කළුපහන කළුපහන කඩුලු ද්විත්වයක් ද සහ යසිරු රොද්‍රිගෝ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දඹුල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 424 (127.0) ලසිත් කෲස්පුල්ලේ 22, ධනංජය ලක්ෂාන් 53, විශාද් රන්දික 104, අංජල බණ්ඩාර 128, කවිදු පතිරත්න 78, දිනුර කළුපහන 2/86, රවිඳු ප්‍රනාන්දු 3/76, ජෙෆ්රි වැන්ඩර්සේ 3/48

මෙම තරගය හෙට (27) 3 වැනි දිනටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

ගාල්ල සහ කොළඹ අතර තරගය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 337ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක ජනිත් ලියනගේ. ඔහු පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 98ක් ලබා සිටියා.

අද තරගය ආරම්භ වන විට අගනුවර කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 289ක් ලබා සිටි අතර ඒ වෙද්දී නොදැවී පිටියේ රැඳී සිටි ප්‍රමෝද් මදුශාන් දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔහු සහ කසුන් රාජිත අතර 9 වැනි කඩුල්ලට එක් ව තිබූ ලකුණු සබඳතාව 64ක්. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 91ක් පමණයි.

කසුන් රාජිත ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් දැවී යද්දී පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මුදිත ලක්ෂාන් ලකුණු 63කට කඩුලු 3ක් ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව උදිත මදුශාන්, අසංක මනෝජ් සහ කේශර නුවන්ත කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 247ක් ලබා සිටියා. එම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරුවන් වූ ඔෂද ප්‍රනාන්දු සහ ශෙහාන් ප්‍රනාන්දු සමත් වීම කැපී පෙණුනා. ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දු 121ක දී ලකුණු 64ක සබඳතාවක් එක් කරනවා.

ඒ අතුරින් ඔෂඳ ප්‍රනාන්දු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39කට දැවී යන අතර ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් ශෙහාන් ප්‍රනාන්දු දැවී යන විට පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.

නායක සදීර සමරවික්‍රම ගාල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 69ක් ලබා ගනිමිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 110කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 5ක් ද එක් කර තිබුණා.

ඊට අමතර ව කෙවින් පෙරේරා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත් අතර තරගය අද දවසට නතර කරන විට මුදිත ලක්ෂාන් පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද සහ නිම්සර අතරගල්ල නොදැවී ලකුණක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමෝද් මදුශාන් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කවිජ ගමගේ කඩුලු ද්විත්වයක් ද,  චමෝද් බට්ටගේ සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (97.2) රවිඳු රසාන්ත 32, ජනිත් ලියනගේ 98, කවිජ ගමගේ 40, ප්‍රභාත් ජයසූරිය 24, ප්‍රමෝද් මදුශාන් 28, කසුන් රාජිත 31, උදිත් මදුශාන් 2/30, අසංක මනෝජ් 2/63, කේශර නුවන්ත 2/99, මුදිත ලක්ෂාන් 3/63
  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 247 (71.0) ඔෂද ප්‍රනාන්දු 39, ශෙහාන් ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 69, කෙවින් පෙරේරා 34, මුදිත ලක්ෂාන් නොදැවී 34, ප්‍රමෝද් මදුශාන් 3/33, කවිජ ගමගේ 2/40

ගාල්ල කණ්ඩායම ලකුණු 90ක් පිටුපසින්.

මෙම තරගය හෙට (26) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<