Kohliගේ ක්‍රිකට් අනාගතය ගැන Kapil Devගෙන් අනාවැකියක්

6275

වසර 7ක් පුරාවට ඉන්දීය ටෙස්ට් නායකත්වය දැරූ Virat Kohli ඉන් ඉවත් වීම පසුගිය දා නිවේදනය කළ අතර එය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. මේ පිළිබඳව බොහෝ දෙනා Virat හට සුබ පැතුම් එක් කර තිබුණා.

කෙසේ වෙතත් Kohliගෙන් අනතුරුව ටෙස්ට් නායකත්වය හිමිවන ක්‍රීඩකයා පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තීරණය කර නැහැ. එවන් පසුබිමක් තුළ නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව Kohliගේ ක්‍රිකට් අනාගතය කෙසේ වේවි දැයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Kapil Dev අදහස් දක්වා සිටියා.

එහි දී Kapil Dev පවසා සිටියේ තමාට වඩා කනිෂ්‍ඨ ක්‍රීඩකයෙකු යටතේ ක්‍රීඩා කිරීමට නම් Kohli ඔහුගේ මමත්වය අත් හැරිය යුතු බවයි.

ඉන්දීය ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට Virat Kohli ගත් තීරණය පසුගිය දින කීපය තුළ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රශංසාවට ලක්ව තිබුණා. කෙසේ වෙතත් බොහෝ දෙනා පවසා සිටියේ පසුගිය දා නිමා වූ දකුණු අප්‍රිකානු තරගාවලියේ අමිහිරි පරාජය Kohliගේ තීරණය ඉක්මන් වීමට බලපාන්නට ඇති බවයි.

මේ වන විට 33 හැවිරිදි වියේ පසු වන Kohli ටෙස්ට් තරග 68ක දී ඉන්දීය නායකත්වය මෙහෙයවා තිබෙනවා. ඉන් තරග 40ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එය ඉන්දීය නායකයෙකු දැක්වූ සාර්ථකම ජයග්‍රහණ ප්‍රතිශතය ලෙස වාර්තා වනවා.

ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී ඓතිහාසික ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එය Kohliගේ නායකත්වයේ ස්වර්ණමය අවස්ථාව ලෙස හැඳින්වෙනවා.

ඊට අමතරව Kohli නායකත්වය දරන කාලය තුළ ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණීමටත් සමත් වුනා. ඉන්දීය නායකයා ලෙස වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කිරීමේ වාර්තාව ද Virat Kohli සතුවනවා.

හිටපු සහ වත්මන් ක්‍රීඩකයින් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් මේ ප්‍රබල ක්‍රීඩකයාගේ සාර්ථක නායකත්ව ගමනට සුබ පතා තිබූ අතර හිටපු ඉන්දීය නායක Kapil Dev ද Kohliට සුබ පැතුම් එක් කර තිබුණා.

එහි දී අදහස් දක්වමින් Kapil පැවසුවේ Kohli යනු නායකත්වය විනෝදයට ගන්නා කෙනෙක් නොවන බවත් නායකත්වයට සමුදීම අතිශයින් අමාරු තීරණයක් වන්නට ඇති බවයි.

1983 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ නායකයා වන Kapil Dev තවදුරටත් අවධාරණය කර සිටියේ නිර්භීත ක්‍රිකට් සන්නාමයක් ලෙස ක්‍රීඩා කිරීමට Kohliට ඇති හැකියාව අවහිර කරන මූලික කරුණ වූයේ නායකත්ව පීඩනය බවයි.

Kohliගේ ක්‍රිකට් දිවිය තුළ තරමක පසුබෑමකට ලක්වූ වසරක් වූ 2021 වසර ඔහු අවසන් කළේ ටෙස්ට් තරග 11කට ක්‍රීඩා කරමින් 28.21ක ලකුණු සාමාන්‍යයක් සහිතව ලකුණු 536ක් වාර්තා කරමින්.

ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට Virat ගත් තීරණය මම පිළිගන්නවා. ඔහු විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වූ දවසේ ඉඳන් දුෂ්කර කාලයක් පසු කරමින් සිටියා. ඒ වගේම ඔහු මෑත කාලයේ තරමක් නොසන්සුන් බවක් පෙන්වූවා. මම දැක්කා ඔහු දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා. ඒ නිසා නායකත්වය අත්හැරීම එක්ක ඔහුට නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් උදා වෙනවා. ඔහු ඒ නිසා නායකත්වය අතහරින්න තීරණය කළා”, Mid Day පුවත්පත වෙත අදහස් දක්වමින් Kapil Dev පවසා සිටියා.

ඔහු පරිණත ක්‍රීඩකයෙක්. මෙම වැදගත් තීරණය ගන්න කලින් ඔහු දැඩි ලෙස සිතන්නට ඇති බව මට විශ්වාසයි. සමහර විට ඔහුට නායකත්වය සතුටින් කරන්න බැරි වෙන්න ඇති. අපි ඔහුට සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඔහුගේ අනාගතය වාසනාවන්ත වෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ”, Kapil Dev වැඩිදුරටත් පවසා සිටියා.

Kapil Dev ඔහුගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාවන්හිදී Krishnamachari Srikkanth සහ Mohammad Azharuddinගේ නායකත්වය යටතේ ක්‍රීඩා කර තිබුණා. Kapil Dev පවසා සිටියේ තමන්ට අවශ්‍ය වන්නේ තමන් මෙන්ම Kohli ද පිතිකරුවෙකු ලෙස නව නායකයා යටතේ දියුණු වීම දැකීමට බවයි.

පසුගිය මාසයේ දී Kohli එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට Rohit Sharma එක්දින නායකත්වයට පත් කර තිබුණා. ඉන්දීය කණ්ඩායම මීළඟට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා නායකයා ලෙස Rohit Sharma කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

සුනිල් ගවස්කාර් පවා මගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළා. මම K Srikanth සහ Azaharuddin යටතේ ක්‍රීඩා කළා. මට මමත්වයක් තිබුණේ නැහැ. Viratටත් සිදු වේවි ඔහුගේ මමත්වය අතහැරලා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු යටතේ ක්‍රීඩා කරන්න. ඒක ඔහුට සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට උපකාරී වේවි. ඒ වගේම නව නායකයාට, නව ක්‍රීඩකයන්ට Virat මඟ පෙන්වන්න ඕනේ. අපිට පිතිකරුවෙක් විදිහට Virat නැති කරගන්න බැහැ. කොහොමත් බැහැ”, Kapil Dev අවසන් වශයෙන් අදහස් දක්වමින් පවසා සිටියා.

 Hindustan Times ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<