Home Sinhala එක්දින සටනින් වේල්ස් කුමරුවන්ට තියුණු ජයක්

එක්දින සටනින් වේල්ස් කුමරුවන්ට තියුණු ජයක්

1306

මොරටුව වේල්ස් කුමර විදුහල සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර මොරටු මහා සංග්‍රාමය යටතේ පැවති 36 වැනි එක්දින තරගය අද (16) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ වේල්ස් කුමර ක්‍රීඩකයින් ලකුණු දෙකක ඉතා උණුසුම් ජයග්‍රහණයක් වාර්තා කරගනිමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා උචිත කාලගුණ තත්වයක් සහිත පැහැබර උදෑසනක කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලයීය නායක දිනුර ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන්ගේ ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ ඔමේෂ් මෙන්ඩිස් සමඟින් තරිඳු අමරසිංහයි. පළමු පන්දුවාර 2 තුළ තරගයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ ඔවුන් දෙදෙනා එහි දී ලකුණු 16ක් වාර්තා කර ගන්නට සමත් වුනා.

කෙසේ නමුත් තෙවැනි පන්දුවාරයේ දී වේගපන්දු යවන ක්‍රීඩක ක්‍රිෂේන් ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු 7ක් ලබා සිටි ඔමේෂ් දැවී යාමත් සමඟ ඔවුන්ගේ ඉනිමේ කඩාවැටීම ආරම්භ වුනා.

වේල්ස් කුමර පිතිකරුවන් අනවශ්‍ය පහරවල් එල්ල කරමින් ප්‍රතිවාදී පන්දු යවන්නන් හට කඩුලු ලබාගැනීම ඉතා පහසු කාර්යයක් බවට පත්කරනු දැකගන්නට ලැබුණා. ඒ අනුව පන්දුවාර 19.4ක් අවසානයේ ලකුණු 53කට කඩුලු 6ක් දැවී ඔවුන් ඉතා අසීරු තත්වයක පසුවන්නට වුනා.

ඒ වන විට හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ආරම්භක පිතිකරු තරිඳු ලකුණු 38ක් වාර්තා කර ගනු ලැබුවේ දැවැන්ත 6 පහරවල් ද්විත්වයක් ද එල්ල කරමිනි. කෙසේ නමුත් 25 වැනි පන්දුවාරයේ දී අනවශ්‍ය ලකුණක් කරා පැති හුවමාරු කරගැනීමට උත්සාහ දරද්දී දුවද්දී දැවීයාමකට හසුවීමත් සමඟ ඔහුට පිටියෙන් නික්ම යන්නට සිදු වුනා.

ලකුණු 68කට කඩුලු 7ක් බිඳ වැටී තිබූ පසුබිමක් තුළ පිටියේ එක්වුණු තුන් ඉරියව් ක්‍රීඩක සුමල්ක ප්‍රනාන්දු සහ විදත් දිනේන්ද්‍ර කෙමෙන් ඔවුන්ගේ ඉනිම ගොඩනඟමින් වේල්ස් කුමර ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු තත්වයක් කරා රැගෙන යාමට දැඩි උත්සාහයක් දැරුවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 38ක සබඳතාවයක් එක්කරන්නට සමත් වූ නමුත් 40 වැනි පන්දුවාරයේ දී ප්‍රතිවාදී උපනායක වමත් පා දඟපන්දු යවන ක්‍රීඩක කලන සංදීප් යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු 15ක් රැස්කරගෙන සිටි විදත් දැවී යාමත් සමඟ එම සබඳතාවය අවසන් වුනා.

ඉන් අනතුරුව ඔවුන්ගේ ඉතිරි කඩුලු ද්විත්වය ද තවත් ලකුණු 28ක් ලකුණු පුවරුවට එක්වෙද්දී දැවී යන්නට වූයේ පන්දුවාර 46.1ක් තුළ වේල්ස් කුමර ඉනිම සියලු දෙනා දැවී ලකුණු 134කට සීමා කරමිනි.

එහි දී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ සුමල්ක ලකුණු 41ක් වාර්තා කරගනිමින් වේල්ස් කුමර පිතිකරුවෙක් වාර්තා කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ මහේන් සිල්වා හමුවේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ශෙනිත් ප්‍රනාන්දු අත්හරිනු ලැබූ උඩ පන්දුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින්.

සාන්ත සෙබස්තියානුවන් වෙනුවෙන් ක්‍රිෂේන් කඩුලු 3ක් දවා ගනිද්දී කලන කඩුලු 2කට හිමිකම් කියන්නට සමත් වුනා.

ලකුණු 135ක එතරම් අසීරු නොවූ ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියානු පිතිකරුවන් හට පිටියේ ස්ථාවර වීමට වේල්ස් කුමර පන්දු යවන්නන් කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ඔවුන්ගේ ආරම්භක පිතිකරු සවිඳු රොද්‍රිගෝ කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර ඉනිමේ දෙවැනි පන්දුවෙන් ම නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට වේගපන්දු යවන ක්‍රීඩක පසිඳු පැතුම් සමත් වුනා.

ඉන් අනතුරුව ද නොනවත්වා ඔවුන්ගේ කඩුලු බිඳ වැටෙන්නට වූ අතර ඒ අනුව පන්දුවාර 19.3ක් අවසානයේ සාන්ත සෙබස්තියානුවන් ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 69කට කඩුලු 6ක් දැවී ඔවුන් ඉතා අසීරු තත්වයක පසුවෙමින්. එහි දී මෙම කඩුලු සියල්ල ම දවා ගනු ලැබුවේ පසිඳු සහ අනූප බණ්ඩාර වේල්ස් කුමර වේගපන්දු යුගලය විසින් වීම කැපී පෙනුණා.

කෙසේ නමුත් එහි දී නායක සුකිත ප්‍රසන්න සමඟ පිටියේ එක්වූ අෂාන් ප්‍රනාන්දු ඔවුන්ගේ 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 34ක තීරණාත්මක සබඳතාවයක් එක්කර ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 103ක් දක්වා ඉහළට ඔසවමින් ඔවුන්ව ජයග්‍රහණය ආසන්නයට රැගෙන යන්නට සමත් වුනත්, රිවිත් ජයසූරිය විසින් ලකුණු 8ක් ලබා සිටි අෂාන් දවා ගැනීමත් සමඟ තරගය නැවතත් වේල්ස් කුමරුවන් දෙසට හැරෙන්නට වුනා.

අනතුරුව ඔවුන්ගේ තවත් කඩුලු ද්විත්වයක් ඉක්මනින් දැවී යාමත් හේතුවෙන් පන්දුවාර 33.4ක දී ලකුණු 118කට කඩුලු 9ක් බිඳවැටීමත් සමඟ වේල්ස් කුමරුවන් ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණෙන්නට සමත් විය.

කෙසේ නමුත් ඒ වන විට ඉතා ඉවසිලිවන්තව හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ප්‍රතිවාදී නායක සුකිත ඉතා අගනා පහරවල් කිහිපයක් දියත් කරමින් ඔවුන්ගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට ගෙන ආවේ සාන්ත සෙබස්තියානු බලාපොරොත්තු ඉහළ නංවමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔහු ඒ වන විට ලකුණු 49ක් වාර්තා කරගෙන සිටියා. වේල්ස් කුමර පන්දු යවන්නන් ඒ වන විට ප්‍රතිවාදීන් හට නිකරුණේ අතිරේක ලකුණු 30ක් ප්‍රදානය කර තිබූ අතර එය ඔවුන්ගේ පරාජයට හේතුවනු ඇතැයි බොහෝ දෙනා සැක පළකරන්නට විය.

36 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී සුකිත ඊළඟ පන්දුවාරයට මුහුණ දී සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරගැනීමේ අරමුණ සහිතව එක් ලකුණක් කරා පැති මාරු කරගැනීමට උත්සාහ දරද්දී, අනෙක් අන්තයේ සිටි ක්‍රිෂේන් පෙරේරා සමඟ ඇතිවූ සන්නිවේදනයේ ගැටලුවක් හේතුවෙන් ප්‍රතිවාදී පන්දු රකින්නන් හට ක්‍රිෂේන්ව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට අවස්ථාවක් හිමි වූ අතර ඔවුන් එම අවස්ථාව ඉතා සාර්ථකව ලබා ගත්තේ ඉතා උණුසුම් තරගයක ජය වේල්ස් කුමර විදුහල වෙත හිමිකර ගනිමිනි.

ඒ අනුව අනූප කඩුලු 4ක්, පසිඳු කඩුලු 3ක් සහ රිවිත් කඩුලු 2ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වද්දී මොරටු මහා රන් සටනේ 36 වන එක්දින තරගයේ ජයග්‍රහණය තියුණු තරගයකින් අනතුරුව ලකුණු 2කින් මොරටුව වේල්ස් කුමර විදුහල හිමිකරගනු ලැබීය.

ලකුණු සාරාංශය:

  • වේල්ස් කුමර විදුහල: 134 (පන්දුවාර 1) – සුමල්ක ප්‍රනාන්දු 41, තරිඳු අමරසිංහ 36, විදත් දිනේන්ද්‍ර 15, ක්‍රිෂේන් පෙරේරා 3/41, කලන සංදීප් 2/31
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය: 132 (පන්දුවාර 5) – සුකිත් ප්‍රසන්න 49*, බිහඟ මෙන්ඩිස් 13, අනූප බණ්ඩාර 4/33, පසිඳු පැතුම් 3/36, රිවිත් ජයසූරිය 2/14

විශේෂ සම්මාන:

  • තරගාවලියේ වීරයා – සුකිත් ප්‍රසන්න (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • තරගයේ වීරයා – අනූප බණ්ඩාර (වේල්ස් කුමර විද්‍යාලය)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Prince of Wales’ College
134/10 (46.1)

St. Sebastian’s College
132/10 (36.5)

Batsmen R B 4s 6s SR
THARINDU AMARASINGHE run out (Mahen Silva) 36 69 0 2 52.17
OMESH MENDIS b Tashik Perera 7 10 1 0 70.00
RIVITH JAYASURIYA c Shanel Fernando b Tashik Perera 2 4 0 0 50.00
UPEKA FERNANDO run out (Bihanga Mendis) 1 12 0 0 8.33
DINURA FERNANDO lbw b Tashik Perera 0 8 0 0 0.00
PASINDU PATHUM c Chakila Perera b Kalana Sandeepa 4 16 0 0 25.00
ANUPA BANDARA b Mahen Silva 6 14 1 0 42.86
SUMALKA FERNANDO b Sandeesh Fernando 41 80 3 1 51.25
VIDATH DINENDRA b Kalana Sandeepa 15 40 1 0 37.50
ASHAN FERNANDO lbw b Shanel Fernando 3 12 0 0 25.00
CHENULA PERERA not out 9 12 1 0 75.00


Extras 10 (b 0 , lb 0 , nb 1, w 9, pen 0)
Total 134/10 (46.1 Overs, RR: 2.9)
Fall of Wickets 1-16 (2.4) OMESH MENDIS, 2-19 (4.2) RIVITH JAYASURIYA, 3-30 (8.2) UPEKA FERNANDO, 4-33 (10.4) DINURA FERNANDO, 5-46 (16.6) PASINDU PATHUM, 6-53 (19.4) ANUPA BANDARA, 7-68 (25.2) THARINDU AMARASINGHE, 8-106 (39.1) VIDATH DINENDRA, 9-117 (42.1) ASHAN FERNANDO, 10-134 (46.1) SUMALKA FERNANDO,

Bowling O M R W Econ
Tashik Perera 10 0 40 3 4.00
Bihanga Mendis 5 1 10 0 2.00
Mahen Silva 9 2 17 1 1.89
Kalana Sandeepa 10 3 31 2 3.10
Shanel Fernando 7 1 20 1 2.86
Sandeesh Fernando 5.1 1 15 1 2.94


Batsmen R B 4s 6s SR
Savindu Rodrigo lbw b Pasindu Pathum 0 2 0 0 0.00
Bihanga Mendis c ASHAN FERNANDO b ANUPA BANDARA 13 26 2 0 50.00
Yashan Kavishka b ANUPA BANDARA 6 16 0 0 37.50
Sandeesh Fernando c CHENULA PERERA b PASINDU PATHUM 4 7 0 0 57.14
Sukitha Prasanna not out 49 67 3 0 73.13
Shanel Fernando b Pasindu Pathum 6 33 0 0 18.18
Chakila Perera lbw b ANUPA BANDARA 8 16 1 0 50.00
Ashan Fernado lbw b RIVITH JAYASURIYA 8 23 0 0 34.78
Mahen Silva c OMESH MENDIS b RIVITH JAYASURIYA 7 15 0 0 46.67
Kalana Sandeepa b ANUPA BANDARA 0 4 0 0 0.00
Tashik Perera run out (CHENULA PERERA) 1 3 0 0 33.33


Extras 30 (b 0 , lb 2 , nb 1, w 27, pen 0)
Total 132/10 (36.5 Overs, RR: 3.58)
Fall of Wickets 1-1 (0.2) Savindu Rodrigo, 2-19 (5.6) Yashan Kavishka, 3-28 (7.6) Bihanga Mendis, 4-30 (8.3) Sandeesh Fernando, 5-50 (15.5) Shanel Fernando, 6-69 (19.3) Chakila Perera, 7-103 (28.1) Ashan Fernado, 8-117 (32.5) Mahen Silva, 9-118 (33.4) Kalana Sandeepa, 10-132 (35.5) Tashik Perera,

Bowling O M R W Econ
PASINDU PATHUM 10 0 36 3 3.60
ANUPA BANDARA 10 1 33 4 3.30
CHENULA PERERA 3 0 19 0 6.33
ASHAN FERNANDO 4 1 14 0 3.50
SUMALKA FERNANDO 3 0 14 0 4.67
RIVITH JAYASURIYA 6.5 1 14 2 2.15