ප්‍රසාද ලකුණු සොයා ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පල්ලෙකැලේ දී ගැටේ

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

3391

සංචාරක සිම්බාබ්වේ සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

2020-2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියේ තරග සියල්ල දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8, 2023 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ශ්‍රී ලංකාව දැනට එහි 6 වැනි ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම 13 වැනි ස්ථානයේ පසුවනවා.

සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තා.

එසේම ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව 2-1ක ජයක් ලබාගෙන නැවතත් ජාත්‍යන්තර එක්දින පිටියට පැමිණෙන්නේ මාස 3ක පමණ විරාමයකට පසුවයි.

මුහුණට මුහුණ,

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 55ක් පවත්වා ඇති අතර එයින් තරග 43ක ජය ශ්‍රී ලංකාව සතු වෙද්දී, සිම්බාබ්වේ ජයග්‍රහණය කර ඇත්තේ තරග 10ක් පමණයි. තවද එයින් තරග 2ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා.

2017 වසරේ අවසන් වරට පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ සමත් වුනා.

වැඩි අවධානයක් දිය යුතු පිතිකරුවන්,

කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් වූ පසුව මෙන්ඩිස් සංචිතයක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙයයි. ඔහු අවසන් වරට පසුගිය වසරේ මැයි මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලිය ක්‍රීඩා කළා.

මේ සුවිශේෂී දකුණත්  පිතිකරුවා ජාත්‍යන්තර එක්දින තරග 79ක් තුල ලකුණු 2228ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 30.10ක් වැනි මට්ටමක තබා ගනිමිනි. ඔහු ශතක 2ක් අර්ධ ශතක 17ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන Ervine ඔවුන් සතු අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙක් වෙනවා. සිම්බාබ්වේ අවසන් වරට ක්‍රීඩා කළ අයර්ලන්ත තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු Ervine ඉනිම් දෙකක දී ලකුණු 121ක් ලබා ගත්තා. ඔහු දැනට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 99ක් ක්‍රීඩා කර තිබෙන අතර එහි දී මුළු ලකුණු 2737ක් ලබාගෙන තිබෙන්නේ 32.58ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

චරිත් අසලංක

2021 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ සිටින්නේ චරිත්. ඔහු තරග 8ක දී ලකුණු 326ක් ලබාගෙන තිබෙන්නේ 40.75ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙනයි. එයට අර්ධ ශතක 3ක් ඇතුළත් වෙනවා.

Sikandar Raza

සිම්බාබ්වේ සතුව සිටින අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරන Sikandar Raza, ජාත්‍යන්තර එක්දින තරග 108කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ලකුණු 34.60ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන Raza ලකුණු 3011ක් රැස්කර ගැනීමට සමත්ව තිබෙනවා . ඒ ලකුණු අතරට අර්ධ ශතක 18ක් හා ශතක 3ක් ඇතුළත්.

වැඩි අවධානයක් දිය යුතු පන්දු යවන්නන්,

දුෂ්මන්ත චමීර

චමීර ගෙවුණු වසරේ ලොව වැඩිම එක්දින ජාත්‍යන්තර කඩුලු දවා ගත් පන්දු යවන්නා වුනා. ඔහු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුව තවමත් නිසි ශාරීරික යෝග්‍යයතාවයන් අතරට පැමිණ නොමැති නිසා ඔහුට පළමු තරගය මඟ හැරී යනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා සංචිතය සතුව සිටින අත්දැකීම්  බහුලතම පන්දු යවන්නා වන චමීර ජාත්‍යන්තර එක්දින තරග 37ක දී කඩුලු 39ක් දවාගෙන තිබෙනවා.

Blessing Muzarabani

දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙසින් සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන Muzarabani ජාත්‍යන්තර එක්දින තරග 27ක දී කඩුලු 34ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

ලකුණු 49කට කඩුලු 5ක් දවා ගැනීම කණ්ඩායමකට එරෙහිව හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති Muzarabani එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 5.15ක් පමණ පිතිකරුවන්ට ලබා දී තිබෙනවා.

කාලගුණය සහ තණතීරුව,

තරගාවලිය පුරාවට ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් අපේක්ෂා කිරීමට හැකි අතර පිතිකරුවන් සඳහා හිතකර තණතීරු මේ තරගාවලිය පුරාවට සකස් වෙනු ඇත.

වර්තමාන තත්ත්වය,

ශ්‍රී ලංකාව සිම්බාබ්වේට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර ශ්‍රී ලංකාව දැනට (ජනවාරි 15) ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසුවෙනවා. ඔවුන් ලකුණු 2657ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 83ක් සමඟයි.

ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 14 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 764ක් හා ප්‍රසාද ලකුණු 38ක් ලබා ගෙනයි.

සංචිතයන්,

  • ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු
  • අතිරේක ක්‍රීඩකයින්: අශේන් බණ්ඩාර, පුලින තරංග, නිමේෂ් විමුක්ති, අශේන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල
  • සිම්බාබ්වේ – Craig Ervine (capt), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Luke Jongwe, Takudzwanashe Kaitano, Clive Madande, Wesly Madhevere, Wellington Masakadza, Tinotenda Mutombodzi, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<