මතභේදාත්මක සිදුවීමට Kohliට හෝ ක්‍රීඩකයින්ට විනය ක්‍රියාමාර්ග නැහැ

1436
(India Today)

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර Newlands හිදී පැවැත්වුණු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ ඇතිවූ සිදුවීමක් පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වුනා.

ඒ විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවක් (DRS) ඉන්දියාවට එරෙහිව ලැබීමත් සමඟ ඉන්දීය ක්‍රීඩකයින් තරමක් කුපිත වීම නිසයි. මේ හේතුකොට ගෙන ඉන්දීය ක්‍රීඩකයින්ට හෝ ඉන්දීය නායක Virat Kohliට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තවමත් සූදානමක් නැති බව cricinfo වාර්තා කර සිටිනවා.

Dean Elgar කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යාමෙන් අනතුරුව ඔහු DRS තාක්ෂණය භාවිතා කරමින් විනිසුරු තීරණ නැවත විමසීමක් ලබා ගත් අතර එහි දී පන්දුව කඩුල්ලට ඉහළින් ඇදී යනු දක්නට ලැබුණා.

ඉන්දීය ක්‍රීඩකයින් මෙන්ම තරග විනිසුරුවන් ද ඒ පිළිබඳව සිය විමතිය පළ කිරීම කැපී පෙනුණා. එහි දී ඉන්දීය නායක Virat Kohli කඩුල්ලේ සවි කර ඇති මයික්‍රෝෆෝනය වෙත ගොස් එම තීරණයට සිය විරෝධය පළ කළා.

ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම එම තීරණය දැඩි අප්‍රසාදය පළ කරනු කඩුල්ලේ මයික්‍රෝෆෝනය ග්‍රහණය කරගෙන තිබුණා.

කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරණය ICC තරග නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙන අතර ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක් නැති බවයි වාර්තා වෙන්නේ.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී Kohli පවසා සිටියේ මයික්‍රෝෆෝයෙන් තමා හා තම ක්‍රීඩකයින් පවසා සිටි දේ විකාශය වීම ගැන තමන් අදහස් නොදක්වන බවයි. “අපි දන්නවා පිටියේ වුන දේ. පිටියෙන් ඉවත ඉන්න අය ඒ පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට කලබල වුනා වැඩියි කියන එක මම සාධාරණීකරණය කරන එක නිවැරදි නැහැ.”

අපි ඒ මොහොතේ මහන්සි වෙලා තව කඩුලු තුනක් ගත්තා නම් ඒ මොහොතේ තරගය වෙනස් වෙන්න තිබුණා. නමුත් ඇත්තම දේ තමයි අපි ඔවුන්ට ලොකු වෙලාවක් එක දිගට දැඩි පීඩනයක් එල්ල කළේ නැහැ. ඒ නිසා තමයි අපි තරගය පැරදුණේ. ඒ එක පොඩි සිදුවීම මතභේදාත්මක සිදුවීමක් බවට පත් කරන්න පුළුවන්. නමුත් අවංකවම මට එහෙම කරන්න කිසිම උනන්දුවක් නැහැ.”

R Ashwinගේ පන්දුවකට Elgar කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ පසුව මෙම සිදුවීම ඇති වුනා. DRS තාක්ෂණය ඔස්සේ විනිසුරු Marais Erasmusගේ තීරණය ආපසු හැරවුණු අතර එම තීරණයට සිය අප්‍රසාදය පළ කරමින් කඩුල්ල අසලට ගිය Kohli තරගය විකාශනය කරන Super Sport ආයතනයට දොස් පවරා සිටියා.

“ඔබේ කණ්ඩායම පන්දුව පිරිමදිද්දීත් අවධානය යොමු කරන්න. අනෙක් කණ්ඩායම්වලට විතරක් අවධානය යොමු නොකර. හැම වෙලාවේම මිනිස්සු අල්ලන්නට උත්සහ කරනවා”, යැයි Kohli පවසා සිටියා.

මිනිසුන් 11 දෙනෙක්ට එරෙහිව මුළු රටක්ම” යැයි උප නායක KL Rahul පවසා සිටියා. Super Sport, දිනන්න වෙන හොඳ විදියක් හොයා ගන්න” Ashwin පවසා තිබුණා. එම විනිසුරු තීරණය ලබා දුන් පිටියේ විනිසුරු Marais Erasmus ද එම තීරණයට සිය මවිතය පළ කර සිටියේ “ඒක වෙන්න බැහැ” යැයි පවසමිනුයි.

espncricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<