එංගලන්ත පිතිකරණ උපදේශක තනතුර Jacques Kallisට 

243

ලබන වසරේ ජනවාරි මසදී මෙරටට පැමිණෙන එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා ලෙස හිටපු දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Jacques Kallis පත්කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුකාර පුරප්පාඩු සඳහා පුහුණුකරුවන් පත්කර ගැනීමට පසුගිය සතියේ සිට ඉතා උනන්දුවෙන් කටයුතු කරනු දක්නට ලැබුනු අතර එම තනතුරු සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය 2021 ජනවාරි මස 10 වනදා ලෙස ද දැනුම් දී තිබුනි. 

ඒ අනුව Jacques Kallisගේ සේවය බොහෝදුරට ශ්‍රී ලංකා සංචාරය සඳහා පමණක් වනු ඇති අතර මීට පෙරද පාකිස්තාන තරගාවලිය සඳහා Jonathan Trott සහ අවසන් වරට පැවති දකුණු අප්‍රිකානු සංචාරය සඳහා Marcus Trescothick යන අයවලුන් එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකයන් ලෙස කටයුතු කර ඇත. 

Read : Coaches for England’s Test tour of Sri Lanka

මීට අමතරව එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන Graham Thorpe එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී විවේකයක් ගැනීමට තීරණය කර ඇති අතර ඔහු ඉන්පසුව පැවැත්වෙන ඉන්දීය සංචාරයේ දී නැවතත් එංගලන්ත කණ්ඩායම සමඟින් එක්වීමට සූදානමින් පසුවේ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහි වූ ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Jacques Kallis, ටෙස්ට් තරග 166ක දී ලකුණු 9535ක් සහ කඩුලු 292ක් හිමිකර ගැනීමට සමත්ව ඇත. ආසියානු කලාපයේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඔහු, එම කලාපය තුළදී 55.62ක පිතිකරණ සාමන්‍යක් පවත්වා ගැනීමට සමත්ව ඇත. 

මීට පෙරද පිතිකරණ උපදේශක තනතුරෙහි කටයුතු කර ඇති Kallis, එංගලන්තය සමඟින් පැවති ටෙස්ට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කළ නමුත් තරගාවලිය 3-1ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට පරාජය ගෙන දෙමින් අවසන් විය. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය, මෙම වසරේ මාර්තු මසදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් තරගාවලිය කල්දැමීමට සිදුවිය. 

පසුව තරගාවලිය ලබන වසරේ ජනවාරි මස අදාළ නිරෝධායන නීතීන් අනුගමනය කරමින් පැවැත්වීමට තීරණය කළ අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත එම තරගාවලිය ජනවාරි මස 14 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<