ඒ 2017 වසරේ ගිම්හාන සමයයි. එම වසරේ අගෝස්තු මස 05 වැනිදා ලන්ඩන් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයට දහසක් දෙනා රැස් වෙන්නේ ලොව බිහි වූ වේගත්වම මිනිසාට සමුදීමටයි. 

ඔලිම්පික් නාමයේ ගෑවුණු කළු පැල්ලම – මියුනික් සංහාරය

එදා වර්ෂ 1972ක් වූ සැප්තැම්බර් මස 04 වනදා යි. 20 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ආරම්භ වී දින දහයක්……

100m අවසාන තරගය ආරම්භ වීමට සියල්ල සූදානම්. අඛණ්ඩව තුන් වතාවක් ඔලිම්පික් ශූරයා වූ, එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කී හුසෙයින් බෝල්ට් මෙම තරගය පහසුවෙන් ජය ගනී යැයි සියල්ලෝම සිතූහ.

ඉසව්ව ආරම්භ විය, සියල්ලන්ගේ දෑස් බෝල්ට් වෙත යොමු වී තිබෙන්නට විය. නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඇමරිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉදිරියට ඇදෙන්නට විය. 

දශකයට ආසන්න කාලයක් මෙම ඉසව්වේ ආධිපත්‍ය රඳවා ගත් ජැමෙයිකානු කඟවේනා සිය අවසන් තරගයේ දී තුන්වැනි තැනට ඇද දැමීමට ඇමරිකානුවන් සමත් වූ අතර ඇමරිකානු කෙටි දුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින් එහි රන් පදක්කම දිනා ගන්නට සමත් වන්නේ තම වසර ගණනාවක සිහිනයක් යථාර්ථයක් කර ගනිමිනි.

ජස්ටින් ගැට්ලින් 2017 ලෝක ශූරතා තරගාවලියේ දී 100m ඉසව්ව ජය ගනිමින්. Image source: daily-sun.com

1982 වසරේ පෙබරවාරි මස 10 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ “Brooklyn” හී උපත ලැබූ ගැට්ලින්, සිය උසස් අධ්‍යාපනය හැදෑරු “Woodham High School” හීදී මලල ක්‍රීඩා දිවිය ආරම්භ කරන ලදි. පාසල් සමයේ ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වූ වූ ඔහු තම ඉසව්ව ලෙස 110m කඩුලු පැනීම ඉසව්ව තෝරාගත්තේය. 

කෙසේ නමුත් ඔහු සිය වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා “University of Tennessee” වෙත පැමිණීමෙන් පසුව සිය මලල ක්‍රීඩා දිවිය කෙටි දුර ධාවකයෙකු ලෙස ඉදිරියට රැගෙන යාමට තීරණය කළේය. එතැන් පටන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඔහු බොහෝ තරගාවලි ජයග්‍රහණ කරන්නට සමත් වූයේ තමන් අනාගතයේ ලොවම ජයග්‍රහණය කරන්නට සූදානම් බව අඟවමිනි.

නමුත් සිය ක්‍රීඩා දිවිය ආරම්භයේ දී ම තහනම් උත්තේජක චෝදනාවකට වැරදිකරුවෙකු වූ ඔහුට වසර දෙකක තහනමක් පනවන ලදි. කෙසේ නමුත් පසුව ඔහු අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයට කරුණු දැක්වීමෙන් පසුව තහනම වසරකට අඩුකර ගැනීමට සමත් වන අතර 2001 වසරේ සිට ඔහු නැවතත් පිටියට පා තබන්නේ බලාපොරොත්තු රැසක් සිතෙහි තබාගෙනයි.

එතැන් පටන් තම දක්ෂතා දිනෙන් දින වැඩි දියුණු කර ගත් ඔහු තම දිවියේ ප්‍රධාන ඉලක්කයක් සපුරා ගන්නේ 2004 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් වරම් දිනා ගනිමිනි. එහි දී තම සුපුරුදු ඉසව්ව වන 100m තරගයට මුහුණ දුන් ගැට්ලින් තත්පර 9.85ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ජස්ටින් ගැට්ලින් 2004 ගිම්හාන මලල ක්‍රීඩා තරගාවලිය අතරතුර දී

ඉන් වසරකට පසු ෆින්ලන්තයේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ඔහු, එහි 100m ඉසව්ව තත්පර 9.88ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය දිනා ගත් අතර එම තරගාවලියේම 200m ඉසව්ව ද ඔහු ජයග්‍රහණය කරන්නේ ලෝක ශූරතා තරගාවලියක එම ඉසව් ද්විත්වයම ජය ගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

ඉන්පසුව 2006 වසරේ කටාර් හී පැවති “IAAF Super Tour meeting” හීදී 100m ඉසව්ව නියෝජනය කළ ගැට්ලින්, එම තරගය තත්පර 9.76කින් අවසන් කරමින් එවකට තිබූ ලෝක වාර්තාවක් බිද හෙලීමට ද සමත් විය. තම ක්‍රීඩා දිවියේ ස්වර්ණමය අවධියේ සිටි ඔහු නැවතත් තහනම් උත්තේජක ලබා ගැනීම නිසාවෙන් තහනමකට ලක් වන්නේ ලොවක් ඉදිරියේ ඔහු ලබා ගත් ගෞරවය ද අවාසනාවන්ත ලෙස අහිමි කරගනිමිනි.

ඔහුට 2006 වසරේ සිට බලපැවැත්වෙන පරිදි වසර අටක් සඳහා තරග තහනමක් නිකුත් කළ නමුත්, පසුව එය වසර හතරක් දක්වා අඩු කිරීමට බලධාරීන් කටයුතු කළේය. එම තහනම ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තමා දැනුවත්ව කිසිදු තහනම් උත්තේජක ද්‍රව්‍යයක් ලබා නොගත් බවයි.

කෙසේ නමුත් තම තහනම් කාල සීමාව තුලදීත් ක්‍රීඩාවෙන් ඈත් නොවූ ඔහු, පාසල් මලල කණ්ඩායම් සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී පුහුණුවීම් සිදු කරනු ලැබීය. පසුව ඔහු ඇමරිකානු පාපන්දු කණ්ඩායමක් වන “Houston Texans” සමඟ ද එක්ව කටයුතු කළේය. 

භාරත දේශයම තනිව සම කළ ඔලිම්පික් පුරාවෘත්තය

ඔලිම්පික් පදක්කමක් යනු ඕනෑම ක්‍රීඩකයෙකුගේ දැවැන්ත හීනයක්. කුඩා කල සිට බොහෝ දේ…..

වසර හතරක තහනමින් පසුව ඔහු නැවතත් සිය සුපුරුදු ක්‍රීඩා පිටියට පා තබන්නේ අතරමග නතර වූ ක්‍රීඩා දිවිය නැවත ඇරඹීමේ බලාපොරොත්තු සමඟිනි. එම නැවත පැමිණීමෙන් පසු ඔහු තරග ජය ගත්තත් ඔහුගේ තරග නිමි කාලය පිළිබඳව ඔහු සතුටට පත්වූයේ නැත. 

නමුත් කිසි දිනක සිය උත්සහය අත්නොහැරි ඔහු, 2012 වසරේ පැවති “Doha Diamond League” තරගාවලියේ දී 100m ඉසව්ව තත්පර 9.87කින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමත් සමඟ එම වසරේම පැවැත්වීමට තිබූ ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්ව ඔහු විසින් ජයග්‍රහණය කරනු ඇතැයි මත පලවිය. 

ලන්ඩන් නුවර පැවති එම තරගාවලිය සඳහා ඔහු පැමිණෙන්නේ තහනම ලැබූ කාල සීමාව තුළ දී ඔහුට අහිමි වී ගිය 100m ඉසව්වේ කිරුළ නැවතත් තමන් සතු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එම තරගය තත්පර 9.79ක කාලයකින් නිමා කිරීමට ඔහු සමත් වූවත් ඔහුට තරගය නිමා කිරීමට සිදු වන්නේ තෙවැන්නා ලෙසය.

ගැට්ලින් 2012 ඔලිම්පික් තරගාවලියේ දී බෝල්ට් (වම්පස) සහ බ්ලේක් (දකුණුපස) සමඟ තරග වදිමින්

සිය බලාපොරොත්තු සුන් වීමෙන් පසුව ද සටන අත් නොහැරි ඔහු, 2013 වසරේ ඉතාලියේ පැවති “Golden Gala meet” තරගාවලියේ දී, එකවට එම ඉසව්වේ ඔලිම්පික් සහ ලෝක ශූරයා වූ හුසෙයින් බෝල්ට් පරාජය කරමින් ජයග්‍රහණය කරන්නේ සිය ක්‍රීඩා දිවියට නව බලාපොරොත්තුවක් රැගෙන එමිනි. නමුත් එම වසරේම පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔහුට හිමි වූයේ දෙවැනි ස්ථානයයි.

එයින් වසරකට පසුව පැවති “IAAF Diamond League” තරගාවලියේ දී 100m ඉසව්ව තත්පර 9.77ක කාලයක් වාර්තා කරමින් ජය ගන්නා ඔහු, එම තරගාවලියේම 200m ඉසව්ව ද තත්පර 19.71 කාලයක් වාර්තා කරමින් ජය ගැනීමට සමත් විය. එම වසරේ ඔහුගේ දක්ෂතා නිසාවෙන් “IAAF Athlete of the Year” සම්මානය සඳහා ද ඔහු නිර්දේශ විය.

කෙසේ නමුත් ඔහුගේ නාමය එම නිර්දේශ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදු වන්නේ, මින් පෙර අවස්ථාවල දී තරග තහනමට ලක් වීමට බලපෑ ද්‍රව්‍ය නිසාවෙන් ඔහුට දීර්ඝ කාලීන වාසි ලැබී ඇතැයි අනෙකුත් ක්‍රීඩකයන් විසින් එල්ල කළ චෝදනා නිසාවෙනි.

එම චෝදනාවලට ද සිය ගමන නවතාලීමට ඉඩ නොදුන් ඔහු දිගින් දිගටම මෙම ඉසව්ව තුල දස්කම් දක්වන්නේ ලොව වේගවත්ම මිනිසා යන නාමයෙන් හැඳින්වූ කෙටි දුර ධාවන ශූර හුසෙයින් බෝල්ට්ට ද ප්‍රබල අභියෝගයක් ලබා දෙමිනි. 

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2015 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔහු බොල්ට්ට ප්‍රබල තරගයක් දීමට සමත් වන්නේ තත්පර 0.01කින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරමිනි. 

ඉන්පසුව පැවති ඇමරිකානු ඔලිම්පික් සුදුස්සන් තේරීමේ තරගාවලිය ඔහු ඉතා සාර්ථකව නිමා කරන්නේ ඇමරිකානු ඔලිම්පික් කණ්ඩායමක් නියෝජනය කිරීමට සමත් වූ වයස්ගතම කෙටි දුර ධාවන ශූරයා බවට පත්වෙමිනි.

නැවතත් ඔහු සිය ඔලිම්පික් රන් පදක්කම් සිහිනය සපුරා ගැනීමේ බලාපොරොත්තුවෙන් 2016 රියෝද ජනයිරෝ නුවරට පැමිණි අතර 100m ඉසව්වේ ඔලිම්පික් ශූරයා වූ හුසෙයින් බෝල්ට්ට, එම ඉසව්වේ සිටි ප්‍රබලතම ප්‍රතිවාදියා වූ ගැට්ලින් මෙවර කැපී පෙනෙන යමක් සිදු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවිය.

එනමුත් එවරත් සිය සිහිනය බොඳව යන සැටි බලා සිටීමට ඔහුට සිදු වූයේ තත්පර 9.89කින් ඉසව්ව අවසන් කරමින් රිදී පදක්කම ජයග්‍රහණය කරමිනි. කෙසේ නමුත් එම පරාජයෙන් ක්‍රීඩා දිවිය අවසන් කිරීමට අකැමැති වූ ඔහු සිය වයසට ද අභියෝග කරමින් දිනෙන් දින තම දක්ෂතාවයන් වැඩි දියුණු කර ගැනීමට වෙහෙස විය.

කුඩා කල විරුවාව පරදමින් කිමිදෙන නවක තරුව

වර්ෂ 2016ක් වූ අගෝස්තු මස 12 වන සිකුරාදා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර “Olympic Aquatics Stadium” පිහිනුම්…..

දිගින් දිගටම දක්ෂතා අතර සිටි ඔහු 2017 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට පැමිණෙන්නෙ තම ප්‍රතිවාදියා වූ බෝල්ට් සමඟ අවසන් වරට තරගයකට සහභාගි වීම සඳහාය. 

වසර ගණනක තම ක්‍රීඩා ගමන අවසන් කිරීමට සැරසෙන බෝල්ට් පරාජය කරමින් ගැට්ලින් එවර තරගය ජයග්‍රහණය කරන්නේ සිය දීර්ඝ කාලීන සිහිනය යථාර්ථයක් බවට පත් කරගනිමින් වසර ගණනාවකට පසු ලෝක ශූරයා ලෙස අභිෂේක ලබමිනි.

තරගය නිමා වීමත් සමඟම කෙටි දුර ධාවන ඉතිහාසයේ පුරාවෘත්තයක් බඳු වූ හුයිසෙන් බෝල්ට් හට දණ නවා ඔහු සිය ආචාරය පුද කරන්නේ, ඔහුට ගෞරවනීය සමුගැනීමක් ලබා දෙමිනි. එම සිදුවීමත් සමඟ කලක දී ඔහුව වංචාකරයෙකු ලෙස සැලකූ ලොව පුරා සිටි සියලු දෙනා ඔහුට ගෞරව  කිරීමට පටන් ගන්නා ලදි.  

ජස්ටින් ගැට්ලින් 2017 ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රහණයෙන් අනතුරුව බෝල්ට් වෙත තම ආචාරය පුද කරමින්.

මේ වන විට වයස 38ක් වන ඔහු තවමත් සිය සුපුරුදු රිද්මයේ පසුවෙයි. ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කරමින් සිය ක්‍රීඩා දිවිය නිමා කිරීම ඔහුගේ ඒකායන ඉලක්කය වී ඇත. තම වයසට පවා අභියෝග කරමින් සිටින මෙම උත්සාහවන්තයා තම බලාපොරොත්තු සඵල කරගනිමින් සිය ක්‍රීඩා දිවිය නිමා කරන තුරු බොහෝ දෙනා ඉතාමත් ආශාවෙන් බලා සිටී.  

ඕනෑම පුද්ගලයෙකුට තම ඉලක්ක වෙත යන ගමනේ දී සිතා හෝ නොසිතා අත්වැරැදීම් සිදු විය හැක. නමුත් එම අත්වැරදීම් නිසාවෙන් තම ඉලක්ක/ සිහින බොඳ වී යාමට ඉඩ නොදී, එම සිදුවීම් මතින් ජීවිතයට පාඩමක් ඉගෙන කැපවීමෙන් සිය ඉලක්ක කර යා හැකි බව මෙම ක්‍රීඩකයා ලොවට දෙන ආදර්ශයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<