ඔලිම්පික් නාමයේ ගෑවුණු කළු පැල්ලම – මියුනික් සංහාරය

164
Munich Massacre
 

එදා වර්ෂ 1972ක් වූ සැප්තැම්බර් මස 04 වැනිදායි. 20 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආරම්භ වී දින දහයක් ගත වන විට ඊශ්‍රායල ක්‍රීඩකයන් බටහිර ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පික් ගම්මානයේ තමන්‍ට හිමි ගොඩනැගිල්ලේ කාමරවලට ගොස් නින්දට වැටී තිබෙන්නේ එළඹෙන දවසේ ද ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමේ අරමුණෙනි.

ඔලිම්පික් ගැන අවසන් තීරණයක් ගන්නට දින සූදානම්

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසයේ නවතම පුවත…..

සියල්ලන් එලෙස සුව නින්දක පසු වන විට ඔවුන්ගේ ගොඩනැගිල්ල තුළට ආගන්තුකයන් පිරිසක් ඇතුළු වෙන්නේ සැප්තැම්බර් 05 වැනි දින අලුයම 4.30ට පමණය. ආයුධ සන්නද්ධව, මුහුණු ආවරණය කරගනිමින් පැමිණි ත්‍රස්තවාදීන් 08 දෙනෙකු එම ආගන්තුක පිරිසට අයත් වූ අතර ඔවුන් වැළැක්වීමට ඉදිරියට පැමිණි ඊශ්‍රායල රෙස්ලිං කණ්ඩායමේ පුහුණුකරු වූ මෝෂේ වෙයින්බර්ග් සහ බර ඉසිලීමේ ශූර රොමානෝ මෙම ත්‍රස්තවාදීන් අතින් මැරුම් කන්නට විය.

කෑ ගැසීම් සහ වෙඩි හඬවල් ඇසුණු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ජනේල හරහා තම දිවි ගලවා ගැනීමට පැන යන්නට වූ අතර නිවස තුළ ඉතිරි වූ ක්‍රීඩකයන් නවදෙනෙකු ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්විය.

ඊශ්‍රායල ක්‍රීඩකයන් රැඳී සිටි ගොඩනැගිල්ල

මෙම සිදුවීම සැලවීමත් සමඟම පොලීසිය පිටුපසින් මාධ්‍යවේදීන් වැල නොකැඩී පැමිණෙන්නට වූ අතර එමඟින් මෙම ත්‍රස්ත ක්‍රියාව ලොව පුරා සජීවීව විකාශනය වන්නට විය. සිය සහකාර හමුදා නිලධාරියා විසින් අවදි කෙරූ ඊශ්‍රායල අගමැතිනිය වූ ගෝල්ඩා මෙයර් ද මෙම සිදුවීම දෙස බලා සිටියේ තමන්ට කිසිවක් කර කියාගත නොහැකිවය. 

ජර්මනිය තම මිතුරු රටක් වීම යම් හෝ සහනයකට තිබුනත් මෙම සිදුවීම සිදු වූ මියුනික් පිහිටා තිබෙන්නේ ස්වාධීනව පාලනය වන බැවේරියා ප්‍රාන්තයේ නිසාවෙන් ඊශ්‍රායලයට ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට සිදු විය. ඊශ්‍රායලය තම හොඳම හමුදා ඒකකය බැවේරියාවට යැවීමට ඉල්ලීම් කළත් එරට බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි.

ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයෙකු ඊශ්‍රායල ක්‍රීඩකයන් නැවතී සිටි ගොඩනැගිල්ලේ සිටිය දී

තමන් සියල්ල බලාගන්නා බවත් කණ්ඩායමේ සියල්ල අනතුරකින් තොරව ගලවා ගැනීමට සූදානම් බව ජර්මනිය විසින් ඊශ්‍රායල නියෝජිතයන් හට පැවසූවත් “කළු සැප්තැම්බර්” නමින් හැඳින්වූ මෙම ත්‍රස්තවාදී කණ්ඩායම ඔවුන්ට පාලනය කළ නොහැකි මට්ටමේ සංවිධානයක් විය.

ඔලිම්පික් උළෙලේ ගමන් මග 01

ලොව ප්‍රධානම ක්‍රීඩා මංගල්‍යය ලෙස “ඔලිම්පික් උළෙල” හැඳින්විය හැක…..

ඔවුන් විසින් ක්‍රීඩකයන් ප්‍රාණ ඇපයට ගත් පසු ඔවුන් නිදහස් කිරීමට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කළේය. ඊශ්‍රායලයේ සිරකර ඇති සිරකරුවන් 234 දෙනා නිදහස් කිරීම, ජර්මනියේ සිරකර ඇති සිරකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීම සහ ඒවා ඉටු වීමෙන් පසු ඔවුන්ට ජර්මනියෙන් පිටත් වීමට අවසර දිය යුතුය යන්න එම ඉල්ලීම් විය. 

සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කෙරූ අතර ඕනෑම මුදලක් ලබා ගනිමින් මෙම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ජර්මනිය විසින් සිදු කළ ඉල්ලීම ද ත්‍රස්තවාදීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. 

නමුත් ත්‍රස්තවාදීන් හා ජර්මානු බලධාරීන් අතර දිනක් මුළුල්ලේ පැවති සාකච්ඡාවලින් අනතුරුව මියුනික් නගරයෙන් එපිට පිහිටි Fürstenfeldbruck නම් නේටෝ ගුවන් තොටුපොළ වෙත ත්‍රස්තයන් හා ප්‍රාණ ඇපකරුවන් ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කරන ලදි.

සාකච්ඡාවලට අනුව ත්‍රස්තවාදී කැමති ගමනාන්තයක් දක්වා ඔවුන් ප්‍රවාහනය කිරීමට ජර්මානු බලධාරීන් එකඟ වී තිබූ නමුත් මෙම ත්‍රස්තවාදීන්ගේ තරම නොදත් ඔවුන් වෙනම සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් පසුවිය.

මීට අමතරව මොසාඩ් සංවිධානයේ ප්‍රධානී සාවී සමීර් ජර්මනියට ගොස් තිබුනත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු බලයක් ජර්මානු බලධාරීන් ඔහුට ලබා නොදීම නිසාවෙන් ඔහුට සිදු වූයේ මෙය දෙස බලා සිටීම පමණි.

ත්‍රස්තවාදීන්ට හසු වූ ඊශ්‍රායල කණ්ඩායම

තමන් සතුව ඉතාම හොඳ සැලසුමක් ඇති බවත්, එම නිසා සමීර් හට මෙය බලා සිටීම පමණක් කරන බවත් ඔවුන් නැවත නැවතත් ප්‍රකාශ කළේය.

සැලසුමට අනුව ත්‍රස්තවාදීන් ගුවන්තොටුපලට රැගෙන එන ලදි. ඔවුන්ගේ සැලසුමට අනුව හිස් ගුවන් යානයක් ගුවන් තොටුපල මධ්‍යයේ රඳවා අවට වහලය මත පොලිස් වෙඩික්කරුවන් යොදවා තබන්නට විය.

කෙසේ නමුත් ඉතා කපටි වූ මෙම ත්‍රස්තවාදී නායකයා හට මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ අතර ඔහුට මෙය තමන්ට ඇටවූ උගුලක් බව වටහා ගැනීමට ගත වූයේ සුළු කාලයකි. 

ඒ සමඟින්ම ක්‍රියාත්මක වූ ඔවුන් ප්‍රාණ ඇපකරුවන් වෙත වෙඩි ප්‍රහාර හා බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ඉතා කුරිරු ලෙස මරා දමන්නට වූ අතර ජර්මානු පොලිස් බටයන් ද ත්‍රස්තවාදීන් වෙත ප්‍රහාර එල්ල කරන්නට විය. කිසිදු වරදක් නොකළ තම ක්‍රීඩකයන් නිකරුණේ ජීවිතක්ෂයට පත්වන අයුරු ගුවන් තොටුපලේ නිරීක්ෂණ කුළුණේ සිට මොසාඩ් ප්‍රධානියාට බලා සිටීමට සිදු වූයේ කිසිවක් කරගත නොහැකිවය.

Fürstenfeldbruck ගුවන් තොටුපල ගැටුමෙන් පසුව

මෙම ගැටුමේ දී ප්‍රාණ ඇපකරුවන් නවදෙනා හා පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ත්‍රස්තවාදීන් පස් දෙනෙකු ද මිය ගොස් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය. කෙසේ නමුත් එම සංවිධානයේ තවත් සාමාජිකයන් විසින් ඔක්තෝබර් මස 29 වැනිදා ගුවන් යානයක් පැහැර ගැනීම නිසාවෙන් එම අත්අඩංගුවට ගෙන සිටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට සිදු විය.

භාරත දේශයම තනිව සම කළ ඔලිම්පික් පුරාවෘත්තය

ඔලිම්පික් පදක්කමක් යනු ඕනෑම ක්‍රීඩකයෙකුගේ දැවැන්ත හීනයක්…..

මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු ලිබියාවට භාර දුන් අතර ඔවුන් වීරයන් ලෙස සලකා පූර්ණ හමුදා ගෞරවාචාර යටතේ භූමදානය කිරීමට ලිබියානු රජය කටයුතු කළේය. පසුව නිදහස් කරගත් ත්‍රස්තවාදීන් ද මහත් හරසරින් ලිබියානුවන් විසින් පිළිගන්නා ලදි.

සිදුවීමෙන් මියගිය කණ්ඩායමේ නාමයන් ඇතුළත් සමරුවක්

ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදු වූ මෙවැනි සිදුවීම් ගැන බලන විට අප හිතට නිරන්තරයෙන් මතකයට නැගෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ප්‍රහාරය යි. නමුත් එයට වඩා දරුණු ප්‍රතිඵලයක් අත්වූ මෙම “මියුනික් සංහාරය” ක්‍රීඩා ලොව සිදූ වූ කෲරතම සිදුවීම ලෙස හැඳින්විය හැකි අතර එයින් වසර 48කට පසුව ලොවම 32 වැනි ඔලිම්පික් උළෙලට සූදානම් වෙමින් සිටියි. දශක ගණනක් උළෙලවල් බොහෝ සංඛ්‍යාවක් ගත වුවද එම කණගාටුදායක සිදුවීම අදටත් සියල්ලන්ගේ සිත්වල පෑරෙමින් පවතී.                        

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<