භාරත දේශයම තනිව සම කළ ඔලිම්පික් පුරාවෘත්තය

166

ඔලිම්පික් පදක්කමක් යනු ඕනෑම ක්‍රීඩකයෙකුගේ දැවැන්ත හීනයක්. කුඩා කල සිට බොහෝ දේ කැප කරමින් ඒ සිහිනය දහසක් දෙනා හඹා ගියත් එම සිහිනය යතාර්ථයක් කර ගැනීමට සමත් වන්නේ ඉතාම සීමිත පිරිසක් පමණයි. 

ඔලිම්පික් උළෙලට දින නිකුත් වෙයි

මෙම වසරේ පැවත්වීමට නියමිත බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ක්‍රීඩා උළෙල ලෙස ජපානයේ ටෝකියෝ නුවර දී…….

එතරම් ක්‍රීඩකයන්ගේ හීනයක් බඳු වූ මෙම තරගාවලියේ ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් සිටින අසල්වැසි ඉන්දියානුවන්ට සමානව පදක්කම් දිනා ගත් මෙම අසහාය ක්‍රීඩකයා නමින් මයිකල් ෆ්රෙඩ් ෆෙල්ප්ස් වේ. 

වර්ෂ 1985ක් වූ ජුනි මස 30 වන දින මෙලොව එළිය දුටු මයිකල්, තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ය. යන්තම් වයස හතක් සම්පූර්ණ වන විට දීම පිහිනුම් ක්‍රීඩාවකට අත්පොත් තැබූ ෆෙල්ප්ස්ගේ වයස අවුරුදු 9ක් වන විට පියා සිය මවගෙන් වෙන් විය. අනෙක් දරුවන් පියාගේ සෙනෙහේ වැඩෙන විට කුඩා ෆෙල්ප්ස් හට සිදුවූයේ පිය සෙනෙහසින් ඈත්ව සිටීමටයි. නමුත් මේ කිසිවක් ඔහුව නැවතීමට හේතු වූයේ නැත. 

“මං පිහිනුම් ක්‍රීඩාවට යොමු වීමට එකම හේතුව වන්නේ මාගේ මවට අවශ්‍ය වුනා මම පිහිනීම ඉගෙන ගන්නවා දකින්න. මම සහ මාගේ සහෝදරියන් ක්‍රීඩාව හා ආදරයෙන් බැඳී සිටියා. එම නිසා අප තීරණය කළා පිහිනීම ඉදිරියට කිරීමට.” යැයි ෆෙල්ප්ස් පසු කලක පවසා සිටියා. 

පෙල්ප්ස්ගේ වයස අවුරුදු 15 පිරෙන විට දීම අනෙක් ක්‍රීඩකයන්ට සිහිනයක් බඳු වූ ඔලිම්පික් ඉසව්වක් නියෝජනය කිරීමේ අවස්ථාව ඔහු හිමිකර ගත් අතර ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ ලාබාලම ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එකතු විය. 

මයිකල් ෆෙල්ප්ස් 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උලෙළේ දී

2000 වසරේ ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඔහු, එයින් පදක්කමක් දිනා ගැනීමට අසමත් වූවත් මීටර 200 සමනල ආර ඉසව්ව නියෝජනය කරමින් පස්වැන්නා ලෙස අවසන් කිරීමට මෙම ලාබාල ක්‍රීඩකයා සමත් වන්නේ අනාගතයේ දී වාර්තා රැසක හිමිකාරයා වීමට තමන්ට හැකි බව ඉඟි කරන්නාක් මෙනි.  

එයින් වසරක් සම්පූර්ණ වීමට මත්තෙන් තම ලෝක පදක්කම් රැල්ල ආරම්භ කරන මෙම ලාබාල ක්‍රීඩකයා 2001 වසරේ පැවති “2001 World Aquatics Championship” තරගාවලියේ දී මීටර 200 සමනල ආර ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නේ මිනිත්තු 1.54.58ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වට අදාළ ලෝක වාර්තාව ද තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි. 

ඒ සමඟින්ම ලෝක වාර්තාවක් පිහිට වූ ලාබාලම ක්‍රීඩකයා ලෙස ෆෙල්ප්ස් ඉතිහාස ගත වන්නේ වයස අවුරුදු 15යි මාස 9ක් සම්පූර්ණ වන විට වාර්තාව පිහිටු වීමෙනි. ඉන්පසුව 2002 වසරේ පැවති “Pan Pacific Championship” තරගාවලියේ දී රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගැනීමට ෆෙල්ප්ස් සමත් වුනා. 

නැවතත් 2003 වර්ෂයේ දී පැවති “World Championship” තරගාවලියේ දී මයිකල් ෆෙල්ප්ස් නැවතත් ක්‍රියාත්මක වූයේ මීටර 200 මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 1:56:01 කින් සහ මීටර 400 මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 4:09:09 කින් නිමා කරමින් එම ඉසව් සඳහා ද ලෝක වාර්තා තම නාමය ඉදිරියේ සටහන් කර ගනිමිනි. ඔහු එම තරගාවලිය රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කම් දෙකක් සමඟින් නිමා කරන්නේ “ෆෙල්ප්ස් කුණාටුව” නුදුරේදී හමා යෑමට සූදානම් බව ඇඟවීමට මෙනි. 

ෆෙල්ප්ස්ගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය යුගය ආරම්භ කරමින් ඔහු 2004 වසරේ දී ඔහුගේ දෙවන ඔලිම්පික් උළෙලට සහභාගී වුනා. එහිදී ඔහුගේ මුල්ම තරගය මීටර 400 මිශ්‍ර ආර ඉසව්වෙන් ලෝක වාර්තා ගත මිනිත්තු 4:08:26 කාලයකින් අවසන් කරන්නේ එම වාර්තාව ද තමන්ගේ නාමය යටතට එක්කර ගනිමිනි.  

ක්‍රීඩා උළෙල පුරාවටම තම අනසක පැතිර වූ මයිකල් එම උළෙල පුරාවට නව ඉසව් වාර්තා තුනක් ද සමඟින් මුළු රන් පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් අවසන් කරන්නේ මෙය තමන්ගේ ආරම්භය පමණක් බව ලොවට අගවමිනි. 

මයිකල් ෆෙල්ප්ස් 2004 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී

ඉන්පසු ඔහු සහභාගී වූ තරගාවලි සියල්ලේම පාහේ තම සුපුරුදු දක්ෂතා දැක්වූ ෆෙල්ප්ස් වර්ෂ 2006 පැවති “Pan Pacific Championship” තරගාවලියේ දී නැවතත් ක්‍රියාත්මක වූ ඔහු මීටර 200 සමනල ආර ඉසව්ව මිනිත්තු 1:53.80කින් නිමා කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කරනු ලැබූ අතර මීටර 200 මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 1:55.84ක කාලයකින් නිමා කරමින් එම ඉසව්වේ ද ලෝක වාර්තාව අලුත් කරන ලදි.

තම ක්‍රීඩා දිවියේ රන් හා සමාන වර්ෂයන් ද්විත්වය ආරම්භ කරමින් ෆෙල්ප්ස් 2007 වර්ෂයේ “World Championships” තරගාවලියේ දී ලෝක වාර්තා 5ක් සහ රන් පදක්කම් 7ක් සමඟින් සම්පූර්ණ තරගාවලිය තමන්ගේ කර ගනිමින් අවසන් කරන්නේ වසර තිස්පහක් පැරණි 1972 වර්ෂයේ ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මාර්ක් ස්පිට් විසින් පිහිටුවා තිබූ තරගාවලියක වැඩිම රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයාගේ වාර්තාව සම කරමිනි. 

එය පිහිටුවා වසරක් යාමට මත්තෙන් ෆෙල්ප්ස් තමන්ගේ තෙවන ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට චීනයේ බීජිං නුවරට ළඟා වන්නේ ඉතිරි වාර්තා ද තම නාමය යටතට ලියා ගැනීමේ බලාපොරොත්තුවෙනි. වසර ගණනාවක සිය කැපවීමේ ප්‍රතිඵල නෙලා ගැනීම ආරම්භ කළ ෆෙල්ප්ස් තරගාවලිය ආරම්භ කරන්නේ මීටර 400 කේවල මිශ්‍ර ආර ඉසව්වේ ලෝක වාර්තාව නැවතත් බිඳ හෙලමිනි. 

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා වයිරසය ක්‍රීඩා ඉසව් සඳහා ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී.

එතැන් පටන් මුළු ක්‍රීඩා උළෙලම තමන්ගේ කර ගන්නා ෆෙල්ප්ස් තමන් සහභාගී වූ මුල් කේවළ සහ කණ්ඩායම් ඉසව්වන් හතම අවසන් කරන්නේ ලෝක වාර්තා 6ක් සහ ඔලිම්පික් වාර්තාවක් අලුත් කරමිනි. ෆෙල්ප්ස්ගේ හත්වන පදක්කම් ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ මාර්ක් ස්පිට් පවසන්නේ ඔහු මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා බවයි. 

“එයින් ඔහු පෙන්නුම් කරන්නේ ඔහු ශ්‍රේෂ්ඨතම පිහිනුම් ක්‍රීඩකයා හෝ ඔලිම්පික් තරගාවලීන්හී පහළ වූ ක්‍රීඩකයා පමණක් නොවෙන බවයි. සමහර විට ඔහු මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා විය හැකියි. ඔහු (මයිකල්) තමා මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම තරග වදින්නා.” යැයි ඔහු අදහස් දක්වා සිටියේය. 

වර්ෂ 2008ක් වූ අගෝස්තු මස 17 වනදා චීනයේ බීජිං නුවර දී එම තරගාවලියේ තමන් සහභාගී වන අවසන් ඉසව්ව වන මීටර 4×100 සහාය මිශ්‍ර ආර කණ්ඩායම් තරගයට ඔහු සහභාගී වන්නේ අටවන පදක්කමත් තමන් සතුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. 

එම ඉසව්ව වෙනුවෙන් ලෝක වාර්තාවක් බිහි කරමින් ෆෙල්ප්ස් ඇතුළු කණ්ඩායම ජය ගන්නේ ෆෙල්ප්ස්ගේ පදක්කම් ගොන්නට අටවන පදක්කමත් එක් කරමිනි. ඒත් සමඟින් “පියාසර කරන මාළුවා” යන අනුවර්තන නාමයෙන් හැඳින් වූ ෆෙල්ප්ස්, වසර 35ක් පැරණි ලෝක වාර්තාව අළුත් කරනු ලබන්නේ තරගාවලියක වැඩිම රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබමිනි. 

නමුත් මෙම තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් තහනම් උත්තේජක චෝදනාවකට ලක්වීමට මයිකල් හට සිදුවූවත් ඔහු පැවති පරීක්ෂණ නවයම සාර්ථකව අවසන් කරන්නේ මෙම මාළුවාට පියාසර කිරීමට කිසිඳු උත්තේජකයක් අවශ්‍ය නොවන බව පෙන්වමිනි. 

2008 ගිම්හාන ඔලිම්පික් උළෙලේ අවසන් ඉසව්ව ජයග්‍රහණයෙන් පසු මයිකල් ෆෙල්ප්ස්

ෆෙල්ප්ස්ගේ පසුබෑම ආරම්භ වන බවට ඉඟි පළ කරන්නාක් මෙන් 2009 වසරේ “World Aquatics Championship” තරගාවලියේ දී ඔහු වසර හතරකට පසුව මීටර 200 නිදහස් ආර තරග ඉසව්ව පරාජයට පත්විය. නමුත් එම ඉසව්ව හැරුන විට ඔහු සහභාගී වූ අනෙක් ඉසව් ලෝක වාර්තා 4ක් ද සමඟින් රන් පදක්කම් 5ක් දිනා ගැනීමට ෆෙල්ප්ස් සමත් විය. 

එලෙස තම ක්‍රීඩා දිවියේ පදක්කම් ගොන්නට දිනෙන් දින පදක්කම් එක්කර ගත් ෆෙල්ප්ස් 2011 වර්ෂයේ පැවති “World Aquatics Championship” තරගාවලියේ දී මීටර 200 සමනල ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් එම තරගාවලියේ එකම ඉසව්වකට නොකඩවා වසර 5ක් රන් පදක්කම දිනූ ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත විය. නමුත් එම තරගාවලියේ ෆෙල්ප්ස් ඒකල ඉසව් දෙකක්ම නිමා කළේ දෙවැන්නා ලෙසය. 

2012 වර්ෂයේ තම හතරවන ගිම්හාන ඔලිම්පික් ඉසව්වට සහභාගී වීමට ලන්ඩන් නුවරට ළඟා වීමට සූදානමින් සිටි ෆෙල්ප්ස් තරගාවලිය ආරම්භයට පෙරම තමන් නැවතත් ඉසව් අටක් සඳහා පෙනී නොසිටින බව ප්‍රකාශ කර තිබුනි.

“මම කැමතියි ඉදිරියේ දී වෙනස් ඉසව්වන් උත්සාහ කර බලන්න.” යැයි ඔහු ප්‍රකාශ කරන ලදි. 

සිය හතර වන ඔලිම්පික් උළෙලේ පළමු තරගය ලෙස මීටර 400 කේවල මිශ්‍ර ආර ඉසව්වට සහභාගී වූ ෆෙල්ප්ස් 2000 වසරේ ඔලිම්පික් උළෙලට පසු ප්‍රථම වතාවට කඩවුනු පදක්කම් බලාපොරොත්තු සමඟින් නිමා කරන්නේ එම ඉසව්වේ හතරවැනියා බවට පත්වෙමිනි. 

ඉන්පසුව ක්‍රියාත්මක වූ ෆෙල්ප්ස් මීටර 200 කේවල මිශ්‍ර ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ ඔලිම්පික් උළෙලක එකම ඉසව්ව සඳහා නොකඩවා තුන් වතාවක් රන් පදක්කම දිනා ගත් ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වෙමිනි. 

ෆෙල්ප්ස් තම හතරවන ඔලිම්පික් උළෙල රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කම් 2ක් සමඟින් අවසන් කරන්නේ පිට පිට තුන් වතාවක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හොඳම පිහිනුම් ක්‍රීඩකයා වෙමිනි. එම තරගාවලිය අවසානයේ දී ඔහුට ජාත්‍යන්තර පිහිනුම් සම්මේලනය විසින් “Most Decorated Olympian Ever” යන ගෞරව සම්මානය පිරිනමන ලදි. 

2012 ගිම්හාන ඔලිම්පික් උළෙල අවසානයේ ෆෙල්ප්ස් හට ගෞරව සම්මානය ලබා දෙමින්.

2012 වසරේ ඔලිම්පික් උළෙල අවසානයේ වයස 27ක් වූ මෙම අසහාය ක්‍රීඩකයා තම ක්‍රීඩා දිවියෙන් සමුගැනීම ප්‍රකාශ කරන ලදි. 

“මම එය කළා. එය අවසන්. තවදුරටත් නැහැ.” යන්න පවසමින් ඔහු ක්‍රීඩා දිවියෙන් සමුගැනීම ප්‍රකාශ කරන ලදි. 

ක්‍රීඩාවේ ඇම්ම ඇත්තාට එයින් පලා ගොස් සිටීමට නොහැකි බව පෙන්වන්නාක් මෙන් වසර දෙකක විවේකයකින් පසුව මයිකල් ෆෙල්ප්ස් 2014 වර්ෂයේ තම නැවත පැමිණීම ප්‍රකාශයට පත් කරන්නේ එම වර්ෂයේ පැවත්වෙන “2014 Pan Pacific Championships” තරගාවලියට සහභාගී වන බව දැනුම් දෙමිනි. එම තරගාවලිය පුරා තම රිද්මයෙන් ක්‍රීඩා කරන මෙම අසහාය ක්‍රීඩකයා තරගාවලිය නිමා කරන්නෙ තවත් රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් තම පදක්කම් මල්ලට එක්කර ගනිමිනි. 

2016 වර්ෂයේ ජූනි මස 13 වනදා කොලොම්බියානු හිටපු රූ රැජිනක් වන නිකෝල් ජොන්සන් සමඟ යුග දිවියට ඇතුළු වන ෆෙල්ප්ස් එම වර්ෂයේ පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග සාර්ථකව නිමා කරමින් බ්‍රසීලයට යාමට සැරසෙන්නේ පස්වන සහ අවසාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට බලාපොරොත්තුවෙනි. 

මයිකල් ෆෙල්ප්ස් තම බිරිඳ වන නිකෝල් ජොන්සන් සමඟ. 

ඔහුට එම ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ දී ඇමරිකානු ධජය රැගෙන යාමේ අවස්ථාව හිමි වන ලදි. එම තරගාවලියේ දීද තම ආධිපත්‍ය පැතිර වීමට සමත් වන ෆෙල්ප්ස් මීටර 200 සමනල ආර ඉසව්වේ අවසන් අදියරට සුදුසුකම් ලබන්නේ නොකඩවා ඔලිම්පික් උළෙලයන් 5ක් තුළ එකම ඉසව්වේ අවසන් අදියර සඳහා සහභාගී වූ ප්‍රථම ක්‍රීඩකයා යන වාර්තාව ද තමන්ගේ වාර්තා ගොන්නට එක්කර ගනිමිනි. 

තරගාවලිය පුරා සුපිරි දස්කම් විදහා පාමින් රන් පදක්කම් 4ක් දිනා සිටි ෆෙල්ප්ස් තවත් අවසන් කේවල තරගයක් ලෙස මීටර 100 සමනල ආර ඉසව්ව නියෝජනය කිරීමට සූදානම් වන්නේ එහි රන් පදක්කම ද තමන් සතුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ෆෙල්ප්ස් මෙන්ම එදින රැස්ව සිටි බොහෝ දෙනා මෙම ඉසව්ව ඔහු විසින් ජය ගන්නා තුරු දෑස් දල්වා බලා සිටින්නට විය. 

ඉතිහාසගත නැවත පැමිණීමක් නූලෙන් මගහැරේ

ඇමරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර ක්‍රිස්ටියන් කෝල්මන් වසරක කෙටි විරාමයකින් පසු සහභාගි වූ මුල්ම ගෘහස්ථ……..

තරගය ආරම්භ වී නොසිතූ අවසානයක් සමඟින් නිමාව දකින්නේ පිහිනුම් පිටියේ පියාසර කරන මත්ස්‍යා ලෙස අනුවර්ත නාම ලැබූ මෙම අසහාය ක්‍රීඩකයා වයස අවුරුදු 21ක යොවුන් සිංගප්පූරු ක්‍රීඩක ජෝසෆ් ස්කූලින් ඉදිරියේ පරාජයට පත්වෙමිනි. තම කුඩා කල විරුවාව පරාද කරමින් කුඩා ජෝසෆ් කරලියට පැමිණෙන්නේ මෙම සුපිරි වීරයාගේ කාලය දැන් නිමා වෙමින් පවතින බව ලොවට අගවමිනි. 

“මට ඕන වුනේ ඔහු (මයිකල්) වගේ වෙන්න. මගේ වීරයා ඔහු. ඔහු නැතිනම් අද මෙය මට නොලැබෙන්න තිබුනා.” යයි තරගයෙන් අනතුරුව ජෝසෆ් කියා සිටියේය. 

තරගයෙන් පසු පරාජය පිළිබදව අදහස් දැක්වූ ෆෙල්ප්ස් පැවසුවේ එම පරාජය පිළිබඳව තමන් සතුටින් නොවන බවයි. 

“කවුරුත් කැමති නෑ පරාද වෙන්න. මම ඒ පසුබෑම ගැන සිටින්නේ නොසතුටින්. ඒත් ඔහු (ජෝසෆ්) හොඳ ක්‍රීඩකයෙක්. මම ඔහු ගැන ආඩම්බර වෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියේය. 

මයිකල් ෆෙල්ප්ස් 2016 රියෝ හී ඔහුව පරාජය කළ ජෝසෆ් සමඟ 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී.

කෙසේ නමුත් මයිකල් ෆෙල්ප්ස් තම අවසන් ඔලිම්පික් උළෙල ද අවසන් කරන්නේ රන් පදක්කම් පහක් සහ රිදී පදක්කම් එකක් දිනා ගැනීමට සමත් වෙමිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලයන් 5ක් පුරා තම ආධිපත්‍ය විදහා දැක්වූ ෆෙල්ප්ස් තම ඔලිම්පික් ගමන නිමා කරන්නේ සියයකට අධික රටවල් අභිබවා රන් පදක්කම් 23ක් සමඟින් සම්පූර්ණ පදක්කම් 28ක් දිනා ගනිමිනි. එලෙස තම ක්‍රීඩා දිවිය අවසන් කරන මෙම ක්‍රීඩකයා සමුගන්නේ මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් අතරට එක් වෙමිනි. 

නුදුරේ දීම ඔහුගේ වාර්තා බිඳ වැටෙනු ඇත.ඔහුට වඩා දක්ෂ ක්‍රීඩකයන් දිනෙන් දින පහළ විය හැක. නමුත් පිහිනුම් ලොවින් මතුව ක්‍රිඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් පිහිනුම් ලෝක වාර්තා රැසක් මෙන්ම ගිනස් වාර්තා 23ක් ද තම නාමය යටතේ ලියා ගත් මයිකල් ෆෙල්ප්ස් වැනි ක්‍රීඩකයෙකු නැවත පහළ නොවෙනු ඇත. 

 “වීරයන් පැරදිය හැක, නමුත් වීරත්වය සැමදා අමරණීයව පවතී”.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<